තව වසර දෙකකින් කපුටන්ට වඩා ​ෙඩ්‍රා්න යානා ඉතාලි අහසේ තිබේවි


 

මහාමාර්ග තදබදය අද බොහෝ රටවල් මුහුණ දී ඇති උග්‍ර ප්‍රශ්නයක්ව පවතී. මහාමාර්ග ඔස්සේ ප්‍රසාරණය වෙන අත්‍යවශ්‍ය මහජන සේවාවන් කාර්යක්ෂමව හා අඩු මිලට ලබාදීම කෙරෙහි එම රටවල අවධානය යොමු වී ඇත. මේ සඳහා දායක කර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නව තාක්ෂණයයි. යුරෝපයේ ඇතැම් රටවල ජනගහණ වර්ධනය මන්දගාමී වී ඇතුව ද, මහාමාර්ග තදබදය උග්‍ර වී ඇත. මෝටර් රථ භාවිතය ඉහළ යාමත් සමගම පැන නැගී ඇති ප්‍රශ්නයක් අතර පරිසර දූෂණය ප්‍රධානය. පරිසර දූෂණ වැළකීම සඳහා පියවරක් ලෙස මාර්ග තදබදය අවම කිරීමේ යෝජනාවන් ඉදිරිපත්ව ඇතුව ද, බොහෝ රටවල ප්‍රධාන නගරවල මහාමාර්ග පද්ධතිය පුළුල් කිරීමේ හැකියාවක් නොමැත. මහාමාර්ග තදබදය අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙස උමං මාර්ග පද්ධති සහ උමං දුම්රිය සේවාවන් දියුණු රටවල් විසින් භාවිත කළ ද එම රටවල පවා මාර්ග තදබදය තවමත් නොවිසඳුණු ප්‍රශ්නයකි.   


මහාමාර්ග තදබදය වළකා ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂමව කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීම කෙරෙහි ඉතාලි රජයේ මෙන්ම එරට පෞද්ගලික අංශයේ ද අවධානය යොමු වී ඇත. මහාමාර්ග තදබදය වැළකීම, ආරක්ෂක කටයුතු වැනි පොලිස් කටයුතු සඳහා ද රෝහල් අතර ඖෂධ රුධිරය සහ වෙනත් ඉන්ද්‍රියන් ප්‍රවාහනය සහ තැපැල් සේවාවන් සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීමට ද ඉතාලි රජය තීරණය කර ඇති අතර කාර්යාල අතර ලිපි ලේඛන හුවමාරුව, පාර්සල් සේවාවන් පමණක් නොව ඇනවුම් මත සැහැල්ලු වෙළෙඳ ද්‍රව්‍ය ගෘහස්ථව සැපැයීම සඳහා ඩ්‍රෝන යානා සේවය ලබා ගැනීමට පෞද්ගලික අංශය ද තම අවධානය යොමු කර ඇත.   


ඉතාලි ආරක්ෂක කටයුතු භාර අමාත්‍යාංශ දත්තයන්ට අනුව දෙදහස් විසිඑක වසර වනවිට ආරක්ෂක, තැපැල්, රෝහල් වැනි රාජ්‍ය සේවා කටයුතු සඳහා පමණක් ඩ්‍රෝන යාත්‍රා ලක්ෂ හතරක් යොදා ගැනීමට සිදුවනු ඇත.   


තව වසර දෙකකින් කාර්යාල අතර ලිපි ද්‍රව්‍ය හුවමාරුව, පිසූ ආහාර සහ ආහාර ද්‍රව්‍ය ඇනවුම් මත නිවසටම ලබාදීම, ඡායාරූප ගැනීම සහ වීඩියෝ පටිගත කිරීම් වැනි පෞද්ගලික හේතූන් මත තවත් සැහැල්ලු ඩ්‍රෝන යාත්‍රා මිලියන පහකට වැඩි සංඛ්‍යාවක් භාවිත කිරීමට ද නියමිතය.   


ඩ්‍රෝන යානා ලක්ෂ පනස් හතරක් ඉතාලි අහසේ පියාසර කිරීම විසඳිය යුතු තවත් ප්‍රශ්න කීපයකට මුල පුරනු ඇත. මීටර් එකසිය පනහකට අඩු ගුවන් තලයක ඩ්‍රෝන යානා පියාසර කරන බැවින් එය ගුවන් යානා ගමන්වලට අනතුරු සහිත නොවන බවක් කිවූව ද, පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වැනිදා සහ 21 වැනිදා අතර කාලය තුළ එංගලන්තයේ ලන්ඩන්හි ගැට්වික් ගුවන්තොටුපොළ අසල ඩ්‍රෝන යානා පියාසර කිරීම හේතුවෙන් ගුවන් යානා ගුවන්ගත කිරීම ප්‍රමාද කිරීම නිසා එක්ලක්ෂ හතළිස්දහසක් වූ ගුවන් මගීන්ට මහත් අපහසුතාවකට මුහුණ දීමට සිදු විය. ඩුබායි ගුවන් තොටුපොළේ ද මෙවැනිම අපහසුතාවක් පසුගිය පෙබරවාරි මස සිදු වූ බව වාර්තා විය. මිලානෝ මල්පෙන්සා ගුවන්තොටුපොළ ද මෙවැනිම අකරතැබ්බයක් පිළිබඳව මාර්තු මස වාර්තා කර තිබුණි. මෙවැනි අපහසුතාවන් මඟහරවා ගැනීම සඳහා ​ෙඩ්‍රා්න යානා පියාසර තහනම් කලාප (NO FLY ZONE) නීත්‍යනුකූලව ලයිස්තුගත කිරීමට අනාගතයේදී ඉතාලියට සිදුවනු ඇත. දැනටමත් ආරක්ෂක හේතූන් මත ඉතාලියේ ඇතැම් කලාප මගින් ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම්ය. වතිකාන රාජ්‍යය ද ඩ්‍රොන යාත්‍රාවලට තහනම් කලාපයකි.   


ඉතාලියේ ඩ්‍රෝන යානා පියාසර කරවීම සඳහා ආරක්ෂක කටයුතු භාර අමාත්‍යාංශයෙන් බලපතක් ලබා ගැනීමට සිදුවනු ඇත. එහෙත් මේ සඳහා නියමිත ප්‍රමිතීන් තවමත් ප්‍රකාශයට පත් වී නැත.   


ඇතැම් ඩ්‍රෝන යාත්‍රාවක ප්‍රමාණය ඉතාම කුඩා බැවින් ඒවා රේඩාර් පද්ධතිවලට හෝ චන්ද්‍රිකා ඇසට හෝ පෙනෙන්නේ නැත. එබැවින් ඩ්‍රෝන යාත්‍රා පාලනය සඳහා වඩාත් දියුණු වූ තාක්ෂණයක් යොදා ගැනීමට සිදුවනු ඇත. ඩ්‍රෝන යාත්‍රාවක අනන්‍යතාව පහසුවෙන් සහතික කරගැනීම සඳහා කිසියම් ක්‍රමවේදයක් හඳුන්වා දීම ද අනිවාර්යය වනු ඇත.   
ඩ්‍රෝන යානා ලක්ෂ පනස් හතරම එකවර ඉතාලි අහසේ පියාසර කරතැයි සිතීම උගහටය. කෙසේ වුව ද ඩ්‍රෝන යානා හේතුවෙන් මීටර් එකසිය පනහක ගුවන් සීමාවක වුව ද තදබදයක් නිර්මාණය නොවෙතැයි ද සිතිය නොහැකිය. ඩ්‍රෝන යානා අනතුරු අවදානමක් ද නැතුවාම නොවේ. එබැවින් ඩ්‍රෝන යාත්‍රාවලට පියාසර අවසර ලබා දී​ෙම්දී පියාසර කළ හැකි ගුවන් මට්ටම, පියාසර තහනම් කලාප පමණක් නොව, පියාසර කාල සීමාවක් ද පැනවීමට ඉතාලි ආරක්ෂක කටයුතු භාර අමාත්‍යාංශයට සිදුවනු ඇත.   

 


යටියන   
ක්ලැරන්ස් කොස්තා,   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.