ඉමෝලා ​​ෙෆා්මියුලා වන් ජයගත් ශ්‍රී ලාංකික රේස් ශූරයා ඩිලන්ත


 

“අපි රටට ආදරය කළාට රට අපිට ආදරේ නැහැ. රේස්වලින් ගිනස් වාර්තාවක් තියල ක‍්‍රීඩාවෙන් සමුගන්නවා.” ඩිලන්ත මාලගමුව පැරීසියේදි පවසයි.   


උතුරු දිග ඉතාලියේ ඉමෝලා ප‍්‍රදේශයේ පිහිටි ලෝක ප‍්‍රසිද්ධ ෆෙරාරි වාහන නිෂ්පාදන සමාගමේ හිමිකරුවන් වන නැසී ගිය එන්සෝ ෆෙරාරි හා ඔහුගේ පුත් ඩිනෝ ෆෙරාරි නමින් ප‍්‍රසිද්ධ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථය නොහොත් ලෝක මෝටර් රථ ශූරතා ඉතිහාසයේ සුප‍්‍රසිද්ධ ඉමෝලා ධාවන පථයේ වසරකට වරක් පවත්වන ඉසව් පහකින් සමන්විත ලැම්බෝගිනි සුපර් ට්‍රීපෝ 2017 ජාත්‍යන්තර ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ප‍්‍රසිද්ධ මෝටර් රථ ශූරයෙක් වූ ඩිලන්ත මාලගමුව එක් ඉසව්වකින් තෙවැනි ස්ථානය දිනා ගනිමින් මෙම ධාවන පථය ජයගත් ප‍්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍ය හිමිකර ගත්තේය. මෙම තරගය නැරඹීමට හා ඩිලන්ත වෙනුවෙන් ජය ඝෝෂා නැගීමට ඉතාලියේ වෙසෙන බොහෝමයක් ශ්‍රී ලාංකිකයෝ සහභාගි වූවෝය.   


ඉහත සඳහන් ඉමෝලා ධාවන පථය වසරකදී ලෝකයේ ජාත්‍යන්තර පළමු පෙළේ මෝටර් රථ ධාවන ශූරතාවන් කිහිපයක් පවත්වනු ලැබේ. ඒ අතරින් ෆෝර්මියුලා වන් ශූරතාව විශේෂිත වේ. ලෝක ප‍්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරයකු වූ බ‍්‍රසීල ජාතික ඇරිටන් සේනා වර්ෂ 1994 මැයි මස 01 වැනිදාා මෙම ධාවන පථයේ සිදුවූ අනතුරකින් මිය ගියේය. එම අනතුර හේතු කොට ධාවන පථය නවීකරණය කිරීමට සිදු වූයේය. කි:මී: 4.909ක් දිග වංගු 15කින් සමන්විත මෙම ධාවන පථයේ අවම ධාවන කාල වාර්තාව ලෙස සනිටුහන් වන්නේ මිනිත්තුවයි තත්පර 20 දශම 411 කි. හිටපු ලෝක ශූර ජර්මන් ජාතික මයිකල් ෂූමාකර් විසින් වසර 2003 දී ෆෝර්මියුලා වන් ශූරතාවේදී ෆෙරාරි කාරයක් පදවමින් ඉහත වාර්තාව තැබුවේය.   


බ‍්‍රසීල ජාතික ඇරිටන් සේනා, නෙල්සන් පිකේ, ප‍්‍රංශ ජාතික ඇලන් ෆ්‍රොස්ට්, බි‍්‍රතාන්‍ය ජාතික නයිජෙල් මෙන්සෙල්, මයිකල් ෂූමාර්කර්, ස්පාඤ්ඤ ජාතික ෆ‍්‍රනැන්ඩු අලොන්සෝ වැනි පැරණි ලෝක ප‍්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරයෝ මෙම ධාවන පථයේ ජය ලැබූ අය අතරින් කිහිප දෙනෙකි.   


එවැනි ඉතිහාසයක් ඇති ඉමෝලා ශූරතාවක් ජයගත් ප‍්‍රථම ශ්‍රී ලාංකික ඩිලන්ත මාලගමුව එම ශූරතාව ලබා ගැනීම සඳහා පැරිස් අගනුවර කොන්කෝඩ් චතුරශ‍්‍රය අසල පිහිටි ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලන මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔහු සමඟ මෙසේ සංවාද වූයේය.   


ප‍්‍රශ්නය : ඩිලන්ත ඔබ වර්තමාන ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ස්ථානයේ සිටින කාර් රේස් ධාවන ශූරයෙක්. ඉමෝලා ජයග‍්‍රහණය දක්වා ඔබගේ රේස් ඉතිහාසය විස්තර කරන්නේ කෙසේ ද?   
පිළිතුර :
මම මින් පෙර ආසියාවේ තමයි ගොඩක් රේස් පැද්දේ. සිංගප්පූරුව, කොරියාව, මැලේසියාව, ජපානය, ඩුබායි ආදී රටවල පැවැත්වූ ශූරතාවන් විශාල ප‍්‍රමාණයක් ජය ගැනීමට මට හැකි වුණා පමණක් නෙවෙයි ලැම්බොගිනි කාරයෙන් ආසියාවේ වැඩිම රේස් ගණනාවක් ජයගත් පුද්ගලයා වීමේ භාග්‍යයත් ලැබුණා. ඒ අතර තමයි මේ වසරේ සිට යුරෝපයේ ලැම්බෝගිනි ශූරතාවට සහභාගි වීමේ අවස්ථාව ලැබුණේ. එහිදී ප‍්‍රථමයෙන් ප‍්‍රංශයේ පැවැත්වූ පෝල් රිකාර්ඩ් ධාවන ශූරතාවට සහභාගි වීමට අවස්ථාව ලැබුණා. ඉන් පසු ස්පාඤ්ඤයේ හා ඉතාලියේ ශූරතාවන් කිහිපයකට සහභාගි වුණා. ඉන් පසුවයි ඉතාලියේ ශූරතාවන් කිහිපයකට සහභාගි වුණේ. ඉන් පසුවයි ඉතාලියේ සුප‍්‍රසිද්ධ ඉමෝලා ධාවන පථයේ ලැම්බෝගිනි සුපර් ට්‍රීපෝ ශූරතාවට සහභාගි වුණේ. එහි රේස් 5ක් තිබුණා. එකකදී මගේ වාහනය අනතුරකට භාජනය වුණා. නමුත් එක් ප‍්‍රධාන ඉසව්වක් ජය ගැනීමට හැකි වුණා. එම තරගයේදී මම ආරම්භ කළේ 15 වැනියට, නමුත් අවසන් කළේ දෙවැනියට. එසේ වුව ද එම ඉසව්වේදී වෙනත් වාහන අනතුරක් හේතු කොට අවසාන වටයට පෙර ඉසව්ව අවසන් කිරීමට බලධාරීන් තීරණය කිරීම හේතුවෙන් ඒ වනවිට මම සිටි තෙවැනි ස්ථානය මට ලබා ගැනීමට හැකි වුණා. ඒ ගැන මම සතුටු වෙනවා. මන්ද, මින් පෙර ආසියාතික ධාවන ශූරයෙක් ඉමෝලාවල ජය අරගෙන නැහැ. ඒ වගේම එම අවස්ථාව හිමිකරගත් ප‍්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍යයත් මට ලැබුණා. මෙම සියලු කරුණු හේතු කොට ඉමෝලාවල පැවැත්වූ ලැම්බෝගිනි සුපර් ට්‍රීපෝ ලෝක ශූරතාව ගැනත් එහිදී මම ලබා ගත් ජයග‍්‍රහණ ගැනත් සතුටු වීමට පුළුවන්.   


ප‍්‍රශ්නය : ඔබ යුරෝපයේ ශූරතාවන්ට එක් වෙන්නේ බෝහෝ මෑතක. ඉන් පෙර ආසියාව, මැද පෙරදිග ශූරතාවන් රැසකට සහභාගි වී ජයග‍්‍රහණ රැසක් හිමි කර ගන්නවා. ආසියාවේ හා යුරෝපයේ ශූරතාවන් අතර සමාන අසමානකම් තිබේ ද? එසේ නම් ඒ මොනවා ද?   
පිළිතුර :
ආසියාවේ හා යුරෝපයේ කියල විශාල වෙනසක් නැහැ. නමුත් යුරෝපයේ මෙන් ආසියාවේදී අපේ වාහනය හරි හැටි නඩත්තු වෙන්නේ නැහැ. යුරෝපයේදී එක රේස් එකක් අවසන් වුණාම ඊළඟ රේස් එකට ප‍්‍රථමයෙන් වාහනය අලුතෙන්ම අලුත්වැඩියා කරනවා. නමුත් ආසියාවේදී එහෙම තත්ත්වයක් නැහැ. අනෙක් කරුණ නම්; යුරෝපයේ තමයි ලෝකයේ හොඳම කාර් රේස් ධාවකයෝ ඉන්නේ. එම නිසා යුරෝපා ශූරතාවයන් ඉතා උසස් හා තරගකාරි මට්ටමකින් පැවැත්වෙනවා. අනෙක් කරුණ තමයි යුරෝපයේ බොහෝ ධාවකයෝ මෙම ධාවන පථයන්හි කිහිප විටක් තරගවලට සහභාගි වෙලා ධාවන පථය ගැන හොඳ අත්දැකීම් තිබෙනවා. මට ඉමෝලාවල පුහුණු වෙන්න ලැබුණේ එක දවසයි. ඉතින් එවැනි ධාවකයෝ සමඟ ශූරතාවක් ජය ගන්නවා කියන්නේ විශාල අභියෝගයක්. කෙසේ නමුත් එවැනි ශූරයන් සමඟ තරග කොට එක් ඉසව්වක් මට ජය ගැනීමට හැකි වීමත් විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටක කොල්ලෙක් යුරෝපයේ දැවැන්තයන් සමඟ තරග කොට ජයග‍්‍රහණ හිමි කර ගැනීමත් ඉතිහාසගත සිදුවීමක්. එම නිසාම යුරෝපයේ ක‍්‍රිඩා පුවත්, මා ගැන විශේෂ ලෙස හඳුන්වා දීමට පෙළඹුනා.   


ප‍්‍රශ්නය : ඉහත පැවැත්වූ ශූරතාවයේ දෙවැනි ස්ථානය හිමි කරගත් ඔබට තෙවැනි ස්ථානයට යෑමට සිදුවුණා. එසේ වුණේ ඇයි?   
පිළිතුර :
අවසාන වටයට පෙර වටයේදී මට පසුපසින් පැමිණි වාහන දෙකක් අනතුරකට භාජනය වුණා. එබැවින් ධාවන පථය අවහිර වුණා. එම නිසා තරගය අවසන් කිරීමට බලධාරී විනිසුරු මඬුල්ල තීරණය කළා. එබැවින් ශූරතාවයේ නීතිරීතිවලට අනුව අනතුරට පෙර වටයේ ස්ථාන ලබා දීමට ඔවුන්ට සිදු වුණා. ඒක තමයි නීත්‍යානුකූල ක‍්‍රමවේදය. එම නිසා මට තෙවැනි ස්ථානය හිමි වුණා. නමුත් අනතුර සිදුනොවී තරගය අවසන් කළා නම් මට ප‍්‍රථමයා වෙන්නත් ඉඩ තිබුණා.   


ප‍්‍රශ්නය : ඉතාලියේ ඔබ සහභාගි වූ ශූරතාව නැරඹීමට හා ඔබව ධෛර්යයමත් කිරීමට ඉතාලියේ වෙසෙන බොහෝමයක් ශ්‍රී ලාංකිකයෝ පැමිණ සිටියා. ඒ ගැන ඔබට පැවැසීමට ඇත්තේ කුමක් ද?   
පිළිතුර :
ලෝකයේ ඉන්න වාසනාවන්තම කාර් රේස් ක්‍රීඩකයා මම වෙන්න ඇතැයි මම සිතනවා. හේතුව මම තරග කළ හැම අවස්ථාවකම අපේ සහෝදර ශ්‍රී ලාංකිකයෝ විශාල ප‍්‍රමාණයක් ශ්‍රී ලංකා ජාතික ධජයන් අතැතිව මට ධෛර්යය ලබා දීමට පැමිණ සිටියා. නමුත් වෙනත් ක‍්‍රීඩකයන් වෙනුවෙන් ජාතික ධජ රැගත් එහෙම පිරිසක් නියෝජනය වුණෙත් නැහැ. වෙලත් නැහැ. බොහෝමයක් නරඹන්නෝ රේස් එක බලන්න පැමිණියාට ධාවකයෝ දිරිමත් කිරීමට පැමිණි පිරිස් නොවෙයි. නමුත් අපේ ශ්‍රී ලාංකිකයෝ සිය ගණනක් එක පොදියට නැරඹුම් ජය ඝෝෂා නගමින් කොඩි වනමින් මාව දිරිමත් කිරීමට පැමිණීම යුරෝපා මාධ්‍යයට පවා විශේෂ දෙයක් වුණා. එහෙම වෙන්නේ කලාතුරකින්. ඔවුන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෝ ගැන විශේෂයෙන් සඳහන් කළා. එය යුරෝපයට අමුතු දෙයක්. ඔවුන්ගේ ජය ඝේෂාව තරගය සඳහා මට නව පණක් ලබා දුන්නා. එම නිසා මා ඉපැදුන රටෙන් මට කිසිම අනුග‍්‍රහයක් නොලැබුණත් රටට හා ක‍්‍රීඩාවට ආදරය කරන පිරිසක් මාව දිරිමත් කිරීමට පැමිණීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ ගැන ඉතාලියේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට මම විශේෂයෙන් ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි.   


ප‍්‍රශ්නය : ඉපැදුන රටෙන් ඔබට කිසිම අනුග‍්‍රහයක් නොලැබුණු බව පැවැසුවා. වර්තමාන ක‍්‍රීඩා ඇමැති ඔබ උපන් ප‍්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත‍්‍රීවරයෙක්. ඔබ ඔවුන්ව දැනුවත් කළා ද? එසේ නම් එහෙම වුණේ ඇයි?   
පිළිතුර :
ඔයා දැක්ක නේද මගේ රේස් පදින වාහනය. ඉදිරියෙන්ම ගහලා තියෙන්නේ ශ්‍රී ලංකා ධජය. අනෙක් කිසිම වාහනයක ඔවුන්ගේ ජාතික කොඩි ගහල නැහැ. ඇයි ඒ? මම සැම විටම තරග කළේ රට වෙනුවෙන්. ජයග‍්‍රහණ ලබා ගත්තේ රට වෙනුවෙන්. නමුත් එහි ප‍්‍රතිඋපකාර ගැන සඳහන් කළොත් ලැබුණු දෙයක් නැහැ. අවශ්‍ය සියලු දෙනා දැනුවත් කරලා තියෙන්නේ. නමුත් වැඩක් නැහැ. අපි බලමු මොනවා හරි කරන්න යැයි වර්තමාන ඇමැතිතුමා වරක් මට පැවැසුවා. නමුත් සිදුවූ දෙයක් නැහැ. ඔයා දකින්න ඇතිනේ පසුගිය කාලේ කෝටි ප‍්‍රකෝටි ගණන් වියදම් කරල දළදාා මාලිගාව ළඟ කාර් රේස් පැද්දෙ. අවශ්‍යයම නම් ඕනෑ තරම් අත්දැකීම් කියන්න පුළුවන්. නමුත් නීරස දේවල්වලට කාලය වැය කරන්නේ ඇයි? වැඩිපුරම තියෙන්නේ කලකිරීම්. අපි රටට ආදරේ කළාට රට අපිට ආදරේ නැහැ. කොටින්ම කියනව නම් මම පිටරටවල ජාත්‍යන්තර රේස් ශූරතාවන් දිනලා තියෙනවා. නමුත් එම රටවල තියෙන අපේ එම්බසියවත් මට කතා කරලා ස්තුතියක්වත් කරලා නැහැ. ඉතින් රට ගැන මොන කතා ද නේද? නමුත් ප‍්‍ර‍්‍රථම වතාවට මම මෙවර පැරීසියට පැමිණි වෙලාවේ ප‍්‍රංශයේ ඉන්න අපේ ලංකාවේ තානාපතිතුමා මා වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුවා. ඒ වෙලාවේ මගේ ඇස් දෙක කඳුළුවලින් පිරුණා. ඒ මන්ද, මගේ අවුරුදු 37ක රේස් ඉතිහාසයේ එය තමයි මට රාජ්‍ය අනුග‍්‍රහයක් ලැබුණු ප‍්‍රථම අවස්ථාව. එවැනි අය තමයි අපේ තානාපති සේවයට පත් කළ යුත්තේ. එබැවින් ප‍්‍රංශ තානාපති බුද්ධි ආතාවුද මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.   


ප‍්‍රශ්නය : තව කොපමණ කලක් මෙම ශූරතාවන්ට සහභාගි වෙනවා ද?   
පිළිතුර :
අඩුම තරමින් තව අවුරුදු 10ක් වත් තරගවලට සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා. දැනට මම තරග කරන්නේ මට වඩා වයස අවුරුදු 10ක 15කට පමණ වයසින් අඩු තරගකරුවන් සමඟ. රටට තියෙන ආදරයත් ක‍්‍රීඩාවට ඇති ආදරයත් හිතේ තියෙන හයියත් සමඟ තව කලක් තරගවලට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා. කාර් රේස්වලින් ගිනස් වාර්තාවක් තියලම මම රේස්වලින් සමුගන්නවා.   


ප‍්‍රශ්නය : මොකක්ද ඒ ගිනස් වාර්තාව?   
පිළිතුර :
දැනට මම අවුරුදු 37ක් රේස් පැදල තියෙනවා. වැඩිම කාලයක් ජාත්‍යන්තර තලයේ රේස් පැදපු කෙනා ලෙස ගිනස් වාර්තාවක් තියනවා. 

 
සුනිල් ආනන්ද - පැරීසියේ සිට.