අවුරුදු හැත්තෑ පහක ගේෂාවක් කතා කරයි


 

ඇගේ වයස අවුරුදු හැත්තෑපහකි. එහෙත් තවමත් ඇය රූමත්ය. වර්ණවත් කිමෝනෝව තුළින් දිස්වෙන ඇගේ අඟපසඟ තවමත් තාරුණ්‍යයේ සලකුණු හැරගොස් නැත. ඇගේ අංග චලනය නර්තනයකි. ඇයගේ වදන් ගීතයකි. ඒ සියල්ල දශක පහකට අධික කාලයක් තිස්සේ ඇය විසින් සංයමයකින් ප‍්‍රගුණ කළ කලාව ය. ඇය ශිල්පිණියකි. කලාකාරියකි. කායික සංතර්පණය ඇය විසින් ප‍්‍රගුණ කර ඇති ශිල්පයයි. වෙනත් සංස්කෘතියක් තුළ නම් ඇගේ සමශිල්පිණීන් ගර්හාවට ලක්වෙති. එහෙත් ඇය ජීවත්වෙන සංස්කෘතිය තුළ ඈ විසින් කරනු ලබන්නේ ගෞරවනීය වෘත්තියකි.   


ටෝකියෝවේ අසකසා ප‍්‍රදේශයට දශක පහකට වැඩි කාලයක් තිස්සේ ඇය විසින් කරනු ලබන සේවය ඇගයීමක් ලෙස, පසුගිය වසරේ ඇය ජපාන සංස්කෘතික කටයුතු භාර අමාත්‍යවරයා අතින් සම්මාන ලැබුවා ය. ඇය නමින් මුරසෝනෝ කිකුකෝ ය. කලාවේදී ඇය ඉකුකෝ ය. ඇය ගේෂාවකි. පසුගිය දා ඇය පුවත්පත් මාධ්‍ය අමතා කතා කළාය.   


ජ්‍යෙෂ්ඨ පාඨශාලා අධ්‍යාපනය ලබමින් සිටියදී අහම්බෙන් හමුවූ මිතුරියක හේතුවෙන් ඇය ගේෂාවක වීමට තීරණය කර ඇත. දෙමාපියන්ගේ කැමැත්ත පරිදි ඉකුකෝ මුලින්ම ගේෂාවකට අවශ්‍ය නර්තනය මයිකෝවක (ගේෂාවකට අවශ්‍ය නර්තනය පුහුණු වන්නියක) ලෙස ප‍්‍රගුණ කිරීම සඳහා ඔකියා නිවසකට ඇතුළුවී ඇත. ඉන් මසකට පසුව දෙමාපියන්ගේ නිත්‍යානුකූල අවසර මත ඇය ගේෂා පාඨමාලාව ඇරඹූ බව කියයි. ඇය වෘත්තීය ගේෂාවක් බවට පත්වී ඇත්තේ වයස අවුරුදු දහඅටේදී ය.   


ටෝකියෝවේ ඔලිම්පික් ක‍්‍රීඩා තරග පැවැත්වුණු 1964 වසරේදී ඉකුකෝ තම උපන් නගරය වන නාගසාකිය හැරදමා ටෝකියෝවට සංක‍්‍රමණය වී ඇත. එහිදී ලෝ පසිඳු ක‍්‍රීඩකයෝ ද දේශපාලකයෝ ද විවිධ තරාතිරම්වල සුප‍්‍රසිද්ධ පුද්ගලයෝ ද ඇගේ සේවය ලබාගත් බව ඉකුකෝ කියයි.   


අභිසරු ළියක් වුව ද කායික සංතර්පනය ශිල්පයක් ලෙස ප‍්‍රගුණ කළ ඉකුකෝ කියන්නේ ගේෂාවක විසින් ගනුදෙනුකරුවකු කායිකව සංතර්පනය කරනු ලැබීම කලාවක් බව ය. නර්තනයක් බව ය. සංයමයකින් මෙන්ම බැති සිතින් ද කළ යුතු පූජාවක් බව ය.   
ඍතුව හෝරාව හා අවස්ථාවට අනුව ගැල්විය යුතු විලවුන් සුවඳ තෝරාගැනීමේ සිට අමුත්තා පිළිගන්නා කාමරයේ වර්ණය මත තම ප‍්‍රතිරූපය ඉලිප්පී පෙනෙන ලෙස කිමෝනෝව තෝරාගැනීම දක්වා වන ඉව ද අමුත්තාට තේ කොප්පයක් පිළිගැන්වීමේ සිට කායික සංතර්පනය දක්වා කෙරෙන නර්තනය ද ගේෂාවක විසින් ප‍්‍රගුණ කළ යුතු ශිල්පය වේ. ගේෂාව යන්න ශිල්පය හැදෑරූ තැනැත්තී යන ජපන් වදනෙන් බිඳී එන්නේ මේ නිසාය.  

 

 
ගැඹුරු අධ්‍යයනයකින් පසුව ලොව පැරණිම වෘත්තියේ ගේෂාවක ලෙස නිරතවීමට සිහින දකින්නියෝ වත්මන් ජපාන සමාජය තුළ නැත්තේම නොවේ. බොහෝ දෙනෙකු වයස අවුරුදු පහළොවේදී පමණ ගෙයිකෝවක (ගේෂාවක ලෙස පුහුණුවන්නියක) ලෙස අධ්‍යාපනය ඇරඹුව ද වයස අවුරුදු විස්ස පමණ වනවිට ඉන් බැහැර වෙන බව ඉකුකෝ කියයි. ප්‍රේමය හෝ විවාහය හෝ ගේෂාවකට තහනම් නැත. එහෙත් ගේෂා වෘත්තීය තුළ ඇයට පෞද්ගලික ජීවිතයකට ඇති ඉඩකඩ හා කාලය අල්පය.   


ටෝකියෝ නගර සීමාව තුළ ම අකසාකා හා ෂිම්බෂි ප‍්‍රදේශ අතර ගේෂාවන්ගේ ඇඳුම් පැළඳුම් අතර වෙනසක් ඇතුවා මෙන් ම, ටෝකියෝ හා කියොතෝ නගර අතර ගේෂා සම්ප‍්‍රදායේ ද වෙනස්කම් ඇති බව ද ඉකුකෝ කියයි. අද ටෝකියෝ නගරය තුළ ශිල්පී (වෘත්තීය) ගේෂාවෝ තුන්සියයක් පමණ සිටින බව ද තමන් මැරෙන තුරුම ඔවුන් හා කරට කර මෙම වෘත්තියේ යෙදෙන බව ද ඉකුකෝ පුවත්පත් අමතා ප‍්‍රකාශ කළාය.  


මුරසෝනෝ කිකොකෝ, ගේෂාවන් ලෙස අධ්‍යාපනය ලබන ජපන් යුවතියන් පිරිසක් සහ ගේෂාවකගේ පැරණි සිතුවමක් ඡායාරූපයන්ගෙන් දැක්වේ.   


යටියන   
ක්ලැරන්ස් කොස්තා  
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.