කුරුල්ලන්ට කූඩු ඇතත් යුරෝපයේ දුප්පතුන් ලක්ෂ හතළිස් එකක්ම ලගින්නේ අගුපිල්වල


දියුණුවෙමින් පවතින රටවල පුරවැසියෝ ඇමෙරිකාව හැරුණු විට යුරෝපය දකින්නේ සැප සම්පතින් ආඪ්‍ය සුරපුරයක් ලෙස ය. එම දර්ශනයට අනුව යුරෝපයේ දුගීන් නැත. සියල්ලෝ ම ධනවතුන් ය. නීතිය අකුරට ම ය. දේශපාලනය පිරිසිඳු ය. වංචාව හොර බොරුව නැත. පාරිසරික පිරිසිඳුකම උපරිමයෙන් ය. පඩි වැඩි ය. බඩු මිල අඩුය. මේ සියල්ල සර්වසම්පූර්ණයෙන් නොවුවද, යම් තරමකින් හෝ යුරෝපයේ පැවති අවදියක් ද විය. එහෙත් එවකට පවා එම තත්ත්වය පැවතියේ අතීශෝක්තියෙන් නොවේ. දෙදහස් අට වසර පමණ සිට විවිධ හේතූන් මත නිර්මාණයවී යුරෝපය පුරා පැතිර යන ආර්ථික දුෂ්කරතා හේතුවෙන්, අද වෙන විට දුප්පත්කම යුරෝපය පුරා සීඝ‍්‍රයෙන් පැතිර යමින් ඇත. 


යුරෝපා හවුලේ සාමාජික රටවල් පහළොවක, හිසට සෙවනක් නොමැතිව මහමග නිදන දුගීන් සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය නොවෙන ස්වෙච්ඡා පුණ්‍ය සංවිධාන එකසිය තිහක සම්බන්ධීකරණයෙන් 2017 වසරේදී කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ, යුරෝපා හවුලේ රටවල් තුළ දුගී බව හේතුවෙන් හිසට වහළක් නැතිව මහමග නිදනවුන් හතළිස්එක් ලක්ෂයක් ඇති බව ය. ෆින්ලන්තයේ හැරුණු විට, යුරෝපා හවුලට අයත් අනෙකුත් සියලුම රටවල මෙම දුගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් ඇති බව එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් ය. 


මීට වසර කීපයකට පෙර අගනගරවල පමණක් කේන්ද්‍රගත වෙමින් සිටි මෙම දුගීන්, දැන් ප‍්‍රාදේශීය කුඩා නගර දක්වා ද විහිද ඇති බව උක්ත සමීක්ෂණයෙන් හෙළිවී ඇත. ප‍්‍රධාන දුම්රියපොළවල් හා මධ්‍යම බස්නැවතුම් පොළවල් මෙම පිරිසේ රාත‍්‍රී ලැගුම්හල් බවට පත්ව ඇත. වැරහැළි පොට්ටනි සමග පත්තර පිටු මත හෝ කාඩ්බෝඩි පෙට්ටි තුළ නිදන මෙම පිරිස නගරාලංකාරයට තර්ජනයක්ව ඇති බැවින්, මේ සඳහා පිළියමක් යෙදීමේ මගක් සෙවීමට යුරෝපා හවුල උත්සුකවී සිටිති. 

 

 

ලොව ලස්සනම හා පිරිසිඳුම රට ලෙස සැලකෙන ඔස්ට්‍රියාවේ, 2008 වසරේදී එකොළොස්දහස් හාරසියක්ව සිටි මහමග ලගිනවුන්ගේ සංඛ්‍යාව, 2014 අවසන් වෙන විට 14600 දක්වා වර්ධනයවී තිබුණි. ඔස්ට්‍රියාවේ අගනුවර වන වියානා නගරයේ රාත‍්‍රියේ මහමග ලගින දුප්පතුන්ගේ සංඛ්‍යාව, 2010 වඩා මේ වෙන විට සියයට දහනවයක ප‍්‍රතිශතයකින් වර්ධනයවී ඇති බව පැවසේ. දිනෙන් දින මෙම සංඛ්‍යාව ඉහළ යමින් ඇත. 
බෙල්ජියමේ බ‍්‍රසල්ස් අගනගරයේ 2010 වසරේදී කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ, මහමග නිදන දුගීන්ගේ සංඛ්‍යාව 1944 ක් බව ය. එහෙත් 2014 වසර වෙන විට මෙම පිරිස 2603 දක්වා වැඩිවී තිබුණි. 
2012 වසරේදී කරන ලද සමීක්ෂණයකින් හෙළිවූවේ ප‍්‍රංශයේ මහමග නිදන දුගීන් එක්ලක්ෂ හතළිස්එක්දහස් පන්සියයක් සිටින බව ය. මෙම පිරිස 2001 වසරේදී මේ පිළිබඳව කරන ලද සමීක්ෂණ වාර්තාවේ සඳහන් සංඛ්‍යාවට වඩා සියයට පනහක ප‍්‍රතිශතයක වර්ධනයකි. පැරිස් නගරය තුළ මහමග නිදනවුන් ඇත්තේ පනහක් පමණ යයි මෑතකදී ප‍්‍රංශ ජනාධිපතිවරයා විසින් කර ඇති ප‍්‍රකාශය මතභේදයට තුඩුදී ඇත. 


යුරෝපා හවුල මේ වෙන විට මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතාවලට යම් තරමකින් හෝ සාර්ථකව මුහුණ දී සිටින එකම රට ලෙස සැලකෙන ජර්මනියේ ද, දුගී බව හේතුවෙන් හිසට නිවහනක් නොමැතිව මහමග නිදන දුප්පතුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් ඇත. 2012 වසරේදී දෙලක්ෂ හතළිස්අටදහසක් වූ ජර්මනියේ මහමග නිදනවුන්, 2014 වෙන විට තුන්ලක්ෂ තිස්පන්දහස දක්වා වැඩිවී තිබුණි. සරණාගතයන් ලෙස වැල නොකැඩි ජර්මනියට පැමිණෙන අප‍්‍රිකානු ජාතිකයන් හේතුවෙන්, මේ වෙන විට ජර්මනියේ මෙම තත්ත්වය වඩාත් සංකීර්ණ වෙමින් ඇත. 


මහමග නිදනවුන් පිළිබඳව ජාත්‍යන්තර කරිටාස් ආයතනයේ සහයෝගයෙන් ඉතාලියේ කරන ලද සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ, 2011 වසරේදී 47648 ක් වූ මහමග නිිදනවුන් සංඛ්‍යාව 2014 වෙන විට පනස්දහස් හත්සියවිසිහතර දක්වා වැඩිවී තිබුණු බව ය. 

 

 

සැපවත්ව ජීවත්වීමට සුදුසුම රටවල නාම ලයිස්තුවේ ඉහළින් ම සඳහන්ව ඇති රටක් ලෙස සැලකෙන ඩෙන්මාර්කයේ ද මහමග නිදනවුන් නැත්තේ ම නොවේ. එහි ද දුගීබව ව්‍යප්ත වෙමින් ඇත. 2009 වසරේදී 4998 ක්වූ මෙම දුගී පිරිස, 2015 වෙන විට 6138 ක් ව තිබුණි. මෙම කාලය තුළ විවිධ හේතූන් මත මහමග නිවහන කරගන්නා ඩෙන්මාර්ක තරුණ පිරිස සියයට අසූපහක ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ. 
ස්පාඤ්ඤය මේ සම්බන්ධව සපයා ඇති වාර්තාවන්ට අනුව, දැනට එහි මහමග නිදනවුන් සංඛ්‍යාත්මකව විසිදෙදහස් නවසිය තිස්නවයකි. බාසෙලෝනා නගරයේ පමණක් 2014 වසරේදී 2700 ක් වූ මහමග නිදනවුන්, 2016 වෙන විට 2914 දක්වා වර්ධනයවී ඇත. 


එංගලන්තයේ 2014 වසරේ ගිම්හානයේ සිට 2015 වසර ගිම්හානය දක්වා වසරක කාලය තුළ පමණක් මහමග නිදන දුගීන්ගේ සංඛ්‍යාව සියයට තිහක ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. 2015 වසර තුළ ලන්ඩනයේ මහමග නිදනවුන් අටදහසක් විය. මුළු එංගලන්තය තුළ ම මෙම පිරිස දහහතරදහස් හාරසිය හැත්තෑවකි. 


මහමග නිදන දුගීන්ගේ ප‍්‍රශ්නයෙන් යම්තරමකින් හෝ ජයගෙන ඇත්තේ ෆින්ලන්තය පමණි. ෆින්ලන්තය විසින් 1987 දී දියත් කරන ලද, සැමට පළමු හිසට වහළක් ව්‍යාපෘතිය යටතේ මහමග ලගින දුප්පතුන් සාර්ථක ලෙස සමාජගත කිරීමේ ප‍්‍රතිඵලය ලෙස, වසර තුනක කාලය තුළ එහි මහමග නිදනවුන්ගේ සංඛ්‍යාව සියයට දහයක ප‍්‍රතිශතයකින් පහත වැටී ඇත. 


යුරෝපා හවුලට අයත් රටවල දිනෙන් දින ඉහළ යන දුගී බව හේතුවෙන් හිසට නිවහනක් නැතිව මහමග නිදන පිරිස ඉහළ යාම වැළකීම සඳහා, හවුලේ රටවල් අතර සාමුහික එකඟතාවක් මත කලාප ව්‍යාප්ත ව්‍යාපෘතියක් දියත් කිරීමේ හදිසි අවශ්‍යතාවක් උදාවී ඇත. 2020 වෙන විට මෙම ප‍්‍රශ්නය විසඳීමට විවිධ ව්‍යාපෘතීන් පිළිබඳ සැලසුම් ඉදිරිපත්ව ඇතුව ද, සරණාගතයන් ලෙස වැල නොකැඩි යුරෝපයට ඇදී එන අප‍්‍රිකානු පුරවැසියන් හේතුවෙන් මෙම සැලසුම් ක‍්‍රියාත්මක කිරීම අපහසුවී ඇත. යුරෝපයේ ප‍්‍රධාන නගරයක මධ්‍යම දුම්රියපොළක රාත‍්‍රී දර්ශනයත්, තෙවැනි ලෝකයේ ප‍්‍රධාන නගරයක මධ්‍යම දුම්රියපොළක රාත‍්‍රී දර්ශනයේත් දැන් එතරම් වෙනසක් නැත. කඩමළු පොදි අතර, පත්තර පිටුමත හෝ පෙට්ටි තුළ ගුලිවී නිදනවුන් සැමතැනම ය. 

 

 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා. 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.