ජාතිවාදී කෙනෙහිළිකම් මැද ශ්‍රී ලාංකික තරුණියක් මිස් ඉතාලියා රූ රැජිණ තරගයේ තෙවැනි ස්ථානයට


ඇගේ අව්‍යාජ සිනහවට විශේෂ සම්මානයක්

 

සැප්තැම්බර් මස හයවැනි සිකුරාදා වැනිසියේ ජේසොලෝ සංචාරක පුරවරයේ පවත්වන්නට යෙදුණු ඉතාලි රූ රැජින 2019 තරගයේදී ශ්‍රී ලාංකික දියණියක තෙවැනි ස්ථානය හිමිකර ගත්තාය. ඇය නමින් සෙව්මි තාරුකා ප්‍රනාන්දු ය. වසර තිහකට පෙර ඉතාලියට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික මාපිය යුවළකට දාව පාදුවා නගරයේදී උපත ලබා ඇති සෙව්මිගේ දැනට වයස අවුරුදු විස්සකි. ඇය රූපලාවන්‍ය පිළිබඳව ඩිප්ලෝමා සහතිකධාරිණියක් වන අතර මෝස්තර නිරූපිකාවක ලෙස ඉතාලියේ සේවය කරයි. සෙව්මි පදිංචි වේනෙතෝ ප්‍රාන්ත රූ රැජින ලෙස අභිෂේක ලබමින් ඇය සමස්ත ඉතාලි රූ රැජින තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවා ය. 


ඉතාලි රූ රැජින තරගාවලියට අවුරුදු අසූවක් පිරීම නිමිත්තෙන් මෙවර මෙම තරගය “මිස් ඉතාලියා 2019” ලෙස නොව, “මිස් ඉතාලියා 80” ලෙස නම්කෙරී තිබුණි. ඉතාලි ප්‍රාදේශීය රූ රැජින තරගවලින් ජයගත් දහස් ගණනක රූමතියන් අතරින් විශේෂ කමිටුවක අධීක්ෂණය යටතේ තෝරාගන්නා ලද සුරූපිණියන් 187 දෙනෙකු අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා තිබුණි. පසුගිය හයවැනිදා වේදිකාවේ තරග වැදුනේ මෙම පිරිසෙන් යළි තෝරාගන්නා ලද රූමතියන් අසූදෙනෙකු පමණි. ජූරි සභා තුනක දැඩි අධීක්ෂණය යටතේ සහ දුරකථන කෙටි පණිවිඩ මනාප යටතේ මෙම රූමතියන් අසූදෙනාගෙන් හතළිස් දෙනෙකු ද, ඉන්පසුව එම හතළිස්දෙනාගෙන් විසිදෙනෙකු ද, ඉන් දසදෙනෙකු ද, අවසානයේ මිස් ඉතාලියා 80 කිරුළ සඳහා තරගවැදීමට සුදුසු තිදෙනෙකු ද තෝරාගැනීම සඳහා වේදිකාවේ තරග වට කීපයක් පැවැත්වුණි. මෙම සෑම තරගවටයකදීම ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබූවන්ගේ ලයිස්තුවේ මුලින්ම කියැවුනේ සෙව්මි තාරුකාගේ නම ය. අවසන් වටයට තේරුණු සුරූපිනියන් තිදෙනා අතරදී සෙව්මිගේ මනබඳින සිනහව වෙනුවෙන් සම්මාන පටි පලඳනාවකින් ඇය අභිෂේක ලැබූවා ය. 


මෙවර මිස් ඉතාලියා 80 රූරැජින තරගය සඳහා සෙව්මි තාරුකාට අමතරව මොරොක්කෝ සහ යුක්රේන සම්භවයක් ඇති සූරූපිණියන් දෙදෙනෙකු ද සහභාගීවී සිටි අතර, සාධාරණ විනිශ්චයේදී විදේශික සම්භවය අනිසි බලපෑමක් වීමට ඇති ඉඩ පිළිබඳව සලකා බලා මිස් ඉතාලියා 80 සංවිධායකයෝ එම තරගකාරියන්ගේ විදේශික සම්භවය පිළිබඳව හෙළිකිරීමෙන් වැළකී සිටියහ. එහෙත් සෙව්මි තාරුකාගේ ඡවි වර්ණය හේතුවෙන් ඇය අනෙකුත් සියලුම තරගකාරියන් අතර කැපී පෙණුනි. 


සෙව්මි තාරුකා මිස් ඉතාලියා 80 අවසන් තරගය සඳහා තේරුණු 187 දෙනා අතරට ඇතුළුවීමත් සමගම ඉතාලියේ ජාතිවාදීහු ඇගේ ඡවි වර්ණය හේතුවෙන් ඇය ඉතාලි රූ රැජින ලෙස කිරුළු පැළඳීමට සුදුසු නොවෙන බවට ප්‍රචාරයක් සමාජ ජාල ඔස්සේ ගෙන ගියහ. සෙව්මිට එල්ලවූ එම විරෝධතා ඉතාලි ප්‍රවෘත්ති මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට ද පත්විය. සෙව්මි දැඩි ආත්ම ශක්තියකින් මෙම විරෝධතාවලට මුහුණ දුන් අතර, මිස් ඉතාලියා 80 අවසන් වටය සඳහා වේදිකා සම්ප්‍රාප්තියට පෙර ඇය කියා තිබුනේ මිස් ඉතාලියා 80 සඳහා තරගවදින රූමතියන් පරාජය කිරීම නොව ඉතාලි වර්ණවාදීන් පරාජය කිරීම තම අරමුණ බව ය. මිස් ඉතාලියා සඳහා ඉදිරිපත් වෙන රූමතියන්ගේ විජාතික සම්භවය පිළිබඳව ආන්​ෙදා්ලනයන් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 1996 වසරේ ඩොමිනිකානු කළු රූමතිය ඩෙනී මෙන්ඩ්ස් මිස් ඉතාලියා ලෙස කිරුළ පළන් අවස්ථාවේදී ද, 2017 වසරේ සෝමාලියානු කළු රූමතිය මිස් ඉතාලියා තෙවැනි ස්ථානය හිමිකරගත් අවස්ථාවේදී ද ඉතාලි ජාතිවාදීහු මෙසේම කුපිත වූ බව කිසිවකුටත් අමතක නැත. තරගයකට සහභාගිවීමේ වරම පමණක් නොව, ජයගැනීමේ වරම ද සම අයිතිවාසිකම් වරප්‍රසාදය තුළ ගැබ්ව ඇති බව ඉතාලි ජාතිවාදීහු අමතක නොකළ යුතුය. 


සෙව්මි තාරුකාගේ මිස් ඉතාලියා 80 ජයග්‍රහණය ඇගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක්ම නොවේ. එය ඉතාලියේ නේවාසික ශ්‍රී ලාංකිකයන්ගේ ඉතිහාස කතාවෙහි තවත් අලුත් පිටුවක් රං අකුරින් ලියා තැබීමකි. එබැවින් ඇයගේ ජයග්‍රහණය ඉතාලියේ අප සැමගේ ජයග්‍රහණයකි. අපි සෙව්මි තාරුකා දියණියට සුබ පතමු. 

 

 

 


යටියන ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.