ග්‍රහ මාරුවක චමත්කාරය දුටු මූර්ති ශිල්පියෙකුගේ පරිකල්පනය


කලාකරුවා ලොව දකින්නේ අමුතුම ඇසකිනි. මේ නිසාම දක්ෂ කලාකරුවා මනුෂත්වය ඉක්මවා ගොස් දේවත්වයට වඩාත් ළංවූවෙකැයි කියති. සාමාන්‍ය මිනිසෙකු නොදකින ජීවිතයේ චමත්කාරය සුන්දරත්වය පමණක් නොව, අනිත්‍ය මෙන්ම දුක්ඛ ස්වභාවය ද කලාකරුවා දකී. ඔහුගේ නිර්මාණ තුළ ගැබ්වෙන මෙම සුන්දරත්වය සමකාලීන සහ පසුකාලීන විචාරකයා දකින්නේ ද විවිධ වූ ඇසින් ය. ඇතැම් අවස්ථාවක නිර්මාණකරු නොදුටු ගැඹුරක් සුන්දරත්වයක් ඒ නිර්මාණ තුළ විචාරයා දකී. සමහර සිද්ධියක ස්වභාවිකත්වය ඉක්මවා ගොස් කලාකරුවා වෙනස්ම ආකාරයකින් ඒ දෙස බැලීම, පරිකල්පනය ලෙස නිර්වචන කෙරේ.   


මේ සමග දැක්වෙන මීටර් හතරයි සෙ.මී. දහයක් උස දැවැන්ත කිරිගරුඬ ප්‍රතිමාව ඇත්තේ ෆිරෙන්සියේ “පලට්සෝ වෙක්කියෝ” කෞතුකාගාරය ඉදිරිපිට ඇති විවෘත “ලොජියා දෙල්ලා සින්ඤ්ඤොරීආ” මන්ධිරය තුළ ය. 1583 දී ජම්බොලොඤ්ඤා නම් වූ බෙල්ජියම් ජාතික මූර්ති ශිල්පියකු විසින් කර ඇති “සබීනා දූෂණය කිරීම” නම් වූ මෙම නිර්මාණය පිළිබඳව විචාරකයෝ විවිධ අදහස් දක්වති. ඇතැමෙකුගේ අදහස වෙන්නේ මෙම මූර්තියෙන් සංකේතවත් කෙරෙන්නේ ඊයේ අද සහ හෙට බවය. එහෙත් ඊයේ සහ අද පුරුෂත්වයෙන් නිරූපණය වී, හෙට දවස කාන්තා ස්වරූපයෙන් නිර්මාණය වී තිබීම ගැටලුවකි.   


මේ ප්‍රතිමාව පිළිබඳව පිළිගත් මතය වී ඇත්තේ, ක්‍රි.පූ. 753 දී රෝමය පිහිටුවාගත් රොමියුලස් විසින් එවකට විසූ තවත් ජන කණ්ඩායමක් වූ “සබීනයින්” යටත් කරගැනීම මෙයින් සංකේතවත් කෙරෙන බවය. මෙම ප්‍රතිමාවට නම තබා ඇත්තේ ද එම මතය මතය පිහිටාය. මේ අතර මෙම ප්‍රතිමාව පිළිබඳව තවත් විචාරකයකු විසින් ඉදිරිපත් කර ඇති අදහස වඩාත් චමත්කාරය.   


ග්‍රීක දේව කතා පුරාණයට අනුව පෘතුවිය මහල්ලෙකි. ජුපිටර් ග්‍රහයා තරුණ ය. ශක්තිමත් ය. වීනස් රූමත් කන්‍යාවියකි. ඇතැම් කලා විචාරකයකුගේ මතයට අනුව 1583ට පෙර කිසියම් වකවානුවක ජුපිටර් ග්‍රහයා පෘතුවියත් වීනස් ග්‍රහයාත් අතරින් ගමන්කිරීමේ ග්‍රහ මාරුවක් සිදුවී ඇත. (මේ පිළිබඳව ජ්‍යොතිෂ සාක්ෂි විමසා බලා නැත.) ජම්බොලොඤ්ඤා මෙම ග්‍රහ මාරුව දැක ඇත්තේ මහළු පෘතුවිය අසරණව බලා සිටියදී, ජුපිටර් නම් වූ ශක්තිමත් පුරුෂයා විසින් වීනස් නම් වූ කන්‍යාවිය දූෂණය කළ සැටියෙන් ය.   
නිර්මාණයක් ලෙස ගත්කල මූර්ති ශිල්පියාගේ දක්ෂකම මෙම ප්‍රතිමාවෙන් මොනවට පැහැදිලි වේ. ජුපිටර්ගේ අතින් වීනස්ගේ කලවේ මස් එබීගොස් ඇති ආකාරය බලන්න. මහඵ පෘතුවිය මෙම ග්‍රහ මාරුව බලා සිටින්නේ අපි හිරු දෙස බලන්නාක් මෙන් අතින් දෑස් ආවරණය කරගෙනය. මෝදුපත් වීනස්ගේ පියයුරු ඇගේ තාරුණ්‍යය පෙන්වයි. ජුපිටර්ගේ ශක්තිමත් බව මස්පිඬුවලින් පෙනෙයි. ඇත්තෙන්ම විශිෂ්ට කලා නිර්මාණයකි. මෙම ප්‍රතිමාව නෙළීමට හේතුවූ සැබෑ නිමිත්ත අසා දැනගැනීමට ජම්බොලොන්ඤ්ඤා ප්‍රතිමා ශිල්පියා අද නැත. එහෙත් විචාරකයකුගේ උක්ත පැහැදිලි කිරීමත් සමගම සබීනා දූෂණය කිරීම නම් වූ මෙම ප්‍රතිමාව දෙස බලන විට, මේ ප්‍රතිමාව වඩාත් චමත්කාරය.

 

 

 

 

චාපි කෝසලා - මියුනිච්