ඉතාලි මධ්‍යම පන්තියේ කඩාවැටීමෙන් යුරෝ සොයා ගිය අය අතරමං වෙලා


කාර්මික විප්ලවයත් සමඟම හතු පිපෙන්නාක් මෙන් රට පුරා බිහිවුණු කර්මාන්ත ශාලා හේතුවෙන් නිර්මාණය වූ ශ්‍රම ඉල්ලුම, රදල හා ගොවි ලෙස බෙදී තිබුණු ඉතාලි සමාජය උඩුකුරු යටිකුරු කිරීමට සමත් විය. ගොවි බිම්වල දුෂ්කර ජීවිත ගෙවූ ගැහැණු පිරිමි භේදකයින් තොර පිරිස්, කර්මාන්තශාලා ශ්‍රම හමුදාවට එක්වූහ. එහි ප්‍රතිඵලය වූයේ රැකියාව මත පිහිටා මාසිකව ස්ථීර වැටුපක් ලබන අතමිට සරු ඉතාලි මධ්‍යම පංතියක් බිහිවීමය.   


හැත්තෑව අසූව දශකවල හා අනූව දශකයේ මුල් භාගය ඉතාලි මධ්‍යම පංතියේ ඉහළම ප්‍රබෝධයක් පෙන්නුම් කළ කාලය විය. පවුලේ පිරිමියා සහ ගැහැණිය දෙදෙනාම වෘත්තිකයන් වූ බැවින්, පවුලේ වෙනත් අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම සඳහා වෙනත් වෘත්තීය පසුබිමක් ද සකස් කෙරුණි. නව මධ්‍යම පංතියේ සුඛවිහරණය සඳහා අත්‍යවශ්‍ය වූ අමතර සේවාවන් අතර පවුල් කුටුම්භයේ මෙතෙක් ගෘහනිය ලෙස කාර්යභාරයක් ඉටු කළ කාන්තාවගේ පවුලේ ශ්‍රම වියුක්තිය​ හේතුවෙන්, ආදේශක ගෘහනි තනතුර මිලක් නියමවූ වෘත්තියක් බවට පත්විය. මෙම ශ්‍රම ඉල්ලුමට දේශීය වශයෙන් සැපයීමක් නොවුණු විට, ඒ සඳහා විදේශික ගෞරවනීය ශ්‍රම බලකායක් නිල වශයෙන් ඉදිරිපත් වීම අැරඹුණේ හැත්තෑව දශකයේ සිටය.   


ඉතාලි පොලිස් මූලස්ථාන වාර්තාවන්ට අනුව විවිධ විදේශික රටවල් එකසිය දහයකට අයත් ලක්ෂ තිහකට වැඩි පිරිසක් වෘත්තීමය හේතුන් මත ඉතාලියේ රැඳී සිටීමේ බලපත ලබාගෙන ඇත. සෞභාග්‍ය සොයා ඉතාලියට සංක්‍රමණය වූ විදේශිකයන්ගෙන් බහුතරය තම සේවාවන් සැපයූවේ රටේ ප්‍රධාන නිෂ්පාදන බලකාය වූ මධ්‍යම පාංතිකයන්ටය. ඉතාලි මධ්‍යම පාන්තිකයන්ගෙන් උපයා ගන්නා ලද මුදලෙන් තම මව්බිමේ පීඩිත පංතියේ සිට ධනපති පංතියට නැගගත් විදේශිකයෝ ද හිඟ නැත. වරෙක පුවත්පත් මාධ්‍ය විසින් මෙම න්‍යාය මුහුදෙන් වතුර අැද කාන්නාරයක් මැද සාගරයක් නිර්මාණය කළාට සමාන කර තිබුණි.   


අනූව දශකය අවසානයත් සමඟම ඉතාලිය තුළ නිර්මාණය වූ ආර්ථික දුෂ්කරතා වසරින් වසර වර්ධනය වූවා මිස යළි යහපත් තත්ත්වයකට පත්වූවේ නැත. ඉතාලිය ආර්ථික බිඳවැටීමේ අභාග්‍ය නිල වශයෙන් සටහන් කරන ලද්දේ 2007 වසරේ සිටය.   


ඉතාලි ආර්ථික හා සමාජ සමීක්ෂණ ආයතනය පසුගියදා නිකුත් කරන ලද 2017 වාර්ෂික වාර්තාව ඉතාලි මධ්‍යම පංතිය බංකොළොත් බවට පත්වී ඇති බව නිල වශයෙන් කියයි. දිනෙන් දින වැසීයන කර්මාන්තශාලා හා වෙනත් ව්‍යාපාරික ස්ථාන හේතුවෙන් රැකියාව එකම ආදායම් මාර්ගය කරගත් පවුල් තිස්පන් ලක්ෂ අනූදහසට මේ වනවිට රැකියා අහිමිවී ඇත. මෙම සංඛ්‍යාව පවුල් මිස පුද්ගලයන් නොවන බව පාඨකයා තේරුම්ගත යුතුය. මෙය ඉතාලියේ පවුල් සංඛ්‍යාවෙන් සියයට 14ක ප්‍රතිශතයකි. වයස අවුරුදු 15ත් 35ත් අතර වන ජනග්‍රහණයෙන් සියයට 68ක්ම දෙමාපියන්ගෙන් යැපෙන්නෝ වෙති. ජනගහණයෙන් ලක්ෂ 135ක්ම වයස අවුරුදු 65 ඉක්මවූවෝය. මේ සියලු කරුණු ඉතාලි මධ්‍යම පංතියේ අභාවයට හේතුවූ කරුණු ලෙස බැර වේ.   


ඉතාලි මධ්‍යම පාන්තිකයන් විසින් පොලී ක්‍රමයට ලබාගන්නා ලද ණය මඟින් දිනෙන් දින ඇද වැටෙන තම සමාජ තත්ත්වය ලොවට නොපෙන්වා සිටීමට දරන අසාර්ථක ප්‍රයත්නය, තත්ත්වය තවත් බැරෑරුම් කරන බව උක්ත වාර්තාව වැඩිදුරටත් සඳහන් කර ඇත.  
අතමිට හිරකර ගැනීමේ ප්‍රථම පියවරේදී ඇද වැටෙන මධ්‍යම පාන්තිකයන් විසින් මෙතෙක් ලබාගන්නා ලද ඇතැම් සේවාවන් කපා හැරීම හේතුවෙන්, එම පංතියට සේවා සැපයූ විදේශික ශ්‍රම හමුදාව අසීරු තත්ත්වයකට පත්ව සිටිති. ඉතාලි රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ බැංකු වාර්තාවන්ට අනුව ඉතාලියේ නේවාසික විදේශිකයෝ තම මව්රටවලට මුදල් යැවීම සියයට හතළිස් දෙකක ප්‍රතිශතයකින් පහත දමා ඇත. මේ හේතුවෙන් ඉතාලියේ ශ්‍රමික විදේශික පුරවැසියන්ගේ මව් රටේ නේවාසික පවුලේ සාමාජිකයන්ට මෙතෙක් ලැබෙමින් තිබූ මූල්‍යමය විදේශාධාර හරි අඩකට ආසන්න ප්‍රතිශතයකින් කපා හැරී ඇත. මෙය විදේශාධාරයට පුරුදුව සිටි එම පිරිසට දරාගැනීමට අසීරු තත්ත්වයකි. ඉතාලි මධ්‍යම පංතිය ඇද වැටෙද්දී වෙනත් රටවල් එකසිය දහයක ආර්ථිකයට එය බලපෑම, මුළු ලොවම එක ගමකි යන්න සනාථ කිරීමකි.  


යටියන,   
ක්ලැරන්ස් කොස්තා  
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.