ආදර්ශවත් තානාපති සේවා නිලධාරියකුට ප්‍ැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගෙන් උපහාර


 

විදේශයන්හි ස්ථාපිත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන් හි සේවය කරන රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ යෝජිත සේවා කාලය අවසන් කිරීමෙන් එකී සේවය අගයමින් එම රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකික සමාජය විසින් ගෞරවනීය තිළිණ ප්‍රදානය කරමින් උත්සව පැවැත්වීම සාමාන්‍යයෙන් බොහෝ විට සිදු නොවන්නකි. එයට හේතුව ඔවුන් හා සේවය ලබන්නා අතර ඇති වන දුර්වල සම්බන්ධීකරණය, සමාජශීලී බවක් නොමැතිවීම, ඔවුනොවුන් හඳුනා නොගැනීම, එය අවශ්‍යතාවක් ලෙස නොදැකීම ආදී කරුණු ප්‍රධාන වේ. එවිට ඔවුනොවුන් අතර අන්‍යොන්‍ය සැබැඳියාව හීන වේ. එසේ වූ කල සේවකයාට ප්‍රතිඋපකාරයක් කිරීමට හෝ මහජනයා ඒකරාශී වීම සිදු නොවේ. නමුත් එසේ නොවන දුර්ලභ අවස්ථාවන් නැතුවා ද නොවේ. එවැනි මහඟු අවස්ථාවක් පසුගියදා පැරීසියේදී සිදු වූයේය. 


පැරීසියේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකිකයන් විසින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලේකම්වරයකු ලෙස සේවය කළ ධමිත් හේවාවික්‍රම මහතාට ඔහුගේ සේවය අගයමින් උපහාර පුදකළ උත්සවය එවැනි මහඟු අවස්ථාවකි. ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයනට තානාපති කාර්යාලය හරහා ඉටුකර ගැනීමට සිදුවෙන පරිපාලනමය කටයුතුවලදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ බව සැබෑවකි. අකර්යක්ෂමතාව, ප්‍රමාදවීම්, අතපසුවීම්, අල්ලස් ගැනීම, නොසැලකිල්ල ආදී ලෙස විවිධ අකටයුතුකම් සිදුවූ බව නොරහසකි. 


විටෙක තානාපති කාර්යාලයේ ඉහළ මාලයේ හා පහළ මාලයේ සේවකයන් අතර සම්බන්ධය ඉතාමත් දුර්වල තැනක පැවැතියේය. එවැනි අවස්ථාවලදී ප්‍රංශයේ ශ්‍රී ලාංකික විවිධ සංවිධාන එකතුව ඉහත තත්ත්වයන් ගැන තානාපති කාර්යාලය දැනුවත් කරමින් සාකච්ඡා පවත්වමින් සැමට කාර්යක්ෂම මහජන සේවයක් ලබා ගැනීම සඳහා බෙහෙවින් වෙහෙසුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වෙන විට සැලකිය යුතු සතුටුදායක මට්ටමකට කාර්යාලයේ දෛනික වැඩ කටයුතු සිදුවීම සතුටට කරුණකි. මෑත අතීතය තුළ මෙම වෙනස සිදුකර ගැනීමේදී ධමිත් හේවාවික්‍රම මහාතාගෙන් සිදුවූ සේවාව අගේ කොට සැලකිය යුතුමය. 

 

 


ධමිත් මහතා වසර තුනකට ආසන්න කාලයක් ප්‍රංශ තානාපති කාර්යාලයේ සේවය කළේය. රාජකාරි දිනයන්හි මහජන සේවය පතා පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හා මනා හොඳ සබඳතාවක් ගොඩ නගා ගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවය නොපිරිහෙලා ඉටුකර දීමට ඉහත නිලධාරියා කටයුතු කළ බව පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ බොහෝ හොඳින් දන්නා කරුණකි. එවැනි නිලධාරියෙක් නොලැබී යාම එම සමාජයට විශාල පාඩුවකි. ඒ හෙයින් ඔහුගේ සේවය තවදුරටත් ලබා ගැනීම සඳහා ඔහුට සේවා දිගුවක් ලබා දෙන ලෙස පැරීසියේ සංවිධාන ගණනාවක් විසින් ජනාධිපති, ඇමැති, අමාත්‍යාංශ මට්ටමින් යම් ඉල්ලීමක් සිදු වුව ද එය ඉටු නොවීය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ පැරීසියට අවංක දක්ෂ නිලධාරියෙක් අහිමි වීමය. 
කළගුණ දන්නා ජාතියක් ලෙස එවැනි නිලධාරියකුට උපහාර පිදීම සත්‍ය ලෙසම කළ යුත්තකි. එවැනි උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා පැරීසියේ මීගමු සංවිධානයෙන් සංවිධානය කළ විශේෂ නත්තල් උත්සවයකදී ප්‍රංශ තානාපති බුද්ධි අතාවුද මහාතාගේ ප්‍රධානත්වයෙන් හා විවිධ ආගම්හි පූජකවරුන් සහ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළේය. එහිදී ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටි අබ්දුල්ලා ෆයිස් ඉස්ලාම් ආගමික පූජකතුමන් හා පැරීසියේ විවිධ සංවිධාන නියෝජනය කරමින් පුෂ්පසිරි ද අල්විස්, රංජිත් ප්‍රනාන්දු, උපාලි සිරිමාන්න, ඩේමියන් පීරිස්, රේනුකා පෙරේරා, මුතුකුමාරන් යන මහත්ම මහත්මීන් විසින් ඔහුගේ සේවය අගයමින් කතා පවත්වා උපහාර තිළිණයන් පිළිගැන්වීය. 


පැරිස් එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපති සාලිය කොටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් එවැනි උත්සව කිහිපයක් පැරීසියේ ස්ථාන කිහිපයකදී පැවැතියේය. ශේන් නදියේ මංජු ජයවර්ධන මහතාගේ බෝට්ටුවක හා දමිළ සංස්කෘතික උත්සවයකදී ද පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේදී ශාස්ත්‍රපති කෝ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද පවත්වන ලද අතර පසුගිය 12 වැනි සෙනසුරාදා පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව විසින් ද තිළිණයක් ප්‍රදානය කොට රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඔහුගෙන් සිදුවූ මහජන සේවය අගයමින් ස්තුතිය පුද කළේය. එම උත්සවයේදී එම ශාඛාවේ අනුශාසකවරුන් වන අජිත් රණසිංහ මහතා, රණවි බණ්ඩාර මහතා, දෙමළ සංවිධානයේ සුබ්‍රමනියම් සරවන් මහතා හා තානාපති බුද්ධි අතාවුද මහතා ද කතා පවත්වා ඔහුට ස්තුතිය පුදකළෝය. 


ඒ සෑම අවස්ථාවකදීම ධමිත් හේවාවික්‍රම මහතාගේ ඉදිරි අනාගතය සාර්ථක වේවායි පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ සුභ පැතුවෝය. 

 

 

 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට