ඉතාලියේ ‘අපේ කඩේ’ බෝඩ් මින්පසු රටේ නීතියට අනුවයි


පස්සා දොරෙන් විකිණීමටත් තහංචි

 

ඉතාලියේ නේවාසික විදේශිකයන් සංඛ්‍යාත්මකව වැඩිවීමත් සමගම තම අවශ්‍යතාවන් සඳහා ඔවුන් විසින් ම පවත්වාගෙන යනු ලබන යටිතල පහසුකම් ද වර්ධනය වෙමින් ඇත. මේ අතර ඒ ඒ රටවල සම්ප්‍රදායික නිමි ආහාර සහ කුළුබඩු ඇතුළු වියළි ආහාර අමුද්‍රව්‍ය අලෙවිසැල් ප්‍රධාන ය. මේවා “මිනි මාර්කට්” නමින් හැඳින්වේ. බොහෝවිට මේ වෙළෙඳසැල්වල නාම පුවරු ප්‍රදර්ශනය වෙන්නේ ඒ ඒ රටවල භාෂාවෙන් ම ය. (ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වාගෙන යනු ලබන මෙම වෙළෙඳසැල්වල අපේ ජාතික කොඩිය ප්‍රදර්ශනය වෙන අයුරින් තබා තිබීම ජාතිකාභිමානය දනවයි.) 


ඉතාලියේ මහා පරිමාණයෙන් අවන්හල් ව්‍යාපාරයට සහ ආසියාතික කුළුබඩු ව්‍යාපාරයට අතගැසූ මුල්ම විදේශිකයෝ වෙන්නේ චීන ජාතිකයෝ ය. එහෙත් මේ වෙනවිට ඔවුන් එම ව්‍යාපාරවලින් මිදී, නිමි ඇඳුම් ව්‍යාපාරයට ප්‍රවේශ වෙමින් සිටිති. පසුගිය වසර අටක කාලය තුළ ඉතාලියේ චීන ව්‍යාපාරිකයන්ගේ සංඛ්‍යාව සියයට අසූවක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. මේ වෙනවිට ඉන්දියානු බංග්ලාදේශ සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ ඉතාලියේ අවන්හල් සහ කුළුබඩු ව්‍යාපාරයට ප්‍රවේශවීම ඉහළ යමින් ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසර අට තුළ අවන්හල් සහ කුළුබඩු වෙළෙඳාමට යොමුවී ඇති ඉතාලියේ නේවාසික බංග්ලාදේශ පුරවැසියන්ගේ සංඛ්‍යාව සියයට එකසිය හැටහතකින් (167‌%) වැඩිවී ඇති බව ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාර්යාලය කියයි. 


චීන ජාතිකයන් ඇතුළු ඇතැම් විදේශික පුරවැසියන් විසින් ඉතාලියේ පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල්වල අලුත්ම මෝස්තරය වී ඇත්තේ, තම වෙළෙඳසැලේ නාම පුවරුව තමන්ගේ මව්බසින් ම ප්‍රදර්ශනය කිරීම ය. දවසේ අනුමත පැය ගණන ඉක්මවා විවෘතව තැබීම ද, අවසර නොලද මත්පැන් ආදිය පස්සා දොරෙන් අළෙවිය ද හේතුවෙන් මෙම වෙළෙඳසැල් කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. ඇතැම් වෙළෙඳසැලක සේවකයන් ඉතාලි භාෂාව ද හරිහැටි කතා කිරීමට නොදනිති. මෙය ජාත්‍යන්තර පාරිභෝගිකයාට වෙළෙඳ ද්‍රව්‍ය පිළිබඳව නිවැරදි විස්තරයක් සැපයීමට බාධාවකි. 


මින්පසු ඉතාලියේ අවන්හල් සහ ආහාර, අමුද්‍රව්‍ය, කුළුබඩු ආදිය වෙළෙඳ‌ාම සඳහා වෙළෙඳසැල් පවත්වාගෙන යාමට විදේශිකයන්ට බලපත්‍ර නිකුත් කිරීමේ දී ව්‍යාපාරිකයාගේ මෙන් ම, වෙළෙඳ සේවකයන්ගේ ද ඉතාලි භාෂා දැනුම පිළිබඳව විමසිලිමත් වෙනු ඇත. විදේශික පුරවැසියන් විසින් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල් නාම පුවරු ඉතාලි බසින් හෝ ඉංග්‍රීසි, ප්‍රංශ හෝ වෙනත් යුරෝපීය බසකින් ප්‍රදර්ශනය කෙරිය යුතු වේ. මෙම වෙළෙඳසැල් අනුමත සනීපාරක්ෂක නීතිරීතිවලට අනුකූලව පවත්වාගෙන යන්නේ දැයි පරීක්ෂාකර බැලීම සඳහා වාරික පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දමනු ඇත. විදේශික ලේබල සහිත දුම්කොළ, දුම්වැටි සහ මත්පැන් අළෙවිය ඒ සඳහා විශේෂ අවසර ලබාගත් වෙළෙඳසැල්වලට පමණක් පැවරෙනු ඇත. 


ඉතාලියේ විදේශික පුරවැසියන් විසින් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල් අනුමත නීතිරීතිවලට පටහැනි වේ නම් අදාළ ව්‍යාපාරිකයන් ඉහළ දඩයකට යටත් කරනු ලබන අතර, ව්‍යාපාර බලපත්‍ර අවලංගු කිරීමේ බලය ද යොදාගන්නා බව ඉතාලි වෙළෙඳ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාර්යාලය කියයි. 

 

 

 


ගැස්කොන් ලාසරස්, 
රෝමය, ඉතාලිය.