ඉතාලියට සමු දී මව්බිම වෙත ගිය ගමන


පෑන අතට ගත්තට කොහෙන් පටන් ගෙන මොනව ලියන්න ද කියලා හිතා ගන්න බෑ. ජීවිතේ තවත් තීරණාත්මක කඩඉමක් පසු කරන්න ඔන්න මෙන්න තියෙන පැය කිහිපය තුළ හිතට එන දේ මෙහෙමයි කියලා ලියන්න තේරෙන්නේ නම් නැහැ. නමුත් මේ දවස ආයේ කවදාවත් එන්නේ නැති නිසා අද දැනෙන හැඟීම වෙන දවසක ලියලා ඵලක් නැහැ.   
පුංචිම බලාපොරොත්තුවක් තිබුණේ නැති හිරිමල් වයසේ කවදාවත් නොහිතපු වෙලාවක ඔයා ළඟට එන්න සිද්ධ වුණා. ඒ දවස්වල හිතට දැනුණේ මහා පාළුවක්, වෛරයක්, කේන්තියක්, ඔයා ගැන. කිරිල්ලියක් වගේ ලස්සනට හිටපු ජීවිතේ අත්තටු කපලා දාලා වගේ දැනුණා. කෙටියෙන්ම කියනවා නම් සුන්දර අසුන්දර අත්දැකීම් මැද දුක, සැප, කුතුහලය, අත්දැකීම්, බැඳීම්, බිඳීම් හරි අපූරුවට ගලාගෙන ගියා. වැටි වැටී නැගිට්ටා, බහ තේරුවා, ඔයා නිසා මගේ ආදරය බලාපොරොත්තු ඉටු කර ගන්න ලැබුණා. ඒ පිනෙන් හරි පුංචියට හිටිය බොළඳ මම මහා ලොකුවට හිතන පරිපූර්ණ කාන්තාවක්, බිරිඳක්, මවක් දක්වා ජීවිතය විහිදුවා ගන්නට තරම් ශක්තියක් මට ලැබුණා. නොහිතපු නොපතපු හිතා ගන්නවත් බැරි වෙලාවක හරියටම කියනවා නම් පුංචි කාලේ යාළුවෝ හොරෙන්ම ඇවිත් වැලමිටට ඇඟිලි දෙකෙන් ගහපුවහම අතේ හිරිවැටිලා යනවා වගේ හැඟීමක් දැනුණා. ඒ වේදනාව හිතා ගන්නවත් බෑ. මතක් වෙන ගානේ ඇඬෙන, ඒ ගන්න වුණු ස්ථිර තීරණය, ඒ නිසා සිදුවූ වෙන්වීම්, වේදනාව, බය, පැකිලීම, දෙගඩියාව පුදුමාකාරයි.   
අදින් පස්සේ ඔයාව මට කවදාවත් දකින්න නොලැබෙයි. ඒ හිත හදාගන්න නිසා නම් නෙමෙයි වෙන කරන්න දෙයක් නැති නිසා. ඔයාගෙන් අලුත් පණක් ලබලා ජීවිතයේ හරි ලස්සනට හැඩ කරගත්ත ඒ සුන්දර අතීතයට මම තවම ආදරෙයි. හැමදාම හදවතේ පුංචිම තැනක් ඔයා වෙනුවෙන් තියේවි මැරෙන තුරාවට. ඒ ආදරණීය මතක කැටි වුණු සොඳුරු නවාතැනට මම තවමත් ආදරෙයි.   


දයාබර තුන්වෙනි අම්මේ ඔබයි ඉතාලිය...   


හර්ෂණී වත්සලා නිකවත්ත