අසිරිමත් සම්බුදු තෙමඟුල සයිප්‍රසයේදී සැමරූ වගයි


 

සම්බුදු තෙමඟුල යනු ලෝකවාසී බොදුනුවන්ගේ අසිරිමත්ම මංගල්‍යයයි. ක්ෂණ සම්පත් ඇතිව සිරිලක වැනි උත්තරීතර රටක ඉපදුණ අප පෙර කළ මහා කුසල් ඇත්තෝය. මේ ලෝකයෙහි පහළ වූ අති උත්තරීතර අසමසම මිනිසා වෙනුවෙන් පුද පූජා අදටත් ලොව වටා පැවැත්වීම උන්වහන්සේගේ නොසිඳෙන පින් බලයේ ආශ්චර්යයකි. තවද සාරසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට පුරණ ලද පාරමිතාවල අසිරිමත් බල මහිමයමය. මේ මහා භද්‍රකල්පයේදී බුද්ධත්වය ලැබූ සිව්වැනි බුදුරදුන් වන ගෞතම නම් ඒ අප මහා මුණිද්‍රයන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිණිවන්පෑම යන ත්‍රෛ මංගල්‍යම යෙදෙන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනටය.   
2017 වසරේ මැයි 10 වන දින 2561 වැනි සම්බුද්ධ ජයන්තිය අප මව් රටේදී අති ඉහළින් සමරද්දී යුරෝපයේ මධ්‍ය ධරණී මුහුදින් වටවූ සයිප‍්‍රසයේ ශ‍්‍රී ලාංකිකයන් පසුගිය මස 13 සහ 14 වැනි දින සම්බුදු තෙමඟුල සමරන්නට යෙදුණි. ලොව සියලු සත්වයින්ට දුකින් මිදීමේ මාර්ගය දේශනා කළ ඒ ගොයුම්ගොත් කුල අප සම්මා සම්බුදුරදුන්ගේ උත්තරීතර මංගල්‍යයන් වෙනුවෙන් සයිප‍්‍රසයේ වෙසෙන ලාංකික වැසියන් බැතිබර සිතින් ලහි ලහියේ සුදානම් වූහ. 13 වැනි සෙනසුරාදා සවස සයිප‍්‍රසයේ සීතා උද්‍යානය බෞද්ධ ධජ ද වෙසක් පහන් කූඩුවලින් ද පිරී ඉතිරී ගොස් තිබිණි.   

 


ඒ රමණීය සීතා උයනට ඇතුළුවන කාගේ වුව සිත පහන් සංවේගයෙන් නිවී සැනසෙන බව කිව යුතුමය. අටවිසි බුදුරදුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පවත්වන ලද්දේ විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ වන මොරවක සෝරත අපේ හාමුදුරුවන් විසිනි. එමෙන්ම උතුරුමැද පළාතේ උප ප‍්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත පූජ්‍ය කඩුවාගම්මන විමලරතන නායක ස්වාමීන්වහන්සේගේ සහභාගිත්වයද පින්කමට මහා ආලෝකයක්ම විය. ඉන් අනතුරුව සයිප‍්‍රසයේ බෞද්ධ සංගමය මඟින් පාරමිතා බැති ගී සරණිය ඉදිරිපත් කරනු ලැබූහ. මේ සඳහා ලක්දිවෙන් පැමිණි ගායන ශිල්පී කුමා අත්තනායක මහතා ද සහභාගි විය. එමෙන්ම යශෝධරාවත නාට්‍යය ද සයිප‍්‍රසයේ අපේම කලා හැකියාවන් පිරි කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් වේදිකාගතවිය.   

 

 


පසු දින උදෑසන අෂ්ඨාංග උපෝසථ ශීලය සමාදම්වෙන්න පැමිණි උවැසි උවැසියන්ගෙන් සයිප‍්‍රසයේ සීතා උයන ශාන්ත සිරියකින් ඇලලී ගොස් තිබිණි. එමෙන්ම අපේ නායක ස්වාමීන්වහන්සේලා විසින් ධර්ම දේශනා ද, බුද්ධ පූජා ද, විශේෂ දහම් සාකච්ඡාවක් ද පවත්වන ලදි. සිල් සමාදන් වූ පිරිසට ප‍්‍රත්‍ය පහසුකම් සලසමින් තවත් පිරිසක් කුසල් වඩවාගන්නට පෙරමුණ ගත්හ. නිකෝෂියා නගරයේ තරුණ පිරිස විසින් මෙවරද දහවල් ෆ‍්‍රයිඩ් රයිස් දන්සල සියල්ලන්ම වෙනුවෙන් පැවැත්වීම බෙහෙවින් ඇගයිය යුත්තක්මය.   
2017 වසරේ වෙසක් මංගල්‍යය සයිප‍්‍රසයේ සිරිලක් දුවා දරුවන්ට හරවත්ව ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවලින් මෙන්ම වත් පිළිවෙත්වලින් නොඅඩුව සමරන්නට ලැබීම ඔවුන් ලැබූ අතිමහත් භාග්‍යයකි.   


දිනිති දීපිකා   
මාධ්‍ය ඒකකය - ශ‍්‍රී ලංකාරාමය, 
සයිප‍්‍රසය