එමීර් රාජ්‍යයේ ලාංකික දිනය උත්කර්ශවත් අන්දමින් 9 දා


ලංකාවේ 70 වැනි නිදහස් දින සැමරුම හා ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය පිහිටුවා වසර 25ක් සපිරීම නිමිත්තෙන් අති උත්කර්ෂවත් සැමරුම් උත්සවයක් ඩුබායි ශ‍්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය හා ලාංකික ප‍්‍රජාව විසින් සංවිධානයකොට ඇත.   
2018 පෙබරවාරි මස 09 වැනි සිකුරාදා දින ඩුබායි හි සබීල් උද්‍යානයේ දී උදෑසන 10 සිට රාත‍්‍රී 11 දක්වා මෙම උළෙල පැවැත්වෙනු ඇත.   


ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ට ද දැනුම අවබෝධය හා විනෝදාස්වාදය ලබාගත හැකි මෙම උළෙලේ ප‍්‍රධාන අංග අතර ලාංකික සංස්කෘතික සංදර්ශන, ලංකා-එක්සත් අරාබි එමීර් රාජ්‍ය මිත‍්‍රත්ව පා ගමන, කුසලතා දැක්ම, ශ්‍රී ලාංකීය ඉඩම් හා දේපල ආයෝජන මූල්‍ය ආයතන සහිත වෙළෙඳ කුටි, ලාංකික ආහාර පාන කුටි, නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායන හා ඇස් කණ්නාඩි බෙදාදීම, ලේ හා ඇස් දන් දීමේ කඳවුරු, නීති උපදේශන සේවා හා විදේශ රැකියාවන්ට අදාළ නීතිමය හා අනෙකුත් උපදෙස්, ලාංකික ආහාර පාන පිළිබඳ ඡායාරූප තරගය හා ලාංකික කලාකරුවන් රැසක් සහභාගිවෙන දැවැන්ත සංගීත ප‍්‍රසංගය ප‍්‍රධාන තැනක් ගනී.   


මේ පිළිබඳව අදහස් දැක්වූ ඩුබායි හා උතුරු එමිරේටයේ කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මහතා පැවසුවේ මෙවන් වූ දැවැන්ත උත්සවයක් අරාබි එමීරයේ පැවත්වෙනුයේ පළමුවරට බවත් එනිසාම මෙහි වෙසෙන ලාංකික ප‍්‍රජාවට මෙය සුවිශේෂ අත්දැකීමක් වෙනු ඇති බවත් ය.   


1948 පෙබරවාරි 04 දින සුදු පාලකයන් වෙතින් නිදහස ලබා වසර 70ක් සමරන මේ මොහොතේ ඩුබායිහි කොන්සල් කාර්යාලය ද තම සේවාව අරඹා 25 වැනි සැමරුම සමරන්නේය. මෙම කරුණු දෙකම මුදුන් තැන්හි තබා යූ.එ්.ඊ.හි වෙසෙන ලාංකික ජනතාවගේද සහභාගිත්වයෙන් මෙම උළෙල සංවිධානය වෙන බව කොන්සල් ජෙනරාල්තුමා පැවසීය.   


ලාංකික දේපළ වෙළෙඳාම්කරුවන්, බැංකු හා බැංකු නොවන ක්ෂේත‍්‍ර නියෝජනය වෙන වෙළෙඳ කුටි සේම ශ්‍රී ලාංකික රසවත් ආහාර පාන පිරුණු අවන්හල් රාශියක් ද එදින උත්සව භූමියේ වනු ඇත.   


’ලාංකික දිනය - 2018’ මෙහි වෙසෙන සියලු වයස් කාණ්ඩවල ලාංකිකයනට විවෘත වෙන්නාසේම නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායන, ඇස් කණ්නාඩි බෙදා දීම, ලේ දන් දීමේ සේවා සේම නීති උපදේශන සේවා සඳහාද සැමට සහභාගි විය හැක. 

 
තවද මෙහි වෙසෙන ලාංකික ජනයාට දෙවැනි මව් භූමියසේ වූ එක්සත් අරාබි එමීර් සත්කාරක දේශයට තම සහයෝගිතාව හා කළගුණ සැලකීම් වස් පවත්වන ලංකා- එක්සත් අරාබි එමීර් රාජ්‍ය මිත‍්‍රත්ව පා ගමන ද දෙරටේම වැසියන්ට අමතක නොවෙන සුවිශේෂී අත්දැකීමක් වෙනු ඇත.   


මෙරටේ දිවි ගෙවන 2,50,000ක් පමණ වෙන ලාංකිකයන්ට විවිධාකාරවූ ක්ෂේත‍්‍රවල රැකියා අවස්ථා ලබා දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලංකාව වෙත දක්වන ඉමහත් සැලකිල්ල තම රටේ ජනතාවගේත් ලාංකික රජයේත් සම්භාවනාවට පාත‍්‍රවෙන බව යට්ටෝගොඩ මහතා පැවසුවේ යූ.එ්.ඊ. රාජ්‍යයට තම ප‍්‍රසාදය ද ස්තුතිය ද පළ කරමිනි.   


අරාබි එමීරයේ වෙසෙන සියලුම ලාංකිකයන් වෙත විවෘත ආරාධනාවක් ද කරමින් එතුමා පැවසුවේ මෙම අති සුවිශේෂ අත්දැකීම ලබා ගැනීමට පෙබරවාරි 09 වැනි දින කොන්සල් කාර්යාලය හා එකතුවෙන ලෙසයි   


සුරංගි අතුකෝරාල සාජා සිට.