ආත්මීය ප්‍රේමයේ ආස්වාදය ලොවට කියාදෙන අවුරුදු සීය ඉක්මවූ ඉතාලියේ සීයලා ආච්චිලා


 

  • අවුරුදු සීය ඉක්මවූවන් සංඛ්‍යාව දාහතරදහස් හාරසිය පනස්හයක‍්
  • දීඝායු රහස රතු වයින් ඔලිව් තෙල් සමග මධ්‍යදරණී ආහාරවේල

 

පසුගිය වසර දහය තුළ ඉතාලියේ වයස අවුරුදු සීය ඉක්මවූවන්ගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇත. ප්‍රතිශතයක් ලෙස මෙය 136 ක වර්ධනයකි. ඉතාලි ආර්ථික සහ සමාජ සමීක්ෂණ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් මේ බව හෙළිවී ඇත.   


උක්ත සමීක්ෂණ වාර්තාවට අනුව දැනට ඉතාලියේ වෙසෙන වයස අවුරුදු සීය ඉක්මවූවන්ගේ සංඛ්‍යාව දාහතරදහස් හාරසිය පනස්හයකි (4456) මින් 84% ක ප්‍රතිශතයක්ම කාන්තාවෝ ය. වැඩිම වයස්ගත ඉතාලි ජාතිකයා ලෙස දැනට වාර්තාවෙන්නේ වයස අවුරුදු එකසිය දහතුනක් වූ කාන්තාවකි.   


ලොව වඩාත්ම වයස්ගත කාන්තාව ලෙස වාර්තා පිහිටුවා සිටි ඉතාලි ජාතික කාන්තාව වයස අවුරුදු එකසිය දාහතක් ආයු වළඳා පසුගිය වසරේ මියගියා ය. ඇගේ මරණයට මාස කීපයකට පෙර කරන ලද රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ඇය ප්‍රකාශ කළේ ඇගේ දෛනික ආහාරවේලට ඔලිව් තෙල් සහ රතු වයින් ද, කුකුලු බිත්තර තුනක් අමුවෙන් ද එකතුකර ගන්නා බව ය.   


මීට වසර දහයකට පෙර එනම් 2009 වසරේ හාරසිය හැත්තෑදෙකක් වූ වයස අවුරුදු එකසිය පහ ඉක්මවූවන්ගේ සංඛ්‍යාව, මේ වෙනවිට එක්දහස් එකසිය ​ෙදාළහක් බව ද උක්ත සමීක්ෂණයෙන් හෙළිවී ඇත. මින් 87 ක ප්‍රතිශතයක්ම කාන්තාවෝ ය. මෙම වයස් සීමාවේ පිරිමින්ගෙන් 16.3% ක්ම තවමත් ජීවත් වෙන්නේ තම බිරින්දෑවරියන් සමග ය. 2009 වසරේ දසදෙනෙක් වූ වයස අවුරුදු එකසිය දහය ඉක්මවූවෝ අද වෙන විට විසිඑක්දෙනෙකි. 

 
වයස්ගත වූවන්ගේ සුභසාධනය සඳහා හමුවීමේ සහ විනෝදවීමේ මධ්‍යස්ථාන ද ශාරීරික සුවතා මධ්‍යස්ථාන පහසුකම් ද රජය විසින් නොමිලේ සපයා දී ඇති අතර, වෛද්‍ය සායන සහ ප්‍රතිකාර ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථාන මගින් නොමිලේ සැපයේ.   


වයස අවුරුදු හැටපහ ඉක්මවූ පෙම්වතුන්ගේ සහ පෙම්වතියන් සහභාගීවෙන රූපවාහිනී වැඩසටහන් ද ඉතාලියේ ඇති අතර, එහිදී ඔවුන් චකිතයකින් තොරව තම පෙම් කතාව ලොවට හෙළිදරව් කරති. මොවුන් බොහෝ දෙනෙකුගේ මතය වෙන්නේ වයෝවෘද්ධ ප්‍රේමය තාරුණ්‍යයේ ප්‍රේමය මෙන් නොව ආත්මීය ප්‍රේමයක් බව ය. 

 

 

 
යටියන   
ක්ලැරන්ස් කොස්තා.   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.