චීන අභ්‍යවකාශ පර්යේෂණාගාරයේ සුන්බුන් පැසිපික් සාගරයට ඇද වැටෙයි


චීනය විසින් නිෂ්පාදනය කරන ලදුව, 2011 වසරේ සැප්තැම්බර් මස තිස්වැනිදා අභ්‍යවකාශගත කරන ලද ටියැන්ගොන්ග් (නීල මන්දිරය) අභ්‍යවකාශ පර්යේෂණාගාරය, දින 2375 කුත් පැය විසිඑකක කාලයකට පසුව අපේ‍්‍රල් මස දෙවැනිදා ශ‍්‍රී ලංකා වේලාවෙන් අළුයම පහයි හතළිස්හයට පැසිෆික් සාගරයට කඩාවැටුණු බව ජාත්‍යන්තර එක්සත් අභ්‍යවකාශ ආයතන සංගමය වාර්තා කරයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන දොළහක් චීන නීල මන්දිරයේ විනාශය දෙස නෙත් අයා බලා සිටියහ.   


වසර දෙකක සේවා කාලයකට පමණක් අභ්‍යවකාශ ගතකරන ලද නීල මන්දිරයේ කාර්යක්ෂම සේවය හේතුවෙන්, එය නියමිත කාලය ඉක්ම වූ පසුවද කාලයක් අභ්‍යවකාශයේ රඳවා තැබීමට චීනය තීරණය කර තිබුණි. එහෙත් 2016 වසරේ සිට එම අභ්‍යවකාශ පර්යේෂණාගාරය පෘථිවි පාලන මැදිරි මෙහෙයවීමෙන් මිදී අභ්‍යවකාශයේ නිදහසේ භ‍්‍රමණය වෙමින් තිබුණි.   


පැසිෆික් සාගරයට ඇද වැටීමට දින දෙකකට පෙර පෘථිවියට සැතපුම් දෙසියයක් ඉහළ අභ්‍යවකාශයේ භ‍්‍රමණය වෙමින් තිබුණු චීන අභ්‍යවකාශ පර්යේෂණාගාරය, අවසන් පැය කීපය තුළ ශීඝ්‍රයෙන් පෘථිවිය කරා ඇදී විත් පෘථිවි වායු ගෝලයේ ගැටී සුන්බුන් බවට පත්ව ඇත. පෘථිවි වායුගෝලයේ ගැටී ගිනිගෙන විනාශ වූ යානයේ සුන්බුන් පැසිෆික් සාගරයට ඇදවැටීමට විනාඩි හතළිහක කාලයක් ගත වූ බව ද ජාත්‍යන්තර එක්සත් අභ්‍යවකාශ ආයතන සංගමය වාර්තා කරයි. චීන අභ්‍යවකාශ යානයේ සුන්බුන් වැටීමෙන් කිසිදු අනතුරක් සිදුවූ බවක් මෙතෙක් වාර්තාවී නැත.   


ටියැන්ගොන්ග් අභ්‍යවකාශ පර්යේෂණාගාරයේ සුන්බුන් ඉතාලියේ එමීලියා රොමාඥා ප‍්‍රදේශයට කඩා වැටෙතැයි මීට සති කීපයකට පෙර අනතුරු ඇගවීමක් කර ඉතාලි සිවිල් ආරක්ෂක හමුදා සීරුවෙන් තබා තිබුණද, එම අභ්‍යවකාශ මෙවලම පැසිෆික් සාගරයට කඩාවැටීම සියලුම අනාවැකි ප‍්‍රලාප බවට පත් කළේය.   


චීන නීල මන්දිරය පෘථිවි වායු ගෝලයේ ගැටී ගිනිගන්නා ආකාරය හා සුන්බුන් බවට පත්ව පෘථිවිය කරා වේගයෙන් ඇදී එන ආකාරය ද, අභ්‍යවකාශයේ රඳවා ඇති වෙනත් චන්ද්‍රිකාවල සටහන්ව තිබූ ආකාරය ඡායාරූපයන්ගෙන් දැක්වේ.   

 

 


යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.