ජර්මනිය ඕලන්දය හා එක්ව ඉතාලිය ආක්‍රමණය කරයි


අප්‍රිකානු සරණාගතයින් මුවාවෙන් ඉතාලියට කඩාවදී  

 

කිසියම් රටක ස්​ෙ​ෙවරීභාවය උල්ලංඝනය කරමින් කිසිවෙකු හෝ කිසිවකු විසින් මෙහෙයවනු ලබන යන්ත්‍රයක් හෝ, මුහුදින් ගොඩබිමින් හෝ ගුවනින් කඩාවැදීම සැලකෙන්නේ එම රට ආක්‍රමණය කිරීමක් ලෙස ය. මෙය ජාත්‍යන්තර දේශපාලන මතභේදයන්ට පමණක් නොව ඉන් ඔබ්බට ගොස් යුදමය තත්ත්වයන් නිර්මාණය කිරීමට තරම් බරපතළය. ඉන්දියානු - චීන සහ ඉන්දියානු - පාකිස්ථානු දේශ සීමාවල නිතර ඇතිවෙන ගැටුම් මෙයට උදාහරණ ය. ඉරාණ භූමි සීමාවේදී මෑතක බිම හෙළන ලද ඇමෙරිකානු ඩ්‍රෝන යාත්‍රාව පිළිබඳ ප්‍රශ්නය මෙයට නැවුම්ම උදාහරණයයි.   


සරණාගතයින් යැයි කියනු ලබන අප්‍රිකානුවන් හතළිස් දෙදෙනෙකු රැගත් ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයකට අයත්, එහෙත් ඕලන්ද ධජය යටතේ යාත්‍රාකෙරෙන සී වොච් (SEA WATCH) නෞකාව ජුනි මස විසිහත්වැනිදා ඉතාලියේ ලම්පෙදූසා දූපතට ඇතුළුවූයේ බලහත්කාරයෙන් ය. සී වොච් නෞකාව මීට පෙර කීපවතාවකදීම ද මධ්‍යදරණී මුහුදේ අතරමංව සිටියායි කියනු ලැබූ අප්‍රිකානු සංක්‍රමණිකයන් මුහුදු මාර්ග ඔස්සේ ඉතාලි තොටුපොළවලට ගොඩබාන ලද නෞකාවකි.   


මුහුදු මාර්ග ඔස්සේ ඉතාලියට සංක්‍රමණය වෙන අප්‍රිකානු සංක්‍රමණිකයෝ සරණාගතයින් නොව අනවසර සංක්‍රමණිකයින් බව ද, මෙය මිනිස් ජාවාරමක් බව ද ඉතාලිය හෙළිදරව් කරගෙන ඇත. මේ අනුව මුහුදු මාර්ග ඔස්සේ ඉතාලියට පැමිණෙන අප්‍රිකානු සංක්‍රමණිකයන් භාර නොගැනීමට ඉතාලි වත්මන් රජය තීරණය කර ඇත.   


මධ්‍යදරණී මුහුදේ අතරමංව සිටි සරණාගතයන් යැයි කියමින් අප්‍රිකානු පුරවැසියන් හතළිස් දෙදෙනෙකු පටවාගත් සී වොච් නෞකාව මෙවර ඉතාලි වරායකට ඇතුළුවීමට උත්සාහ ගත් අවස්ථාවේ, ඉතාලි රජය එම නෞකාවට ඉතාලි මුහුදු සීමාව තහනම් කලාපයක් ලෙස දැනුම්දෙන ලදී. එහෙත් කැරොලා රෙකට් නම්වූ ජර්මන් ජාතික කපිතාන්වරිය ඉතාලි රජයේ මෙම අණ උල්ලංඝනය කරමින් ඉතාලියේ ලම්පෙදූසා වරාය කරා තම නෞකාව යාත්‍රාකරවන්නට වූවාය. මෙහිදී ප්‍රහාරක නෞකාවක් ඇතුළු තවත් නෞකා කීපයක් යොදවා සමුද්‍ර බාධකයක් මගින් සී වොච් නෞකාවේ ගමන නතර කරවීය. මෙය ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වීමට වැඩි වේලා ගතවූවේ නැත. 

 
දින දහසයක් තිස්සේ ඉතාලි වරාය පහසුකම් ඉල්ලමින් සිටි සී වොච් නෞකාවේ කපිතාන්වරිය නැව තුළ සිටින සරණාගතයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සිතා ඉතාලි වරායකට ඇතුළුවීමේ අවසරය නැවත නැවත ඉල්ලී ය. උක්ත   


ප්‍රශ්නය මත දෙකඩ වූ යුරෝපයේ ඇතැම් රටවල් ප්‍රකාශ කළේ මානව හිමිකම්ප්‍රඥප්තියට අනුව සරණාගතයින් සඳහා ඉතාලිය තම වරාය විවෘත කළයුතු බව ය. එහෙත් ඉතාලිය කීවේ මෙය මිනිස් ජාවාරමක් බැවින් මුහුදු මාර්ග ඔස්සේ පැමිණෙන අප්‍රිකානු සංක්‍රමණිකයින් තමන් භාරනොගන්නා බව ය. එබැවින් නෞකාවේ සිටින සංක්‍රමණිකයන් නැවේ ධජය අයත් ඕලන්දය බාරගත යුතු බව ය. එහෙත් ඕලන්දය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.   


ජුනි මස විසිහත්වැනිදා රාත්‍රී සී වොච් නෞකාව ඉතාලි මුහුදු බාධක ලෙස යොදා තිබුණු ප්‍රහාරක නෞකාවට බරපතළ හානි පමුණුවමින්, බලහත්කාරයෙන් ඉතාලියේ ලම්පෙදූසා වරායට ඇතුළු විය.   


ඉතාලිය වහාම සී වොච් නෞකාවේ කපිතාන්වරිය අත්අඩංගුවට ගත් අතර, විශේෂ නියෝගයක් මත නිවාස අඩස්සිගත කරනු ලැබීය. අප්‍රිකානු සංක්‍රමණිකයින් අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා රැඳවුම් කඳවුරු වෙත යවන ලදී. ඒ ජුනි මස විසිහත්වැනිදා ය.   


ජාත්‍යන්තර සමුද්‍ර නීති උලංඝනය කරමින් අවසරයකින් තොරව ඉතාලි වරායකට ඇතුළුවීමේ වරදට යුරෝ පනස්දහසක් දක්වා වෙන දඩයක් ගෙවීමට සී වොච් නෞකාවට සිදුවෙනු ඇත. අනවසර සංක්‍රමණයට ආධාර කිරීම, තම පාලනය යටතේ ඇති නෞකාවක් අනවසරයෙන් වෙනත් වරායකට සේන්දුකිරීම , ඉතාලි ප්‍රහාරක නෞකාවකට බරපතළ හානි පැමිණවීම වැනි චෝදනා යටතේ සී වොච් කපිතාන්වරියට වසර දහය දක්වා වෙන සිර දඬුවමකට යටත්වීමේ අවදානමක් ඇත.   


ජූලි මස තුන්වැනිදා වාර්තාවන්ට අනුව සී වොච් නෞකාවේ කපිතාන්වරිය විශේෂ නියෝගයක් මත රඳවා සිටි නිවාසයේ දැන් නැත. ඇයට ජීවිත තර්ජන ඇති බැවින් වැඩි ආරක්ෂාව සඳහා වෙනත් රහසිගත ස්ථානයකට ඇය ගෙන ගොස් ඇති බවට රාවයක් ද ඇත. තවත් ආරංචි මාර්ග පවසන්නේ ඇය රටින් පිටුවහල් කළ බවකි. සත්‍ය කුමක් වුවද, අනවසර සංක්‍රමණයට ආධාර කිරීමේ චෝදනාවට වගඋත්තර බැඳීම සඳහා ඇය ජූලි මස නවවැනිදා ඉතාලි අධිකරණය හමුවේ පෙනී සිටීමට ද නියමිතව ඇත.   


සී වොච් නෞකාවේ සිටි අප්‍රිකානු සංක්‍රමණිකයන් භාරගැනීමට දැන් පෘතුගාලය, ප්‍රංශය, ජර්මනිය, ලක්සෙම්බර්ග් සහ පින්ලන්තය කැමැත්ත පළකර ඇත. සී වොච් නෞකාව ඉතාලි සමුද්‍ර නීති උල්ලංඝනය කිරීමේ වරදට නියමවිය හැකි දඩ මුදල ගෙවීම සඳහා ඇතැම් සංවිධාන දැනටමත් ආධාර මුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් අරඹා ඇත. මානුෂීය හේතූන් මත සීවොච් කපිතාන්වරිය විසින් ගන්නා ලද තීරණය නිවැරදි බව ප්‍රකාශ කරන්නන් අතර ඉතාලි පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ පිරිසක් ද වෙති.   


කිසියම් අධිකරණ ක්‍රියාමාර්ගයකදී අධිකරණය විසින් දෙනු ලබන තීන්දුවක්, පසු අවස්ථාවක එවැනිම අධිකරණ කාරණයක් සම්බන්ධයෙන් දඬුවම ලිහිල් කරගැනීම සඳහා පාවිච්චි කිරීමේ අයිතිවාසිකමක් ඉතාලි අධිකරණ ක්‍රමවේදයට අනුව විත්තිකරුවන් සතුය. මේ හේතුවෙන් සී වොච් තීන්දුව දෙස මුළු ලොවම බලා හිඳී. කිසියම් ආකාරයකින් සී වොච් තීන්දුව ලිහිල් වුවහොත්, එය අප්‍රිකානු මිනිස් ජාවාරම්කරුවන්ට පනින රිළවුන්ට ඉණිමං බැඳීමක් වෙනු ඇත.   

 


මෙම වාතාවරණයෙන් අයුතු ප්‍රයෝජන ගෙන, ජූලි මස හයවැනිදා රාත්‍රී එකයි තිහට රාජ්‍ය නොවන සංවිධානයකට අයත් තවත් නෞකාවක් සංක්‍රමණිකයන් යයි කියනු ලබන අප්‍රිකානු පුරවැසියන් හතළිස්හය දෙනෙකු රැගෙන බලහත්කාරයෙන් ඉතාලියේ ලම්පෙදූසා වරායට ඇතුළුවී ඇත. නිදහසට කරුණු ලෙස නෞකාවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිණිය කියන්නේ නෞකාව තුළ පානීය ජලය හිඟවීම සහ සනීපාරක්ෂක පහසුකම් නැතිවීම හේතුවෙන් සරණාගතයින්ගේ සෞඛ්‍යමය හේතූන් සලකා බලා මෙම බලහත්කාරකම ක​ෙළ් ය. මධ්‍යදරණී මුහුදේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ තවත් මෙවැනිම නෞකා කීපයක් අප්‍රිකානු සංක්‍රමණිකයන් සහිතව ඉතාලිය දෙසට යාත්‍රා කරමින් ඇති බව ද දැන් හෙළිවී ඇත.   


රාජ්‍ය නොවන සංවිධාන විසින් අප්‍රිකානු සංක්‍රමණිකයන්ට පක්ෂව, නොකඩවා ඉතාලි භෞමික ස්​ෙ​ෙවරීභාවයට තර්ජනය කරනු ලැබීම පිළිබඳව ඉතාලි ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා තුළ එතරම් ප්‍රසාදයක් නැත. මුහුදු මගින් පැමිණෙන අප්‍රිකානු අනවසර සංක්‍රමණිකයා භාර නොගැනීමේ ස්ථාවරයෙහි ඔහු තවමත් සිටී. මානව හිමිකම් පිළිබඳ ආයතන පමණක් නොව ආගමික සංවිධාන ද, ඉතාලි පාර්ලිමේන්තුවේ ඇතැමුන් ද ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා මානව හිමිකම් උල්ලංඝනය කරනු ලබන බවට චෝදනා කරති.   

 


සී වොච් නෞකාව සහ, ඇලෙක්ස් නෞකාව ද ඡායාරූපවලින් දැක්වේ.   


යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.