ඉතාලි ශබ්ද කෝෂය සහ ඉතාලි බස කෘති දෙක සිංහලෙන් රෝම පුරයේදී


 

රෝමයේ පසුගිය නොවැ. 25 වැනි ඉරුදින සැන්දෑ භාගයේ Santa Chiara දේවස්ථානයේ (සාන්ත කියාරා) ශ්‍රවණාගාරයේදී (රතුපල්ලි ශ්‍රවණාගාරය) ආචාර්ය චන්දන ලලිත් මහතා විසින් ලියන ලද ‘ශබ්ද කෝෂය සහ ඉතාලි බස සිංහලෙන්’ යන ග්‍රන්ථයන් දෙක උත්සවාකාරයෙන් එළි දක්වන ලදී.   


මෙම උත්සවය හෙර්මෙස් 2000 (Hermes 2000) යන සංස්කෘතික සංගමයේ සභාපති ඉතාලි ජාතික මහාචාර්ය මරිඅලිකා මොලිකාරි මහත්මිය විසින් සංවිධානය කරන ලදී. මෙහිදී ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් වාණිජ අමාත්‍ය සෝමසේන මහදිවුල්වැව මහතාද ඉතාලි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ගරු ක්ලව්ඩියෝ මන්චීනි මහතාද විශේෂ ඇගයීම් දේශනය මහාචාර්ය රිකාර්දෝ චිමිනි (University of Tuscia) මහතා විසින් සිදුකරන ලදී. තවද රෝමයේ විවිධ සිවිල් සංවිධාන, රෝම නගර සභාවේ නාගරික මන්ත්‍රීන්ද, ශ්‍රී ලාංකිකයින් සහ ඉතාලි ජාතිකයින් විශාල පිරිසකගෙන් ශාලා ගැබ පිරී තිබීම සතුටට කරුණකි.   


වසර 2004-2006 කාල සීමාව තුළ රෝමයේ 20 වැනි නගර සභාව තුළ ජීවත් වෙන සංක්‍රමණික ප්‍රජාව නියෝජනය කරමින් රෝම නගර සභාවට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකික නාගරික මන්ත්‍රී බවට පත්වූයේද ආචාර්ය චන්දන ලලිත් මහතාය.   


කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. සංචාරක ව්‍යාපාර කළමනාකරණය, ඉතාලි භාෂාව පිළිබඳව ද ඩිප්ලා්මාධාරියෙකි. තවද (University of Nicolo Cusano) හි දේශපාලන විද්‍යාව හා අන්තර් ජාතික සම්බන්ධතා පිළිබඳ උපාධිධාරියෙකි.   


වසර 25 කට අධික කාලයක් රෝමයේ ජීවත් වෙන මොහු 2001 වසරේ සිට ඉතාලි බස උගන්වන අතර සංක්‍රමණික නීති උපදේශකයෙකු ලෙසද, ඉතාලියේ ප්‍රධාන පෙලේ වෘත්තිය සංගමයක් වන UGL හී වෘත්තීය මූල්‍යමය හා බදු කළමනාකරණ ආයතනයක කළමනාකරු ලෙසද කටයුතු කරයි.   


තවද දේශපාලන සහ සමාජශීලී කටයුතුවලට සහභාගී වෙමින් සුහදශීලී පුද්ගලයකු ලෙස කැපී පෙනෙන මොහු දෙදරු පියෙකි.   


මෙම ග්‍රන්ථයන් දෙක ඉතාලියේ සිටින ශ්‍රී ලංකාකියන්ට ප්‍රයෝජනවත් වන අතර දෙසැ. 20 වැනි දිනට පසුව ඕනෑම නගරයක සිටින අයට මෙය ලබා ගත හැකි බවද මොහු පවසයි.   

 


අනෝමා ගමලත්   
ඡායාරූප 
චමින්ද වීරසිංහ   
රෝමය, ඉතාලිය.