ඉතාලියේ රෝම නගරයේ දී ශ්‍රී ලාංකිකයන්ගේ සහජ හැකියාවන් එළිදැක්වූ හිරුවිමන


 

මෙවර ඉතාලියේ රෝම නගරයේ දී වෙනස් ආකාරයේ අලුත්ම වැඩමුළුවක් ප්‍රථම වරට ඇරඹුණි. කේක් සහ පළතුරු නිර්මාණ, කාන්තා, පිරිමි කොණ්ඩා ​ෙමා්ස්තර, සාරි, හැඩ ගැන්වීම්, රූපලාවන්‍ය, කුඩා දරු දැරියන්ගේ ඇඳුම් නිර්මාණ ඇතුළු විවිධත්වයෙන් පිරි විශේෂ වැඩමුළුවක් වූ ‘හිරුවිමන’ ප්‍රථමවරට පසුගිය 08 වැනි ඉරුදින රෝමයේ රතුපල්ලි ශාලාවේ දී (Shanta chiara) ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.   


එදින ‘හිරු විමන’ මුළු දවස පුරාවට පැවැත්වූ අතර විවිධ නිර්මාණ සඳහා උදෑසන කාලය විවෘත විය. සැන්දෑභාගයේ නැටුම්, ගැයුම්, විලාසිතා සඳහා කාලය වෙන් විය. වයස් සීමාවෙන් තොරව මේ සඳහා දායකත්වය දැක්වීම හේතුවෙන් අපගේ සිංහල අභිමානය මනාවට පැහැදිලි වූ අතර විවිධ ක්ෂේත්‍රයේ කොරතම් අතිදක්ෂයින් අප මව් රටින් බැහැරව ජීවත් වෙනවා ද යන්නට මෙය එක නිදසුනක් විය.   


මිලානෝ සිට පැමිණි ප්‍රවීණ කේක් සූපවේදිනිය ශකිලා පෙරේරා මහත්මිය ද රෝමයේ ප්‍රවීණ සූපවේදී අමර සුදේස් මහතා ද ඔවුන්ගේ දක්ෂතා මනාව පෙන්නුම් කළ අතර කොණ්ඩා කැපීම, රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලුණ මහත්ම මහත්මීන් ඔවු​නොවුන්ගේ දක්ෂතා ද විදහා දැක්වූහ.   


තවද කුඩා දරු දැරියන්ගේ ඇඳුම් නිර්මාණය කළ අනෝමා ගමලත් මහත්මිය යුරෝපයේ දී සිංහලකම මනාව පෙන්නුම් කරමින් කුඩා පිරිමි දරුවන් අපේ පැරණි තාලයේ සරමෙන් සහ බැනියමෙන් හැඩ ගන්වා කුඩා ගැහැණු දරුවන් රෙද්ද හැට්ටය සහ ළමා සාරියෙන් හැඩ ගන්වා මෙදින මේ පුංචි කැකුළු මල් එලෙස සුවඳවත් කළාය.   


බ්‍රෙෂියා නගරයේ සිට පැමිණි Angel Saree (ඒන්ජල් සාරි) හිමිකරු ප්‍රියන්ත මහතා එම සාරි තරුණියන් හට හැඩ ගැන්වීම කාගේත් සිත් ගත් අතර නිමන්ති ඉෂාදි මහත්මියගේ මනාලියන් හැඩ ගැන්වීම ද ඊට නොදෙවෙනිව අලංකාරය එක් කළ අතර උත්සව සාද සඳහා අමා නිශාන්ති මහත්මියගේ විලාසිතා ද කාගේත් සිත් ගත් නිර්මාණ විය.   
තවද වයස් භේදයකින් තොරව නැටුමින් ගැයුමින් වේදිකාවේ මනාව දක්ෂතා පෙන්නුම් කිරීමෙන් ලාංකික අපේකම රැකෙන සම්පත් මව් රටින් බැහැරව හෝ ඔවුනොවුන්ගේ අනන්‍යතාවයත් ලෝකයට පෙන්නුම් කිරීමට මෙවන් වැඩසටහන් තුළින් එය ලබාදීම ඉතා අගය කළ යුතුය.  

 

ක්‍රිෂාණි ප්‍රනාන්දු මහත්මිය සහතික ප්‍රදානය ශකිලා පෙරේරා මහත්මියට

 


‘හිරු විමන’ වැඩසටහන් මාලාව සඳහා ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනි ආයතනයේ (ITN) පුවත් නිවේදක නජිත් මාතරගේ කථනයෙන් වේදිකාව හැඩ ගැන්වූ අතර ඔහුට රෝමයේ අප්සරා ජයසිංහ මහත්මිය නොමදව සහාය දැක්වූවාය. සාරංග නිලුක්ෂ මහතා ඇතුළු ස්වාධීන රූපවාහිනි කණ්ඩායම රූගත කිරීම් සඳහා දුන් නොමද සහාය ද රෝමයේ ‘රෝ මීඩියා’ හිමිකරු රොහාන් සුරේෂ් මහතා ඇතුළු මැක්සි, ඩොනල්ඩ්, චමින්ද, උපාලි ඇතුළු මහතුන්ගෙන් ද නොමද සහයෝගයක් ලැබුණි.  මෙදින සියලු වැඩකටයුතු අවසානයේ ‘හිරු විමන’ ප්‍රධාන අමුත්තා වන බුද්ධික අමරසිංහ මහතා ‘හිරු විමන’ සඳහා සහභාගි වූවන් හට සහතික පත් ප්‍රදානය කරන ලදී.   


පළමු වරට රෝමයේ දී මෙවන් රූපවාහිනී වැඩසටහනක් ‘හිරු විමන’ තුළින් හඳුන්වාදීම රෝමයේ සුදත් රෝහණ මහතාගේ සංවිධානයක් වූ අතර ක්‍රිෂාණි ප්‍රනාන්දු මහත්මියගේ මූලිකත්වයෙන් ‘හිරු විමන’ එළිදැක්වීම මහඟු අාඩම්බරයකි.   


සුන්දර සැන්දෑවක ප්‍රේක්ෂක සියල්ලන්ගේ මන බඳිමින් එදින ‘හිරු විමන’ මෙලෙස හිරු අවරට ගියේය.   

 


හංසිනි   
ඉතාලිය - රෝමය