කිලෝ මීටරයක් උස ගොඩනැගිල්ලක් සවුදි අරාබියේ ඉදිවෙයි


 

බොරතෙල් මිල පහත වැටීම සෞදි ආර්ථිකයට අහිතකර බලපෑමක් කළද, රට නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමේ ව්‍යාපෘති ඉදිරියටම ගෙනයාමට එරට සල්මාන් රජතුමා තීරණය කර ඇත. නව මාර්ග ඔස්සේ සෞදි ආර්ථිකය තරකිරීම සඳහා හඳුන්වාදී ඇති නව බදු ක‍්‍රමය බොහෝ දෙනාගේ විවේචනයට හේතුවී ඇත. මෙතෙක් සුල්තාන්වරුන්ගෙන් අයකර නොගන්නා ලද ජල හා විදුලි බිල මෙතැන් සිට අයකරගැනීමට සල්මාන් රජතුමා විසින් ගෙන ඇති තීරණයට එරෙහිව කුමාරවරුන් විසින් රජ මැදුර ඉදිරිපිට කරන ලද උද්ඝෝෂණය නිමවූවේ කුමාරවරුන් විසිදෙදෙනකු වහාම අත්අඩංගුවට ගැනීමෙනි. මේ සියල්ල අතර වුවද සෞදි මුහුණුවර වෙනස් කිරීමේ ව්‍යාපෘති අත්හැර නොදැමෙනු ඇත.  


නගරාලංකාර ව්‍යාපෘතිය යටතේ ලොව උසම ගොඩනැගිල්ල සෞදි අගනුවර වන ජෙඩා හි ඉදිකිරීමට ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මාන් කුමරා තීරණය කර ඇත. මෙම යෝජිත ගොඩනැගිල්ල මීටර් දහසක (කිලෝමීටරයක) උසින් නිමවෙනු ඇත. මෙම ගොඩනැගිල්ල ‘‘ජෙඩා ටවර්’’ හෝ ‘‘කිංඩම් ටවර්’’ ලෙස හෝ නම් කිරීමට නියමිතවන අතර, දැනට ඇස්තමේන්තු වියදම ඩොලර් බිලියන එකහමාරකි. 


සෞදි ගොඩනැගිලි ඉදිකිරීමේ ක්ෂේත‍්‍රයේ ආසියාතික සහ අප‍්‍රිකානු ශ‍්‍රම කප්පාදුව අතර වුවද, යෝජිත ලොව උසම ගොඩනැගිල්ල 2020 වෙන විට ගොඩනගා නිම කිරීමට නියමිතය. 


දැනට ලොව උසම ගොඩනැගිල්ල ලෙස පිළිගැනෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ඇති බූර්ජ් කලීෆා ගොඩනැගිල්ලය. එහි උස මීටර් 829.8 කි. 


‘‘ජෙඩා ටවර්’’ නිමවූ පසුව පෙනෙන ආකාර ඡායාරූපයෙන් දැක්වේ. 


චාපි කෝසලා