ආසියාවෙන් සහල් නොගෙන්වා යුරෝපයට බත් දෙන්න ඉතාලිය සූදානම්


අපේ ප්‍රධාන ආහාරය බත් ය. යුරෝපයේ ප්‍රධාන ආහාරය මස් ය. අපට කුඩා කල උගන්වන ලද්දේ එසේ ය. එහෙත් අද වෙන විට යුරෝපයේ පමණක් නොව මුළු ලොව පුරා ම ආහාර රටාවේ වෙනස්කමක් සිදුවෙමින් ඇත. අපේ ක්‍රමයට අපේ ප්‍රමාණයට නොවුනද යුරෝපය ද පෙරට වඩා බත් ආහාරයට ගැනීමට යොමුවෙමින් ඇත. ඒ සඳහා යුරෝපය සහල් ලබාගන්නේ ආසියාතික රටවලිනි. ප්‍රමිතියෙන් අඩු යයි සලකා ප්‍රතිපත්තියක් ලෙස යුරෝපය ශ්‍රී ලංකාවෙන්, ඉන්දියාවෙන් සහ බංගලිදේශයෙන් සහල් මිලට ගන්නේ නැත. යුරෝපයට ප්‍රධාන සහල් සැපයුම්කරුවන් වෙන්නේ කාම්බෝජය සහ මියන්මාරයයි. 


යුරෝපයට අවශ්‍ය සහල් ආසියාවෙන් නොගෙන්වා සැපයීමට ඉතාලිය දැන් සූදානම් ය. මධ්‍යධරණී දේශගුණය සහ දකුණු ඉතාලියේ සරු බිම් වී වගාවට අතීශය හිතකරය. දකුණු ඉතාලිය දැනට ගොඩ වගාව ලෙස කුඹුරු අක්කර දෙලක්ෂ තිස්දහසක් වාර්ෂිකව වගා කරයි. මෙම වගාව කන්න දෙකක් හෝ තුනක් ලෙස කෙරෙන අතර එක් කන්නයක දී සහල් ටොන් ලක්ෂ පහළොවක් නිෂ්පාදනය කරයි. 


සහලින් යුරෝපය ස්වයංපෝෂිත කිරීමේ හැකියාව තමන් සතු බව කියමින් ආසියාවෙන් සහල් ගෙන්වීම නවතා දමන ලෙස යුරෝපා පාර්ලිමේන්තුවට ඉතාලිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව දෙසැම්බර් මස හතර වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත විය. ඉතාලි සහල් සැපයීම පිළිබඳව විශ්වාසය තබන යුරෝපා හවුල කාම්බෝජ සහ මියන්මාර් සහලට ඉදිරි දිනවල දී දොරටු වසා දමනු ඇත. 

 


ගැස්කොන් ලාසරස් 
රෝමය, ඉතාලිය.