ජාතියේ මුර දේවතාවුනි අපි සදාකල් ඔබ සමඟයි


පසුගිය ඉරිදා ලංකාදීප පුවත් පතක පළවී තිබූ කිලිනොච්චියේ කොටි වධකාගාරයක් තුළ අනන්ත දුක් විඳ මිය ගිය අප ත්‍රිවිධ හමුදා සෙබළුන්ගේ කතා පුවත දුටු මා සිතට දැනුණේ ඔවුන් පිළිබඳ අපිරිමිත දුකකි. මෙය එක් කතාවක් පමණක් නොව මෙසේ සිදුවූ අප දන්නා නොදන්නා බොහෝ අවාසනාවන්ත දුක්ඛිත කතන්දර බොහොමයක් එදා මෙදා තුර සිදුවූ මෙම කාලකන්නි යුද්ධය තුළ සැඟවී ඇති බව නම් නොරහසකි.  
අනන්ත දුක්ඛ දෝමනස්සයන් මැද හරිහැටි කුසට අහරක්, ගතට වස්ත්‍රයක්ද නොමැතිව මරණය පෙනි පෙනී ජීවත් වූ ඒ අහිංසකයින් අවසන් මොහොතේ වුවද පතා ඇත්තේ සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා යන්නය.   


පසුගිය යුද සමයේ මෙසේම කොටි සාමාජිකයින් හා සාමාජිකාවන් අප හමුදා අත්අඩංගුවට පත්වූවන් සහ භාර වූවන්  සඳහා උතුරේ හෝ දකුණේ මෙවැනි වධකාගාර පිහිටුවා තිබුණා යැයි අප කිසිම දිනක අසා නැත. මනා හික්මීමක් සහ විනයගරුක උදාර මානුෂීය ගතිගුණවලින් පිරිපුන් අප හමුදා සොයුරෝ සහ සොයුරියෝ ඔවුන්ට සැලකුවේ අපේ විරුද්ධවාදී සතුරන්ට මෙන් නොව තිරිසන් සතෙකුටද මෙන් නොව අසරණ මනුස්‍යයෙකුට සලකන ආකාරයෙනි.  


ඔවුන් ලබාදුන්නේ කකුල්වලට දම්වැලවත්, හිසට වෙඩි උන්ඩවත් නොව ආදරය, දයාව, කරුණාව පමණකි. ඔවුන් පුනරුත්ථාපනය කර අනාගතය පැහැදිලි මාවතකට යොමු කරවීම පමණකි.   
අප ත්‍රිවිධ හමුදව සහා ම්ලේච්ඡ කොටි සංවිධානය අතර ඇත්තේ ගැඹුරු පැහැදිලි වෙනසකි. රට රැක ගැනීමේ උදාර චේතනාවෙන් සහ යුද්ධයක ස්වභාවය අනුව. අනෙකකුගේ ජීවිත උදුරාගන්නන් උත්තම මනුෂ්‍ය ගතිගුණවලින් පිරිපුන් සුජාත දූ පුතුන් පිරිසක් අප ත්‍රිවිධ හමුදාව සතුය.   


වසර ගණනාවක සිට කොටි ග්‍රහණයට හසුවී දහසකුත් එකක් දුක් විඳ තම ජීවිත ආරක්ෂාව පතා කොටින්ගෙන් මිදී හමුදා පාලනය පැවති ප්‍රදේශවලට දුව ආ තමන්ගේම ජාතියේ නිරායුද අසරණ අහිංසක මිනිසුන්ට කොටි වෙඩි පිට පෙඩි වරුෂා එල්ලකරද්දී ඉදිරියට පැන වෙඩි උණ්ඩවලට මුහුණ දී ඔවුන්ව බේරා ගත්තේ කෑම බීම ආදියෙන් සංග්‍රහකර බේත් හේත් දී උවටැන් කර අපේම ජාතියේ පිරිසක් ලෙස අපි එකම රටක මිනිසුන් ලෙස සිතා ඔවුන්ට සැලකූයේ අප ත්‍රිවිධ හමුදාව සතු විශිෂ්ට මානුෂීය ගුණාංග හේතුවෙනි.  


යුද අපරාධ කළේ අප රජය හෝ ත්‍රිවිධ හුමදාව නොව රුදුරු කොටි සංවිධානය බවට පිළිගත යුතු බොහෝ කරුණු කාරණා ඇතත් ශ්‍රී ලංකාව යුද අපරාධ කළා යැයි උඩුබුරන, හඬ තලන සමහර ජාත්‍යන්තර සංවිධානවලට සහ රටවල්වලට මේවා නොවැටහෙන්නේ මන්දැයි විමතියට කරුණකි. වෙනම රාජ්‍යයක අවශ්‍යතාව මවා පාමින් තමන්ගේම ජාතියේ මිනිසුන් බලෙන් පැහැර ගෙන ගොස් බලෙන් යුද පුහුණුව ලබා දී කායිකව හා මානසිකව දස වද දෙමින් දෙමාපියන්ට දරුවන් ද දරුවන්ට දෙමාපියන්ද සේම පවුල් පිටින් විනාශ කර උන්හිටිතැන් පවා අහිමිකරමින් අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් තමන්ගේම ජාතිය පෙලූ ම්ලේච්ඡ කොටි සංවිධානය මෙන් නොව අප රජය කිසිම විටක අමානුෂිකව මානුෂික අයිතීන් උල්ලංඝනය කර බලෙන් හමුදාවට බඳවාගෙනවත් බලෙන් යුද පුහුණුව ලබාදීවත් නැත.  


එසේම මරාගෙන මැරෙන හමුදා අංශයක් පුහුණු කරවත් නැත. රට වෙනුවෙන් ස්ව කැමැත්තෙන් යුද වැදුණු ඔවුන්ගේ සියලු සාමජීය අවශ්‍යතා බොහෝ උවමනාවෙන් ඉටු කර දුන්නා මිසක තලා පෙලුවේ නැත.  
කවුරු කෙසේ කීවද මානුෂීය ගුණාංග රැකගෙන මානුෂීය මෙහෙයුමක් ලෙස යුද්ධ කරන්නේ සහ යුද්ධයක් ඉවර කරන්නේ කෙලෙස දැයි ලෝකයටම හොඳම පාඩම කියා දුන්නේ, හොඳම ආදර්ශය දුන්නේ අප ශ්‍රී ලංකා රජය සහ අප ත්‍රිවිධ හමුදාව බව ඉඳුරාම කිව හැක. ලෝකයේ හොඳම නීතිගරුක, විනය ගරුක, උත්තම මානුෂික ගති ගුණ වලින් හෙබි හොඳම හමුදාව ඇත්තේ අපටය. අප ශ්‍රී ලංකා මාතාවටය. එය අපට මහත් අාඩම්බරයකි.  
මිනීමරු කොටි සංවිධානය ආරක්ෂා කිරීමට, අරමුදල් රැස් කිරීමට, ඔවුන් වෙනු​ෙවන් හඬ නැගීමට ජාත්‍යන්තරව බොහෝ රටවල කොටි හිතවාදී සංවිධාන බිහිවී ක්‍රියාකාරීව පවතින නමුත් අප ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් එසේ සංවිධාන බිහි නොවීම කනගාටුවට කරුණකි. එමෙන්ම අපට නිදහසේ හුස්ම ගැනීමට රටක් ඉතුරු කර දුන් අපේ සොයුරන් සහ සොයුරියන් වෙනුවෙන් හඬ නැගීමට එසේ සංවිධාන බිහිවීම යුගයේ අවශ්‍යතාවයකි.   
ඔවුන් අප වෙනුවෙන් කළ මිල කළ නොහැකි මෙහෙවර කිසිම දිනක, කිසිම මොහොතක අමක නොකරන්න. සදා සිහිකරන්න. ලක් මාතාවගේ නොකැළැල් අයිතිවාසිකම් වෙනුවෙන්, ජාතියේ නිදහස වෙනුවෙන්, එදා මෙදා තුර තම දිවිය පුද කළ අප උතුම් රණවිරුවන් වෙනු​ෙවන් හැකි සෑම විටම පිං පෙත් පුරවන්න. ආබාධිත තත්ත්වයට පත්වූවන්ගේ මානසිකත්වය ගොඩනංවා අනාගත සුබසිද්ධිය තහවුරු කරන්න.  


ජීවත්ව සිටි අදටත් හෙටටත් මතුවටත් රට රැකීමේ උදාර මෙහෙවරට අණදෙන අප විරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරවන්න. ඔවුන් වෙනුවෙන් හඬ නගන්න. දිරි ​ෙදන්න. එයයි කළ යුතුම හොඳම කළ ගුණ සැලකීම.   
වීරෝදාර රණවිරුව​ෙන් මව්බිමෙන් දුරක සිටියත් අපි සදාකල්ම ඔබ සමඟයි. ඔබ සැමට ජය, සතුට සේම, අප රට රැකීමට දිරිය, ශක්තිය සමඟ තිස්තුන්කෝටියක් දෙවි පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.   
මිය ගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලුම සොයුරන් හා සොයුරියන්ට යළි යළිත් අප අතර ඉපදීමට පින් මහිමය ලැබේවා.  

 

 


රත්නපුරේ අනූෂා දර්ශනී  
නිකෝෂියා, සයිප්‍රස්.