ආදිතමයන් විසින් කපන ලද දැවැන්ත බොරු වළක් මෙක්සිකෝවෙන් හමුවෙයි


වසර පහළොස්දහසක් පැරණියි  

 

සතුන් දඩයම සඳහා මිනිසා විසින් කපන ලද, දැනට සොයාගෙන ඇති පැරණිම බොරු වළ පුරාවිද්‍යාත්මක කැණීමකදී පසුගියදා මෙක්සිකෝවේදී සොයාගෙන ඇත. මෙම බොරු වළ වසර පහළොස්දහසක් පැරණි බවට දැනට කාලනීර්ණය කර ඇත.  


මෙම බොරු වළ මීටර් විස්සක විස්කම්භයකින් සහ මීටර එකයි සෙ.මී. හැත්තෑවක ගැඹුරකින් යුක්තය. විෂ්කම්භය අනුව මෙය දැවැන්ත සතුන් සඳහාම අැට වූ උගුලක් බව පැහැදිලිය.  


උක්ත බොරු වළ තුළ තිබී දළ සහිත දැවැන්ත මැමත් හිස්කබලක් හමු වී ඇත. බොරු වළට වැටුණු මැමුත් සත්වයා ගල් පොළු මුගුරුවලින් ගසා මරාදැමූ පසුව, කැබලි කරන ලද මස් පමණක් වළෙන් පිටතට ගන්නට ඇති බව දැනට විශ්වාස කෙරේ.  


දුනු ඊතල තාක්ෂණයට පෙර දඩයම් යුගයේ ආදිතමයා සතුන් දඩයම සඳහා හබක උගුල සහ බොරු වළද යොදාගත් බව හෙළිවී ඇත. උගුලට හබකට හසුවුණු සහ බොරු වළට වැටුණු සතුන් ගල් පොළු මුගුරු සහ ගල් මෙවලම්වලින් තියුණු ලෙස උල් කරන ලද දිග රිටිවලින් ඇණ මරාදමා ඇත. මෙම දිග තියුණු රිට පසුව හෙල්ලය බවට පත්විය.  


ගැස්කොන් ලාසරස්  
රෝමය, ඉතාලිය.