කහවනු සොයා රට ගිය ඇත්තියකගෙ තවත් එක් අනුවේදනීය කතාවක්


 

මේ මගේ කතාව නොවේ. මා දන්නා හඳුනන මද්දුමීගේ ජීවිතයේ සත්‍ය කතාවය. මද්දුමී ඇගේ සැබෑ නම නොවේ. එහෙත් ඇගේ මිතුරියන් විසින් ඇය අමතනු ලැබුවේ මද්දුමී කියාය. මම මද්දුමී හඳුනාගත්තේ පාසලේදීය. එවකට උසස්පෙළ පන්තියේ උගැනුම ලබමින් සිටි මද්දුමීගේ ආර්ථික විද්‍යා ගුරුවරයා වූවේ මමය. ගුරුගෝල පරතරයක් අප අතර වුවද, අපේ වයස් අතර එවකට වූවේ අවුරුදු හතරක පමණ පරතරයකි. පාසලේ ගුරුවරයා වුවද මමද ඒ දිනවල විශ්වවිද්‍යාල සිසුවකු වීමි. මද්දුමී සතුව තිබුණු යුරෝපීය පෙනුම පංතියේ අනෙකුත් සිසුවියන් අතර ඇය ඉස්මතුවී පෙනෙන ප‍්‍රධානම ලක්ෂණය විය. එම ප‍්‍රදේශයේ එය පුදුමයට කරුණක් නොවීය. පසුකලෙක විවාහ සබඳතාවයක් හේතුවෙන් මද්දුමී මගේ ඥ‌ාතිවරියක වූවාය.   


දැන් අපි වැඩිහිටියෝය. පසුගිය අගෝස්තු මස එක්තරා දිනෙක ශ‍්‍රී ලංකාවේදී මද්දුමී මා සොයා ආවාය. මව්බිමේදී මෙන්ම මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක ලෙස ලද අත්දැකීම්ද හේතුවෙන් ඇය දැන් පරිණතය. මුහුණ සෝ බර වුවද ඇගේ එදා වූ යුරෝපීය පෙනුම තවමත් එසේමය.   


බිමට නැඹුරුවූ දෙනෙතින් මද්දුමී මා ඉදිරියේ දිග හරින ලද මෙම වෘත්තාන්තය අතරතුර, විටෙක බියෙන් මෙන් විවර වූ දෑසින් ඇය මා දෙස බැලූවා ය. එවන් මොහොතක මම ඇගේ දෑස මගහැරියෙමි. එහෙත් යළි ඇය බිම බලාගත් සඳ මම මහත්වූ වේදනාවකින් මද්දුමීගේ මුහුණ දෙස බලාගෙන ඇගේ කතාව අසා සිටියෙමි. ඇගේ කතාව මහ දිග නවකතාවකට වුවද ප‍්‍රමාණවත්ය. එහෙත් එවැනි දිග කතාවක් ලිවීමට තරම් මට ඉඩක් නැත. එවැන්නක් කියවීමට තරම් ඔබටද කාලවේලාවක් නැතැයි මම සිතමි. මද්දුමීගේ කතාව සංෂිප්තයෙන් මෙසේ ලියා තබන්නේ ඒ නිසාය. මෙම කතාව ඇගේ වචනවලින්ම ලියා තබන්නේ සංවේදී බව උද්දීපනය කිරීමේ ප‍්‍රයෝගයක් ලෙසය.   
පවුලේ වැඩිමහලු සොහොයුරියකටත් තවත් බාල සොයුරියකටත් මැදිව උපත ලැබූ බැවින් මම ගෙදරදීත් මිතුරියන් අතරත් මද්දුමී වෙමි. ගොවිතැන් බතින් යැපුණු පවුලේ වැඩකටයුතුවලින් අක්කා බාලයේ සිටම මගහැර සිටියාය. අම්මා, තාත්තාගේ ගොවිතැන් වැඩවලට උදව්පදව් වියයුතු වූ බැවින් නංගීගේ වැඩ කටයුතු බොහොමයක්ද, ගෙදර දොරේ වැඩකටයුතු සමහරක් ද, මා පිට පැවරුණේ මා බාල වියේ සිටමය. පවුලේ ලොක්කී බැවින් අක්කා ද පවුලේ බඩපිස්සී බැවින් නංගී ද මට වඩා වැඩි වරප‍්‍රසාද භුක්ති විඳිමට තරම් වාසනාවන්තියෝ වූහ.   


තාත්තා ඔත්පොළ වූවේ මා අධ්‍යාපන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ ප‍්‍රතිඵල බලාපොරොත්තුව සිටියදීය. අම්මා ද ඒ වනවිට එතරම් සෞඛ්‍ය සම්පන්නව නොසිටියාය. ඒ සියල්ල අතර වුවද අක්කා ප‍්‍රිය කළේ සමනළ ජීවිතයක්ය. නංගී නම් අධ්‍යාපනයේ දක්ෂියක වූවා ය. එවකට පවුලේ බරට කරදිය හැකි තත්ත්වයක සිටියේ මා පමණි. මා සතුව තිබුණු අධ්‍යාපන සුදුසුකම් මත වුවද, ගැලපෙන කිසියම් රැකියාවකට රෙකමදාරු කිරීමට තරම් කිසිවකු අපි දැන හඳුනාගෙන සිටියේ නැත. මා විශ්වවිද්‍යාලයට නිර්දේශ වෙමින් උසස් පෙළ විභාග ප‍්‍රතිඵල නිකුත් වුවද වැඩිදුර අධ්‍යාපනය සඳහා මුදලක් අප අත නොවීම, මා දෝහා කටාර් රාජ්‍ය වෙත ගෘහ සේවිකාවක ලෙස පිටුවහල් කිරීමට හේතු විය.   


මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස ගිය කාන්තාවකගේ වෘත්තීය ජීවිතය පිළිබඳව මා ඔබට කිවයුතු නොවේ. ඒවා ඊයේද අදද හෙටද වෙනසකින් තොරව පුවත්පත්වල පිටු පුරවයි. කටාර්හිදී මා විසින් උපයන ලද මුදලින් අම්මා තාත්තා රැකබලාගනිමින්, නංගී තම අධ්‍යාපන කටයුතු ද නොපිරිහෙලා ඉටුකර ගත්තාය. අක්කා ඇගේ සමනළ ජීවිතයට මූල්‍යමය ආධාර මගෙන් පැතුවේ උණකාරයකු වතුර ඉල්ලන්නා සේය.   


කටාර් රැකියාවෙන් මා උපයා ගත් මුදලින් මට යැයි කියා යමක් කරගැනීමට තරම් දෙයක් මා අත ඉතිරි නොවීය. ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ සමන් අයියා සමඟ අක්කා අතිනත ගැනීම වෙනුවෙන් මනාලියගේ පාර්ශ්වයෙන් කළ යුතු වූ සියලුම වියපැහැදම් කරන ලද්දේ මා විසින්ය. අක්කා විවාහවී ගියා ගියාමය. ඊළගට කූඩුවෙන් වෙන්ව ගියේ තාත්තාය. දීර්ඝ කාලීන රෝගී තත්ත්වයෙන් පසුව මියපරළොව ගිය තාත්තාගේ මළගමට මුදල් එවනවා හැර, පැමිණිමට තරම් මට අවසරයක් නොවීය. තාත්තාගේ මරණයට පවා අක්කා ළමාතැණී ලෙස සහභාගී වී ඉක්මනින් ආපසු ගිය බව පසුව මට ලියා එව්වේ නංගීය.   


නංගී වාසනාවන්තියකි. ඇගේ උපාධිය රැකියාව විවාහය සියල්ල මුතු පොටක මුතු ඇමිණී ඇති ලෙසින් එකිනෙකට යාව පෙළගැසී ආවේය. නංගීගේ විවාහයට පෙර මහගෙදර පිළිසකර වූවේ මගේ මුදලින්ය. නංගීගේ විවාහයෙන් පසුව වුවද ඇයගේ පවුලේ අඩුපාඩුකම් පිරිමැසීම මා හටම පවරා තිබුණේ ඔවුන් දෙදෙනාගේ වැටුප ජීවත්වීමට ප‍්‍රමාණවත් නොවෙන බව නාහෙන් හඬමින් කියමිනි. මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස නොමිලේ ලද ගුවන් ටිකට්පත නොවෙන්නට, මේ සියල්ල අතර ඉඳහිට හෝ ලංකාවට පැමිණීමට තරම්වත් මුදලක් මා අත ඉතිරි නොවීය. එසේ වුවද මම සතුටු වූවෙමි. අපි ගිලී සිටි පීඩිත පංතියෙන් ඉහළට නැගගැනීමට නංගී වළිකමින් සිටියාය. පවුලට තඹ සතයකින්වත් නොසැලකුවද අක්කා තම ව්‍යාපාරික සැමියාට පිංසිදුවෙන්නට ධනපති පංතියට නැග සිටියාය. ඒ සියල්ල පවුලට ගෙනදුන් ගෞරවයක් ලෙස ය මා සිතුවේ.   


කාලය ගතව ගියේ කාන්තාර සුළඟට හසුවූ පරඬැලක් ලෙසය. කටාර්හි කර්කෂ දේශගුණය හා ගෘහ සේවිකාවක ලෙස විදි දුක්ගැහැට ද යෞවනය මා වෙතින් උදුරාගෙන ඇත. මට තවදුරටත් එවන් රැකියාවක යෙදීමට තරම් ශක්තියක් නැත. ශරීර ශක්තියට වඩා මගේ ආත්මශක්තිය හීන වී ඇතැයි මම සිතමි. රූප සම්පත්තිය මෙන්ම විවාහයක් කරගත යුතු කාලය ද මා හැරගොසින්ය. දෙනෙතම අන්ධ වූ අම්මා අක්කාගේ නිවසේ සෙවණ ලැබුවද, දුකටම හුරුවූ අම්මාට අක්කාගේ පවුලේ සුඛෝපභෝගි බව හිරිහැරයක් වී ඇත. අලකොළ හොද්ද සමඟ තලප කෑමට පුරුදුව සිටි අම්මාට බුරියානි නූඩ්ල්ස් වහ කදුරුය. අම්මා අක්කාගේ ගෙදර සිටින්නේ උල පිට ඉන්නා සේය.   
දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහගෙදර විකුණා දමා මහරගමින් ගෙයක් මිලට ගැනීමට තීරණය කර ඇති බව ද එහි මට ඉඩක් නැති බව ද දන්වමින් නංගී විසින් නොතීසි නිකුත් කරන ලද්දේ මීට මාස තුනකට පමණ පෙර ය. මහගෙදර විකුණා දැමීම සඳහා දැන් ඔවුන් කටයුතු කරමින් සිටිති. මහගෙදර විකුණූ පසුව මට යන එන කලක් ගැන ඔවුන් සිතන්නේ නැත. මහගෙදර කිසිම අයිතියක් මට නැති සේය නංගී සලකන්නේ.   


මම අපේ පවුල වෙනුවෙන් මගේ මුළු ජීවිතයම පරිත්‍යාග කළෙමි. ඔවුන් වෙනුවෙන් කළ වියදම් මිස මා වෙනුවෙන් ඉතිරි කරගත් තඹ සතයක් මා අත නැත. කොටින්ම මගේ අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා විවාහයක් පිළිබඳව වුව ද මම එවකට නොසිතුවෙමි. මා කටාර්හි සිටියදී මා වෙනුවෙන් විවාහ යෝජනා කිපයක් ඉදිරිපත්වී ඇතුව ද මා විවාහ ගිවිසගත් කෙනෙකුන් සිටිතැයි මුසා කියමින් ඒ සියල්ල කඩාකප්පල් කරන ලද්දේ නංගී විසින් බව මෑතකදී කීවේ ලොකු නැන්දාය. ඒ, මා විවාහයක් කරගතහොත් මගෙන් නංගීට ලබාගත හැකි උපකාර නොලැබී යතැයි යන සිතුවිල්ලෙන් බව වැඩි විස්තරයෙහි සඳහන් විය.   


අක්කාගේ තෙමහල් නිවසේ මට ඉඩක් නැත. කිසියම් ක‍්‍රමයකින් එහි ගියද මට සිදුවෙන්නේ යළි ගෘහ සේවිකාවක ලෙස එහෙත් වැටුප් රහිතව සේවය කිරීමට ය. අක්කාගේ අැණුම් බැණුම් මට ඔරොත්තු දෙන්නේ නැත. සියල්ල මා විසින් කර දුන්නද නංගීට ද දැන් ඒවා මතක නැත. ඇගේ මහරගම ගෙදර මට ඉඩක් නැති බව දැනටමත් කියා ඇත. නංගීගේ වචන මගේ සිත පාරයි. මේ සියල්ල සලකා බලා මැදපෙරදිග රැකියාවකට ආපසු යාමට තරම් දැන් මට ශරීර ශක්තියක් නැත. සියල්ලන් විසින් මා ඉවත හෙළනු ලැබුවේ විකා රසය උරාගත් පසුව ඉවත ලන බුලත් හපයක් ලෙස ය. මා දැන් බලා සිටින්නේ මළවුන්ගේ අවුරුදුද‌ා පැමිණෙන තුරුය. එය නොපමාව පැමිණෙන්නේ නම් මැනෙවි. එවිට මගේ පියාණන් සමඟ මට ද යා හැකි ය.   


මද්දුමීගේ කතාව පුවත්පතට සකස්කළේ,   
යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.