ගණිතය ප‍්‍රශ්න පත‍්‍රයකට විනාඩි පහළොවක් වැඩියෙන් දුන්නත් ඔක්ස්ෆර්ඩ් මානවිකාවෝ වැඩේ අනාගනිති !


 

එංගලන්ත අධ්‍යාපනය පිළිබඳව අලුතින් හැඳින්වීමක් කළ යුතු නැත. ඒ පිළිබඳව අපි අතීතයේ සිටම දනිමු. ලංකා නිදහස් සටනේ ඇතැම් පුරෝගාමීන්ද, ඇන්.ඇම්. පෙරේරා වැනි මහ මොළකරුවෝ ද, විවිධ අවස්ථාවල රටේ විධායකයේ ඉහළ තනතුරු දැරුවෝ ද, එංගලන්ත අධ්‍යාපනයේ ප‍්‍රතිඵලයෝය. ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් නම කීවත් තවමත් ඇති ය.   


යටත් විජිත මානසිකත්වයෙන් අපි තවමත් මුළුමනින්ම මිදුනෝ නොවෙමු. ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් නැති වුවද එංගලන්තයේ අප‍්‍රසිද්ධ පාසලකට විශ්වවිද්‍යාලයකට වුවද වැඩිදුර අධ්‍යාපනය සඳහා තම දරුවන් යැවීමට පෝලිමේ සිටින අතමිට සරු දෙමාපියෝ අද ද අප අතර හිඟ නැත. එහෙත් එංගලන්තයේ අධ්‍යාපනය ලැබීමට ගිය පමණින් සියල්ලෝම සුපිරි මොළ වෙන්නේ නැත.   

 

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගණිත උපාධි පාඨමාලාව හදාරණ මානවිකාවන් අවසන් පරීක්ෂණයෙන් ලබාගන්නා උපරිම ලකුණු ප‍්‍රමාණය පිරිමි සිසුන් ලබාගන්නා උපරිම ලකුණු ප‍්‍රමාණයෙන් අඩක් වීම හේතුවෙන්, මෙවර විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ ඒකමතික තීරණය අනුව අවසන් ගණිත ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලිවීමට පිරිමි සිසුන්ට වඩා සිසුවියන්ට විනාඩි පහළොවක අමතර කාලයක් ලබාදී තිබුණි. එහෙත් එම වරප‍්‍රසාදය යටතේ වුවද ගණිත උපාධිය අවසන් පරීක්ෂණයෙන් උපරිම ලකුණු ලබාගෙන ඇත්තේ සිසුවියන්ගෙන් සියයට තිස් නවයක ප‍්‍රතිශතයක් පමණි. උපරිම ලකුණු ලබාගත් පිරිමි විභාග අපෙක්ෂකයන්ගේ ප‍්‍රතිශතය සියයට පනහකි.   


ඔක්ස්ෆර්ඩ් මානවිකාවන් ගණිත විෂයයට දුර්වලියන් සේ සලකා ප‍්‍රශ්නපත‍්‍රයට පිළිතුරු සැපයීමට පිරිමි සිසුන්ට වඩා විනාඩි පහළොවක අමතර කාලයක් ලබාදීම ද දැන් දෝශාරෝපණයට ලක්ව ඇත. මෙම සිද්ධිය සම්බන්ධව කාන්තා පක්ෂය උණුසුම් අන්දමින් අදහස් ප‍්‍රකාශ කරමින් සිටිති. ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයීය මානවිකාවන් ‘මැට්ටියන්’ යයි කරන ලද ප‍්‍රකාශයක් හේතුවෙන් පැන නැගුණු විරෝධතා නිසා මීට වසර දහයකට පෙර එම විශ්වවිද්‍යාලයේ කුලපතිවරයාව සිටි ලෝරන්ස් සමර්ස්ට තම පදවිය හැරදමා ගෙදර යාමට පවා සිදුවිය.   

 

 


යටියන,   
ක්ලැරන්ස් කොස්තා,   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.