තුර්කි දේශයේදී ප්‍රථම වතාවට බෞද්ධ වත්පිළිවෙත් අනුව නිදහස සැමරේ


 

දෙදහස් දොළහ වර්ෂයේ ආරම්භ කරන ලද තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ හැත්තෑ දෙවැනි නිදහස් සැමරුම ඉතාමත් අභිමානවත් අයුරින් පෙබරවාරි හතරවැනි දින පැවැත්වූහ. ශ්‍රී ලාංකිකයින් ඉතා සුළු පිරිසක් ජීවත්වෙන තුර්කිය මුස්ලිම් රටකි. එහෙත් තුර්කියේ සිටින මුස්ලිම් ජාතික අය සියලුම ආගම්වලට දේවත්වයෙන් ගරු කරමින් සුළු පිරිසක් වූ සිංහල අය සමග ඉතාමත් ගෞරවනීය ලෙස ජීවත්වෙන බව ගරු ස්වාමීන් වහන්සේ අප සමග පැවසූහ.   


ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ කර වසර අටක් වැනි කාලයක් ගතවුවත් එදාමෙදා තුළ නිදහස් සැමරුම් පවත්වන අවස්ථාවේදී ආගමික කටයුතු සිදුකිරීමට අවකාශ නොලැබුණි. ඒ, බෞද්ධ ආගමික කටයුතු සඳහා ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවා ගැනීමට තිබුණු අසීරුතාව නිසාවෙනි. 


තුර්කියේ නව තානාපතිතුමා වශයෙන් පසුගිය දිනක වැඩ බාරගත් එම්.ආර්. හෂීම් මහතාගේ අප්‍රතිහත කැපවීම නිසා දෙදහස් විස්ස නිදහස් සැමරුම් ආගමික කටයුතුවලට ප්‍රමුඛ ස්ථානය දී අභිමානවත් අන්දමින් නිදහස් සැමරුම පැවැත්වීමට සූදානම් කර තිබුණි. ඒ අනුව පසුගිය හතරවැනි දින තුර්කි තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වූ උත්සවය සඳහා බෞද්ධ ආගමික කටයුතු සිදුකිරීමට ඉතාලියේ රෝම නගරයේ ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු ආගමික කටයුතු සිදුකිරීමට තුර්කියේ සිටින අන්‍ය ආගමික පූජකතුමන්ලා පිරිසක් පැමිණ සිටියහ. 


ආගමික කටයුතුවලට ප්‍රමුඛ ස්ථානය දීමෙන් පැවැත්වුණු නිදහස් සැමරුම සඳහා තානාපතිතුමා සහ එම මහත්මිය තානාපති කාර්යාලයේ යෝෂිතා ජයසූරිය මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය හා තුර්කියේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු දරු දැරියන් පිරිසක් සහභාගි වී සිටියහ. 

 

 


පසු දින එනම් පස්වැනි දින තානාපති කාර්යාලය තුළ පූජ්‍ය කටුවන සිද්දත්ථ හිමිපාණන් වහන්සේ විසින් ධර්ම දේශනාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව සම්බුද්ධ පූජාවක් සහ සංඝගත දක්ෂිණාවක් පැවැත්වූහ. ඉතිහාසයේ පළමු වතාවට භික්ෂූන් වහන්සේනමක් තුර්කි දේශයට වැඩම කරවා තුර්කි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ සිදුකළ මෙම උතුම් පූණ්‍යෝත්සවය සඳහා තායිලන්තය හා යුක්රේනය යන තානාපති කාර්යාල නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ. 


තුර්කි රාජ්‍යයේ පැවැත්වූ නිදහස් සැමරුම් උත්සවයන් අතරින් බෞද්ධ ආගමික කටයුතු සිදුකිරීම සඳහා ඉතිහාසයේ පළමු වතාවට ස්වාමීන් වහන්සේ නමක් වැඩමකරවූයේ මේ හැත්තෑ දෙවැනි නිදහස් සැමරුම් උත්සවය සඳහාය. ඒ උතුම් පූණ්‍යෝත්සවයට සහභාගි වී එම අභිමානය දිනා ගැනීමට අපේ රෝම ශාක්‍යමුනි විහාරාධිපති කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේ භාග්‍යවන්ත වූහ. රෝම ශාක්‍යමුනි විහාර දායක පින්වතුන් වූ අපට ද ඒ පිළිබඳ සතුටක් ආඩම්බරයක් ඇත. 


මේ තුර්කි තානාපති කාර්යාලයේ නිදහස් සැමරුම උත්සව අවස්ථාවන් අප ගරු ස්වාමීන් වහන්සේගෙන් ලබාගත් ඡායාරූප කිහිපයකි.


ප්‍රේමා කංකානම්ගේ
රෝමය ඉතාලිය