තිරිසනා මිනිසා වී මිනිසා තිරිසනා වූ මොහොතක්


 

ජීවියෙකුට තම ප්‍රාණයට වඩා යමක් නැත. එය සෑම ජීවියෙකුට ම පොදු ය. මරණය දොරකඩ දී වුවද ප්‍රාණියා ඉල්ලා සිටින්නේ ජීවිතයයි. ප්‍රාණියෙකු ජීවිතය ඉල්ලා හඬද්දී, මිනිස් තිරිසනකු විසින් එම කඳුළු පිසදා ප්‍රාණියා ඝාතනය කළ අවස්ථාවකි මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ. 


මෙය සිදුවූවේ මැයි මස දොළොස්වැනිදා ස්පාඤ්ඤයේ සිවිල්ලා නගරයේ පැවති කුළුහරක් මිනිස් (කොරීඩා) සටනක දී ය. මිනිසාගේ කඩු පහර කා මෙල්ලවුණු කුළු හරකා මරණය දොරකඩ දී වුවද අභය දානය ඉල්ලන්නාක් මෙන් කඳුළු සලද්දී, තම කබා සාක්කුවෙන් ලේන්සුවක් පිටතට ගත් මිනිසා එම කඳුළු පිසදා ඌ ඝාතනය කළේය. මෙම ම්ලේච්ඡ ක්‍රියාව හෙළා දකිමින්, සමාජ ජාල ඔස්සේ කොරීඩා ක්‍රීඩාවට එරෙහිව මේ දිනවල ජාත්‍යන්තර මතයක් ගොඩනැගෙමින් ඇත. 


කුළුහරක් මිනිස් සටන ස්පාඤ්ඤයේ ජාතික ක්‍රීඩාව ය. 2013 වසරේ මෙම ක්‍රීඩාව පාර්ලිමේන්තු පණතක් මගින් ස්පාඤ්ඤයේ සංස්කෘතික උරුමයක් ලෙස නීතිගත කරන ලදී. එහෙත් දිනෙන් දින මෙම ක්‍රීඩාවට එරෙහිව ඒකරාශී වෙන ස්පාඤ්ඤ ජාතිකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් ඇත. 2007 වසරේ දී ස්පාඤ්ඤය පුරා මෙම මිනිස් කුළුහරක් තරග 3,651 පැවති අතර, 2016 වසරේ දී පවත්වා ඇත්තේ තරග 1,598ක් පමණි. ඇතැම් ප්‍රාන්තවල මෙම ක්‍රීඩාව දැනටමත් තහනම් කර ඇත. ස්පාඤ්ඤය මෙම ක්‍රීඩාව සංචාරක ආකර්ෂණයක් ලෙස යොදාගනී. මෙම ම්ලේච්ඡ ක්‍රීඩාව නැරඹීම බාලවයස්කාරයන්ට තහනම් කරන ලෙස 2018 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ඒකකය විසින් ස්පාඤ්ඤ රජයට දැනුම් දී ඇත. 

 


කල්ප ගුරුගේ,  මිලානෝ.