ආදරවන්තයෙක් කියන ශරීර ආරක්ෂකයෙක් නිසා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ට වැඩ වරදී?


ජනාධිපති මැක්රෝන් ඇලෙක්සැන්ඩර් බෙනලා සමග

 

 

ඔහු නමින් ඇලෙක්සන්ඩර් බෙනලා. වයස අවුරුදු 27ක් වූ ඔහු ප්‍රභූ ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල ඩිප්ලෝමාවක් හිමි මොරොක්කෝ ජාතික පවුලකට දාව ප්‍රංශයේදී උපන් ප්‍රංශ ජාතිකයෙකි. 2018 මැයි 01 වැනිදා පැරීසියේ පැවැති මැයි පෙළපාළියකදී අන්ත වාමාංශික ධනපති විරෝධී උද්ඝෝෂණයකට සහභාගිවෙමින් කළහකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂකකරුවන් පිරිසකගේ ක්‍රියාවන් මර්දනය කිරීමට ආරක්ෂාවට යොදවා තිබූ ප්‍රංශ පොලිස් භටයන්ට සිදුවූ අතර එම පොලිස් භටයන් අතර සිවිල් ඇඳුමින් සැරසී හිස් ආවරණයක් පැළඳ දකුණු අතේ වැලමිටට ඉහළින් පොලීසිය යනුවෙන් සඳහන් පටියක් පැළඳ සිටි ඉහත සඳහන් ඇලෙක්සන්ඩර් බෙනාලා විසින් පොලිස් භටයන්ට අවනත නොවී හැසිරුණු උද්ඝෝෂකකරුවන් දෙදෙනෙකු අල්ලා මහ පාර දිගේ ඇදගෙන පදික වේදිකාවේ හිඳුවා අත්වලට මාංචු දමා නිසල කළේය. ඔවුන් දෙදෙනා පිරිමියෙක් හා තරුණ කාන්තාවකි. කාන්තාවගේ හැසිරීම මෙල්ල කිරීම සඳහා කිහිප විටක් සුළු වශයෙන් පහර දීමක්ද සිදු වූයේය. 


මැයි පෙළපාළිය අවසන්වීමෙන් පසු ඔවුන්ව අත්අඩංගුවෙන් මුදාහැරුණු අතර එම සිදුවීම අතීතයට එක්වූයේය. කෙසේ නමුදු මෙම සිදුවීම එතැන සිටි කෙනෙකු විසින් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබූ බව කිසිවෙකුත් නොදන්නේය. මාසයකට පමණ පසු වීඩියෝ ගත කළ පුද්ගලයා විසින් මෙම වීඩියෝ පටය මුහුණු පොතට එක් කළේය. වීඩියෝ පටය සුපරික්ෂාකාරී ලෙස නිරීක්ෂණය කළ ප්‍රංශයේ පළවෙන ප්‍රධාන පුවත් පතක් වන “ලෙමොන්ඩ්” පුවත් පත විසින් උද්ඝෝෂක කාන්තාවට පහර දෙන ඉහත සිද්ධියට අදාාළ සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයා ප්‍රංශ ජනාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් බව ජුලි මස 18 වැනිදාා පුවත් පතේ ප්‍රධාන පුවතෙන් හෙළි කළේය. එම හෙළි කිරීමත් සමග ජනාධිපති මන්දිරයේ සේවකයෝ දෙබරයකට ගල් ගැසුවා සේ කලබලයට පත් වූවෝය. ඒ වෙන විට ප්‍රංශයේ විවිධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් සියල්ලම මෙම සිදුවීම ගැන විවිධ වාර්තා පළකිරීමට පෙරමුණ ගත්තෝය. එසේවූ හෙයින් පඩි රහිත සති දෙකක දඬුවම් නිවාඩුවක් ලබා දෙමින් ඔහුගේ නිවසට සීමා කොට සති දෙකෙන් පසු නැවත සේවයට වාර්තා කිරීමට බෙනලාට අවස්ථාව ලබා දුන්නේය. 


ප්‍රංශ ජනාධිපති තුමාගේ ආරක්ෂාව සඳහා විශේෂ කණ්ඩායමක් අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින ප්‍රංශ පොලීසියේ ස්ථාපිත කර ඇත්තේය. එවැනි අංශයකට අයත් නොවන කෙනෙකු ජනාධිපති ආරක්ෂාවට එක් වූයේ කෙසේද? එවැන්නෙක් මැයි පෙළපාළියක් වැනි විශේෂ අවස්ථාවකදී මහ පාරේ ආරක්ෂාවට පැමිණියේ මන්ද? ඔහුට ඒ සඳහා අවසර දුන්නේ කවුරුන්ද? ඇත්තටම ඔහු කවුද ආදි ලෙස ප්‍රශ්න ගණනාවක් ඉහත පුවත් පත විසින් සමාජයට ඉදිරිපත් කළේය. ඒ අතරතුර පෙළපාළිකරුවන්ගේ සංවිධානයක් විසින් ඇලෙක්සන්ඩර් බෙනාලාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත්වීම හේතුවෙන් පරීක්ෂණයක් ආරම්භවූ බැවින් ඔහුගේ සේවය අත්හිටුවීමට ජනාධිපති කාර්යාලයට සිදුවූයේය. 


මෙම සිදුවීම ප්‍රධාන කොට ප්‍රංශ දේශපාලන ක්‍ෂේත්‍රයේ විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා මාධ්‍ය විසින් ජනාධිපතිට විරුද්ධව අදහස් පළ කිරීමත් ජනාධිපති ආරක්ෂාව ගැන විවිධ විවේචන එල්ලවීමත් හේතුවෙන් ජනාධිපති තුමාට මහජනයා ඉදිරියේ ඉහත සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට සිදුවූයේය. එහිදී ඇලෙක්සැන්ඩර් බෙනලා ජනාධිපති කාර්යාලයේ සේවය කළ බවත් ඔහුගේ සේවා කාලය ගැන සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවත් පවසමින් ඔහු මගේ ආදරවන්තයෙක් නොවන බවද ජනාධිපති පැවසීය. එවැනි ප්‍රකාශයක් කිරීම ගැන ප්‍රංශ ජනපති ආර්යාව එතරම් කැමැත්තක් නොදැක්වූ බව මාධ්‍ය වාර්තා පළකර තිබුණි. කෙසේ නමුත් ජනපති මුවින් එවැනි වදන් වැලක් පිට වූයේය. එසේ කීමට සිදුවූයේ ඇයි? 


වයස 27ක් වයසැති ඇලෙක්සැන්ඩර් බෙනාලා කඩවසම් තරුණයෙකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු වර්ෂ 2010දී ප්‍රංශ සමාජවාදී පක්ෂයේ සමාජිකත්වය ලබා ගන්නේය. ඉන් අනතුරුව ඔහුට ඇති සුදුසුකම් මත එවකට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ හිටපු රැකී රක්ෂා ඇමතිවරියක්වූ මාර්ටින් ඔබ්රි මහත්මියගේ ආරක්ෂාවට බඳවා ගන්නේය. අනතුරුව 2012 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයේදී සමාජවාදී අපේක්ෂක ප්‍රන්ශුවා ඔලොන්ද් මහතාගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන්නේය. ඒ සඳහා ඔහුට එම පක්ෂයෙන් වැටුපක්ද ලැබුණේය. ඉන් පසු වර්ෂ 2017 ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වූ එම්මානුවෙල් මැක්රොන් මහතාගේ මැතිවරණ සමයේ සිට ඔහුගේ ආරක්ෂාව සඳහා තෝරා ගත් අතර මැතිවරණය ජය ගත් පසු ජනාධිපති කාර්යාලයේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහකාර තනතුරක් දරමින් ජනාධිපතිගේ ආරක්ෂාවට අනුයුක්තව සිටියේය. 
2018 මැයි 01 වැනිදා ඉහත සඳහන් සිද්ධිය කරළියට පැමිණෙන තුරු ඔහු ජනාධිපතිගේ ආරක්ෂකයෙකු ලෙස සේවය කළ බව ජනාධිපති තුමාගේ දේශීය හා විදේශීය සංචාරයන්හීදී ඔහුගේ ළඟින්ම සිටි කෙනෙකු ලෙස මනාවට පැහැදිලි වේ. මැතිවරණ සමයේ පක්ෂ කාර්යාල මූලස්ථානයේ සිව්වැනි මහලේ පිහිටි මැක්රොන් මහතාගේ විවේක කාමරයට අවසරයකින් තොරව ඇතුල්විය හැකි එකම පුද්ගලයා ඔහුය. ජනාධිපති තුමාගේ අතිපුද්ගලික සංචාරවලදී ඔහු ළඟින්ම සිටි එකම ආරක්ෂකයාද ඔහුය. එබැවින් ජනාධිපතිගේ ආරක්ෂකයෙකු ලෙස සේවය කළ බවට සාක්ෂි ඕනෑවටත් වඩා තිබේ. 


ඒ අතරතුර 2018 ලෝක පාපන්දු ශූරතාව ජය ගත් ප්‍රංශ කණ්ඩායම ප්‍රංශයට පැමිණි මොහොතේ ගුවන් යානයෙන් බැස ඔවුන් සඳහා සූදාානම් කළ විශේෂ බස් රථයට පැමිණෙන අවස්ථාවේදීද ඇලෙක්සැන්ඩර් බෙනාලා බස් රථය ළඟ සිටින්නේය. ඔහු එතැනට පැමිණියේ මන්ද? කාගේ අනුමැතියක් උඩද? ඔහුට ගිනි අවි දෙකක් ලබාදී තිබූ අතර එම ගිනි අවි නිකුත් කිරීමට අනුමැතිය දුන්නේ කවුද? ආදී ලෙස ඔහුට විරුද්ධව චෝදනාවන් රාශියක් කරළියට පැමිණියේය. මේ හේතු කොට ඔහුට ඇති චෝදනා පිරික්සීමට පාර්ලිමේන්තුවේ හා සෙනෙට් සභාවේ විශේෂ කොමිසමක් පත් කළේය. පාර්ලිමේන්තු කොමිසම ඉදිරියට යෑම ප්‍රතික්ෂේප කළ ඔහු 25 දෙනෙකුගෙන් සමන්විත සෙනෙට් සභා කොමිසම ඉදිරියේ නැගූ ප්‍රශ්නවලට වාචිකව පිළිතුරු දෙමින් ජනාධිපති කාර්යමණ්ඩල නිලධාරියෙක් ලෙස සේවය කළ බව පිළිගනිමින් ආරක්ෂකයෙකු ලෙස සේවය නොකළ බව පුන පුනා කීවේය. අවසානයේ කොමිසම් වාර්තාවෙන් පසු ඔහුට එරෙහි මූලික පොලිස් පරීක්ෂණයක් ආරම්භ වූයේය. ජනාධිපති මන්දිරයේ ඔහුගේ අල්මාරිය, නිවෙස පොලිස් පරීක්ෂාවට ලක් වුණේය. බොහෝ දේ අස්ථානගතවී ඇති බව සොයා ගෙන ඇත. ඔහු නිවසට පැමිණෙන සෑම අවස්ථාවකම ආයුධ ළඟ තබා ගෙන ඇත. එය නීති විරෝධීය. මසකට යුරෝ 10000 ක වැටුපක් ජනාධිපති කාර්යාලයෙන් ලැබී ඇත. හෙළිකර ගත් සාක්ෂි අනුව ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පවරනු ලැබීය. 


කාලය කෙමෙන් ගත වූයේය. ප්‍රංශ ජනාධිපතිට දෙසැම්බර් 22 වැනිදාා අප්‍රිකානු සංචාරයක් ආරම්භ කරමින් චඩ් රාජ්‍යයට යෑමට නියමිතව තිබුණි. ඊට දින කිහිපයකට පෙර මීඩියා පාට් වෙබ් අඩවිය විසින් තවත් හෙළිකිරීමක් කරළියට ගෙන ආවේය. ඒ අනුව ඉහත සඳහන් ඇලෙක්සැන්ඩර් බෙනාලා හය දෙනෛකු සමග පුද්ගලික ජෙට් යානාවකින් දෙසැම්බර් පළමු සතියේ එනම් ජනාධිපතිගේ සංචාරයට සති දෙකකට පෙර චඩ් රාජ්‍යයට ගොස් එහි අගනුවර හිල්ටන් හෝටලයේ ලැගුම් ගෙන ඇත. පසුව චඩ් රාජ්‍යයේ ජනාධිපති සොහොයුරා වන ඔමාර් ඩෙබී හමුවී ඇත්තේය. චඩ් රාජ්‍යයේ ආයුධ මිලදී ගැනීම හා මූලෝපායික සංචිතයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඔහුය. බෙනාලා විසින් මෙම ගමන සඳහා රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් පාවිච්චි කර ඇති බව ඉහත වෙබ් අඩවිය විසින් හෙළි කළේය. වැඩ තහනමට ලක්වී සිටින ඔහු මෙවැනි ගුවන් ගමන් පතක් භාවිතා කළේ කෙසේද යන්න ප්‍රශ්නයක් වූයේය. මේ හේතු කොට නැවතත් දේශපාලන කරළිය ගිනියම් වූයේය. විවිධ දේශපාලන විවේචනවල අඩුවක් නොවීය. 


ඒ අතරතුර ඔහුට එක බලපත්‍රයක් නොව රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍ර දෙකක් සමග ගමන් බලපත් හතරක් ඇති බවත් ඔහුට ලබාදී ඇති අතිශයින්ම ආරක්ෂිත රාජ්‍ය ජංගම දුරකථනය භාවිතා කරන බවද කැනා ඔන්චෙනේ පුවත් පත විසින් ජනවාරි මස 10 වැනිදාා හෙළි කළේය. යුරෝ 2500ක් පමණ වටිනා විශේෂ ආරක්ෂිත නවීන උපකරණ නිපදවන තලීස් සමාගම විසින් නිෂ්පාදිත මෙම තියෝරෙම් වර්ගයේ දුරකථනය හැකරුන්ට අසු නොවන අතිශයින්ම සුරක්ෂිතය. ප්‍රංශ ජනාධිපතිගේ ළඟම උපදේශකයෝ හමුදාා ප්‍රධානීන් සමඟ අතිශය රහස් අදහස් හුවමාරු කර ගැනීමට ජනාධිපති භාවිතා කරන්නේ මෙවැනි දුරකථනයකි. මෙම සිද්ධියෙන් පසු පසුගිය 11 වෙනිදාා ඔහු දුරකථනය ජනාධිපති කාර්යාලයට භාරදී ඇත්තේය. 

 

ජනාධිපති බලය අතට ගත් බෙනලා පෙළපාළිකරුවන් මැඬලමින්..

 


මේ කරුණු හේතු කොට නැවතත් සෙනට් සභා කොමිසම බලධාරීන් කැඳවා ප්‍රශ්න කළේය. එහිදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී පැට්රික් ස්ට්‍රෝඩා විසින් හෙළිකරන ලද කරුණු අනුව අගෝස්තු 01 වැනිදාා සිට දෙසැම්බර් 31 දක්වා 20 වතාවක් ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කර ඇති අතර එංගලන්තය, අප්‍රිකාව, ඊශ්‍රායලය යන රටවල සංචාරය කර ඇති බව හෙළිවී ඇත මේ හේතුකොට ඇලෙක්සැන්ඩර් බෙනාලාට එරෙහි නැවත පරීක්ෂණ ආරම්භ කරමින් ජනවාරි 16 වැනි බදාාදා පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා දින දෙකකින් නිදහස් කළේය. ඉන්පසු නැවත වතාවක් ජනවාරි 21 වැනිදාා සෙනට් සභා කොමිසම ඉදිරියේ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමට ලක් වූයේය. එහිදී රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය භාවිතා කිරීම හා චඩ් රාජ්‍යයේ කළ සංචාරය හා රාජකාරී දුරකථනය ගැන ප්‍රශ්න කළ අතර ඒ සෑම අවස්ථාවකදීම අධිකරණයේ පරීක්ෂණ සිදුවෙන බව කියමින් සමහරක් ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය. ඔහු විසින් කරුණු සඟවන බව සෙනෙට් සභා කොමිසමේ බහුතරයකගේ මතය වේ. 
කෙසේ නමුදු ඔහුට විරුද්ධව ප්‍රබල චෝදනා රැසක් අධිකරණය ඉදිරියේ ගොනු වෙමින් පවතී. ඔහු වැරදිකරු වුවහොත් යුරෝ 45000ක (රුපියල් ලක්ෂ 90 ක) දඩයකට හා වසර තුනක උපරිම සිර දඬුවමකට යටත් වෙන්නේය. 


ප්‍රංශයේ ව්‍යවස්ථාවට අනුව ප්‍රංශ ජනාධිපතිගේ ආරක්ෂාවට විශේෂිත පොලිස් කණ්ඩායමක් සිටින බැවින් ඔහුගේ ආරක්ෂාවට පුද්ගලික ආරක්ෂකයෙකු තබා ගැනීම නීතියට පටහැනිය. මෙවැනි කරුණු රාශියක් හේතුවෙන් දැඩි විවේචන රැල්ලකට ප්‍රංශ ජනපති අසුවී සිටින්නේය. මෙම සිදුවීම් හමුවේ ඔහුගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහළ යමින් තිබේ. කෙසේ නමුදු මෙම සිදුවීම අරබයා විවිධ කතා රාශියක් ප්‍රංශ මාධ්‍ය තුළ කතා බහට ලක්වෙමින් තිබෙන අතර නුදුරු අනාගතයේදී පුදුමය දනවන කතා රැසක් දැනගැනීමට ද පාඨකයාට අවස්ථාවක් ලැබෙන්නේය. 

 

 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට