චීනයේ පැවති සිංහල අලුත් අවුරුදු උත්සවයෙන්


උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් චීන - ලංකා තරුණ සමුළුවේ ද සහාය ඇතිව දෙවන වරටත් සංවිධානය කළ විචිත‍්‍රවත් බක්මහ උලෙළ පසුගිය 15 වැනි දින 400 කට වැඩි ශ්‍රී ලාංකේය චීන හා වෙනත් විදේශ රටවල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් තානාපති කාර්යාල පරිශ‍්‍රයේ දී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම බක්මහ උලෙළේ දැකිය හැකි විශේෂත්වය වූයේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන බක්මහ උ​ෙළලක දක්නට ලැබෙන සියලුම ආකාරයේ සාම්ප‍්‍රදායික හා විචිත‍්‍රවත් සංස්කෘතික අංග මෙහිද නොඅඩුව දක්නට ලැබීමය. ශ්‍රී ලාංකේය අලුත් අවුරුදු කෑම මේසයක දක්නට ලැබෙන කැවිලි පෙවිලිවලින් සමන්විත අලංකාර අලුත් අවුරුදු කෑම මේසයක්ද සහභාගිවූවන් වෙනුවෙන් පිළියෙල කරතිබූ අතර බෙයිජින් හා ටියන්ජියන් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම අවුරුදු උත්සවයෙහි කටයුතු ඉතා විචිත‍්‍රවත් ලෙස සංවිධානය කර තිබිණි. සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලාංකේය ජන ක්‍රීඩා තරගවලට මෙහිදී කාගේත් වැඩි අවධානයක් යොමුවූ අතර කොට්ටපොර ගැසීම, බැලුම් පිපිරවීම, කඹ ඇදීම, කනාමුට්ටි බිඳීම, බනිස් කෑම, අවුරුදු කුමරා කුමරිය තේරීම ආදී බොහොමයක් තරගවලට දෙස් විදෙස් සාමාජිකයන් ඉතා උද්‍යෝගයෙන් යුතුව සහභාගී වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.   


“අපේ මව් රටින් ඈත්වෙලා අපි සැතපුම් දසදහස් ගණනක දුර රටක හිටියත් අපේ ඉපැරණි සංස්කෘතිකාංග ආරක්ෂා කරගන්නත් ඒවා ගැන අපේ තරුණ පරපුරට අවබෝධයක් ලබා දෙන්නත් මේ වගේ උත්සව වැදගත් මෙහෙවරක් ඉටු කරන නිසා දෙවැනි සැරේටත් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා චීන ලංකා තරුණ සමුළුවේ ඒකාබද්ධ සහයෝගය ඇතිව මේ වගේ අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපි විදේශයකට ගියාට පස්සෙ තමයි අපේ සංස්කෘතික උරුමයෙහි වැදගත්කම වැඩියෙන් තහවුරු වෙන්නෙ. ඒ වගේම මේ අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙන විදේශිකයෝ අපේ සංස්කෘතික උරුමය දැකලා අත්විඳලා වඩාත් සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම චීන ජාතිකයෝ අපේ රට ගැන කතා කරන්නෙ ඉතාම සතුටකින්. චීනයයි ශ්‍රී ලංකාවයි කියන්නෙ අතීතයේ ඉඳන්ම හොඳ මිතුරෝ. මේ මිත‍්‍රත්වය අලුත් කරගන්නත් දෙරටේ සංස්කෘතික සබඳතා වඩාත් තහවුරු කරගන්නත් මේ වගේ උත්සවවලින් විශාල අනුබලයක් ලැබෙනවා.” මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉරිදා ලංකාදීපය සමගින් අදහස් දක්වමින් මේ බක්මහ උලෙළ ගැන එසේ අදහස් දැක්වීය.   

 

 


උපුල් වික්‍රමසිංහ   
චීනයේ බෙයිජින් නුවර සිට