ඉතාලි හමුදා ආචාර මැද කෙරුණු සමලිංගික විවාහයක්


 

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉතාලි නාවික හමුදා නිලධාරිනියන් දෙදෙනෙකු අතර සිදු වූ සමලිංගික විවාහ උත්සවයකදී හමුදා ගෞරවාචාරය පිදුණු අවස්ථාවයි. ලොරෙල්ලා සහ රෝසා නම් වන මෙම නාවික හමුදා නිලධාරිනියන් දෙදෙනාගෙන් පළමුවැන්නී කපිතාන්වරියක වන අතර, ඇයගේ අතගත් දෙවැන්නිය රෝසා, නාවික හමුදා දෙවැනි ඔෆිසර්වරියක ලෙස රාජකාරි කටයුතු කරයි. 


වසර අටක සිට මෙම යුවල එකට වාසය කරන අතර, දෙදෙනාගේ පොදු විනෝදාංශය වෙන්නේ සුරතල් බල්ලන් ඇතිකිරීමය. ඔවුන් දෙනොගේ විවාහය ලියාපදිංචි කරනු ලබන අවස්ථාවේ මංගල මුදු මනාලයුවල වෙත ගෙන ආවේ ද ඔවුන්ගේ සුරතල් බල්ලෙකු විසිනි. මෙම කාන්තා යුවල විවාහ ගිවිසගත් විගස ඉතාලියේ ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරිය දුරකථනයෙන් නව යුවල අමතා ඔවුන්ට සුබ පැතූ බව ද වාර්තාවේ. 


ඉතාලි සිවිල් නීති සංග්‍රහයේ 2016.05.20 නීති අංක 76 අනු අංක 1, 1-35 යටතේ 2016 වසරේ මැයි මස සිට සමලිංගික විවාහය නීතිගත කර ඇති අතර, කතෝලික පල්ලිය මෙම අවසරය පිළිගන්නේ නැත. සමලිංගික විවාහය නීතිගත වූ තැන් පටන් 2018 වසරේ අවසානය දක්වා ගත වූ වසර දෙක තුළ, ඉතාලියේ සමලිංගික විවාහ දාහතරදහසක් (14000) ලියාපදිංචි කර ඇත. 

 


ගැස්කොන් ලාසරස්. 
රෝමය, ඉතාලිය.