ජර්මන් චාන්සලර්වරියගේ අභිරහස් රෝගය ගැන ජර්මානුවෝ කුතුහලයෙන්


ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මෙර්කල් අත පය වෙව්ලීමේ රෝගයකින් පෙළෙන බව අනාවරණය වී ඇත. පසුගිය සති තුනක කාලය තුළ පැවැති රාජ්‍ය උත්සව තුනකදී ම, සීරුවෙන් සිටින අවස්ථා කීපයකදී ඇගේ අත පය වෙව්ලීම රූපවාහිනී රූප රාමු තුළ සටහන්ව තිබුණි. ඇන්ජෙලා මෙර්කල් තම රෝගය වසන් කරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක ප්‍රයත්නයක් පමණක් ම විය.   


මේ පිළිබඳව කුතුහලයට පත් මාධ්‍යවේදීන් අමතා ජර්මන් චාන්සලර්වරිය පවසා ඇත්තේ විශේෂයෙන් කීමට තරම් රෝගී තත්ත්වයක් තමන්ට නැති බව ය. ජර්මන් පාර්ලිමේන්තු මාධ්‍ය සම්බන්ධීකරණ කාර්යාලය පවසන්නේ ඇන්ජෙලා මෙර්කල් නිරෝගීව සිටින බව ය. ඇයගේ රෝග තත්ත්වය පිළිබඳව මෙතෙක් කිසිම නිල ප්‍රකාශයක් නිකුත් කෙරී නැත. ඇගේ රෝග ලක්ෂණ පාකින්සන් රෝගයේ (Parkinson's Disease) ලක්ෂණ නොවන බව ඇතැම් වෛද්‍යවරු පවසා ඇතුව ද මේවා ද නිල ප්‍රකාශ නොවේ. චාන්සලර්වරියගේ රෝගය පිළිබඳව ජර්මන් ජනතාව තුළ විවිධ මත පවතී.   


ජර්මන් චාන්සලර්වරියගේ මෙම රෝගී තත්ත්වය පිළිබඳ ඉතිහාසය වසර කීපයක් ඈතට දිවයන්නකි. 2014 වසරේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ඇගේ මෙම රෝගී තත්ත්වය හේතුවෙන් වැඩසටහන අතරමග නවතා දැමීමට සිදුවිය. 2017 වසරේ ඇන්ජෙලා මෙර්කල් මෙක්සිකෝවේ කරන ලද නිල සංචාරයේදී ද ඇය මෙම රෝගයෙන් පෙළුන බව රූපවාහිනී කැමරා කාචවල සටහන්ව ඇත.   


රෝගී තත්ත්වය හේතුවෙන් ජර්මන් චාන්සලර්වරිය තම රාජකාරි පැහැර හැරීමක් කරන්නේ නැත. පසුගිය දා ජපානයේ ඔසාකා හි පැවැති ජී විස්ස (G20) සමුළුවට ඇය සහභාගී වූවා ය. ඉන් පසුව බ්‍රසල්ස් හි පැවැති යුරෝපා පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගී වීම සඳහා ඇය පැමිණියේ ඔසාකා සිටය.   


වසර දහඅටක පක්ෂ (CDU) නායකත්වය සහ ජර්මානු චාන්සලර්වරිය ලෙස වසර දාහතරක දීර්ඝ දේශපාලන අත්දැකීම් ඇති ඇන්ජෙලා මෙර්කල් ජර්මන් ජනතාවගේ ප්‍රසාදය දිනාගත් දේශපාලනඥවරියකි. ජර්මානු ජනතාව ප්‍රකාශ කරන්නේ තම චාන්සලර්වරිය ලෙස ඇන්ජෙලා මෙර්කල්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සත්‍ය දැන ගැනීමට තමන්ට අයිතියක් ඇති බව ය. එහෙත් මෙතෙක් ඒ පිළිබඳව කිසිම නිල ප්‍රකාශයක් නිකුත් වී නැත.   

 


චාපි කෝසලා  - මියුනිච්, ජර්මනිය.