එකම රටක් තුළ එක නීතියක් - අන්තවාදී ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වය පරාජය කරමු


 

අප්‍රියෙල් 21 වැනි පාස්තු ඉරු දින කතෝලික දෙව් මැදුරු හා තරු පහේ හෝටල් මුල් කරගෙන එල්ල වූ මුස්ලිම් අන්තවාදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් හා මෙම සිදුවීම් පිළිබඳව කල්තියා බොහෝ කරුණු හෙළිදරව්වී තිබියදී මුනිවත රකිමින් මෙම සාපරාධී ක්‍රියාව වීමට ඉඩහැරිය අත සෝද‌ා ගන්නා නායක කාරකාදී පාලකයින්ට එරෙහිව මැයි 12 වැනි ඉරු දින නාපොලි නගරයේ පැවති විරෝධතා සාමකාමී පෙලපාලිය අතිවිශාල ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ හා නාපොලි වැසියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට යෙදුනි.   


මෙම ක්‍රියාද‌ාමයට නාපොලි ගෞතම බෞද්ධ විහාරයේ විහාරාධිපති කරවිටාගාරයේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ හා නාපොලි ජේසු නුවෝවො දෙව් මැදුරේ ශ්‍රී ලාංකික කතෝලික ජනතාවගේ ආගමික එඬේරා වන ගරු ටිරෝන් මිහිදුකුලසූරිය (ජේසු නිකායික) පියතුමාද සහභාගි වූහ. 


එමෙන්ම නපොලි නගර සභාවේ නගර සභිකයින්ගේ ගරු සභාපති සාන්ද්‍රෝ ෆුචිතෝ (Sandro Fucito) චෙස්කෝ මහතා සමඟ මහාචාර්ය ප්‍රැන්චෙස්කෝ වෙර්නෙත්ති (Francesco Vernethi) යන මහත්තුරුන් ඇතුළු සැලකිය යුතු ඉතාලි ජාතිකයින් පිරිසක්ද සහභාගි වූහ. 


ඉතාලි රජයේ අවසර හා අනුග්‍රහයද නාපොලි පොලිසියේ ආරක්‍ෂාවද මෙම කාර්ය සඳහා ඉතා ඉහළින් ලැබී තිබුණි. 

 


ක්වින්ටින් ප්‍රනාන්දු 
නපොලි, ඉතාලිය.