අභ්‍යවකාශයේ ඇති කුණු විනාශ කිරීමට ඉතාලිය චන්ද්‍රිකාවක් යවයි


 

මීතොටමුල්ලේ කුණු කන්ද නායයෑමේ කතාව අකාමකා යද්දී දැන් කොළඹ නගරයේ පණුවෝ බිහිකරමින් ගොඩගැසෙන කුණු පිළිබඳ කතාවය. පුවත්පත් සඟරාවලින් ද රූපවාහිනිය ගුවන්විදුලිය ඔස්සේ ද දැන් නිතරම ඇසෙන්නේ කුණු පිළිබඳ කතාය. මේ අස්සේම කියා දැමිය යුතු තවත් කුණු කතාවක් ද ඇත. ඒ අභ්‍යවකාශයේ ගොඩගැසෙන කුණු ගොඩවල් පිළිබඳව කතාවය.   


අභ්‍යවකාශය ජයගැනීම සඳහා මිනිසා විසින් අභ්‍යවකාශගත කරනු ලබන යානා දෙවැදෑරුම්ය. ඒවා මිනිසුන් සහිත යානා සහ මිනිසුන් රහිත යානා වෙති. මිනිසුන් සහිත යානාවක් අභ්‍යවකාශගත කිරීමේදී ප‍්‍රධානම වගකීම වෙන්නේ අභ්‍යවකාශගාමියා හෝ පිරිස නිරුපද්‍රිතව යළි පොළවට ගෙන්වා ගැනීමය. ගගනගාමීන්ගේ සුරක්ෂිතභාවය යනු යානයේ සුරක්ෂිතභාවයයි. මෙම අභ්‍යවකාශ යානාවලින් අභ්‍යවකාශයට මුදා හැරෙන අපද්‍රව්‍ය හෝ කැළිකසළ ප‍්‍රමාණය බිංදුවේ සිට අවමය දක්වා වේ.   


මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා ගනයට වැටෙන්නේ විවිධ හේතූන් මත අභ්‍යවකාශගත කරනු ලබන චන්ද්‍රිකාය. මෙම චන්ද්‍රිකා ගවේෂණ හා සේවා චන්ද්‍රිකා ලෙස ද ඉතාම සරලව වර්ග කළ හැකිය. මෙම චන්ද්‍රිකා සහතික ක‍්‍රියාත්මක කාල සීමාවක් සහිතය. මෙම චන්ද්‍රිකාවන් පෘථිවි පාලන මැදිරියට අවශ්‍ය කාරණාව ඉටුකළ පසුව හෝ සහතික කාල සීමාව ඉක්ම ගිය පසුව, ආපසු පෘථිවියට ගෙන්වාගැනීමේ සහතිකයක් හෝ ක‍්‍රමවේදයක් හෝ ක‍්‍රියාත්මක නොවේ. එබැවින් මෙම මෙවලම් පසු කලෙක අභ්‍යවකාශයේ අතහැර දමන ලද කසළ බවට පත්වේ.   


අභ්‍යවකාශයේදී චන්ද්‍රිකාවක ක‍්‍රියාකාරීත්වය සඳහා බලය සැපයෙන්නේ සූර්යතාප ගබඩා කෝෂ මගින් තැන්පත් කරගන්නා විදුලි බලය මගින්ය. මෙම සූර්යතාප ගබඩා කෝෂවල තැන්පත් වෙන විදුලි බලය වැය කිරීමට ක‍්‍රියා විරහිත චන්ද්‍රිකාවකට නොහැකිවීම හේතුවෙන්, සූර්යතාප ගබඩා කෝෂවලට ඔරොත්තු නොදෙන ප‍්‍රමාණයේ අධිආරෝපණය චන්ද්‍රිකාව පුපුරා යාමේ අවදානමට යොමු කරයි. අක‍්‍රීය චන්ද්‍රිකා හා පුපුරාගිය චන්ද්‍රිකා සුන්බුන් හා ගැලවී ගිය චන්ද්‍රිකා කොටස් සංඛ්‍යාත්මකව ලක්ෂ ගණනින් අභ්‍යවකාශයේ භ‍්‍රමණය වෙමින් ඇත. මේ සුන්බුන් අතර ප‍්‍රමාණයෙන් සෙන්ටිමීටර් දහය ඉක්මවූ කැබලි විසිඅට දහසකි. මේ අතර 2011 වසරේදී අභ්‍යවකාශයේ අතහැර දමන ලද ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය ද වේ. අභ්‍යවකාශයේ භ‍්‍රමණය වෙන වේගය අනුව ඉතා කුඩා ඇණයක් වුව ද දරුණු වෙඩි උණ්ඩයකි.   


මෙතෙක් සංඛ්‍යාත්මකව චන්ද්‍රිකා විශාල ප‍්‍රමාණයක් අභ්‍යවකාශගත කර ඇත්තේ ඇමෙරිකාව, රුසියාව හා චීනයයි. අක‍්‍රීයව හෝ සුන්බුන් බවට පත්ව අභ්‍යවකාශයේ භ‍්‍රමණය වෙමින් ඇති මෙම කුණු කසළවල හිමිකරුවෝ චන්ද්‍රිකාව හිමිකරුවෝමය. වසර දෙදහ වෙන තුරුම අභ්‍යවකාශයේ ගොඩගැසෙන මෙම සුන්බුන් පිළිබඳව වැඩි අවධානයක් කිසිවකු විසින් යොමු නොකරන ලදී. නැතහොත් වගකිව යුත්තෝ මේ සඳහා අවධානය යොමුකිරීම මගහැර සිටියෝ ය.   


අභ්‍යවකාශගත කෙරෙන චන්ද්‍රිකාවට නියමිත කාර්යභාරය අනුව එය ස්ථානගත කෙරෙන කක්ෂ ස්ථරය ජාත්‍යන්තර සම්මුතියක් මගින් තීරණය වී ඇත. ඒ අනුව පෘථිවියේ සිට කිලෝ මීටර් අටසියයක් ඉහළ අභ්‍යවකාශ ස්ථරය විද්‍යාත්මක හා හමුදාමය සේවා සඳහා වන චන්ද්‍රිකාවන් සඳහා වෙන්කර ඇත. පෘථිවියේ සිට කිලෝ මීටර් තිස්දෙදහක් ඉහළ අභ්‍යවකාශ ස්ථර වපසරිය දුරකතන හා වෙනත් සන්නිවේදන චන්ද්‍රිකා සඳහා වෙන්ව ඇත. අභ්‍යවකාශයේ සුන්බුන් බහුලම ස්ථරය වෙන්නේ මේ දෙවැනිව සඳහන් කරන ලද අභ්‍යවකාශ ස්ථර වපසරියයි.   


අභ්‍යවකාශයට තවත් සුන්බුන් ගොඩනොගැසීම මෙන්ම දැනට පිරී ඇති සුන්බුන් ඉවත් කිරීම පෘථිවියට ආපසු ගෙන ඒම හෝ අභ්‍යවකාශයේදීම විනාශ කර දැමීම කෙරෙහි දැන් අවධානය යොමුව ඇත. චන්ද්‍රිකා සුන්බුන් අභ්‍යවකාශයේදීම විනාශ කිරීම හෝ යළි පෘථිවියට ගෙන ඒම චන්ද්‍රිකාව හිමි රටට බාර කටයුත්තක් සේ සැලකෙන්නේ එය රටක හෝ කිසියම් ආයතනයක පුද්ගලික දේපොළක් වෙන බැවිණි.   


ජපන් අභ්‍යවකාශ ආයතනය “ජාෂා” තම ක‍්‍රියාවිරහිත චන්ද්‍රිකා මීටර් 700ක් දිග ඇලුමිනියම් කම්බියක් යොදා තවත් චන්ද්‍රිකාවක් මගින් යළි පෘථිවි කක්ෂයට ඇදගෙන විත්, පෘථිවි වායුගෝලයේ ගැටීමට සලසා විනාශකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළෝය. එම ව්‍යාපෘතිය එතරම් සාර්ථක වූ බවක් වාර්තා නොවේ.   


අභ්‍යවකාශයේ කුණු එකතුකර අධිතාපය මගින් විනාශකිරීම සඳහා 2002 වසරේ ඉතාලි අභ්‍යවකාශ ආයතනය විසින් යවන ලද ටොන් අටක් බරැති ලොරියකට සමාන වූ “එන්විසැට්” යානය වසර දහයක සේවයෙන් පසුව දැන් අක‍්‍රීයව ඇත. මෙම අභ්‍යවකාශ කුණු ලොරිය නැවත පෘථිවියට ගෙන්වා ගැනීමේ හෝ අභ්‍යවකාශයේදීම සුන්නද්ධූලි කිරීමේ හෝ වගකීම “ඩී ඕබිට්” නම් ඉතාලි පෞද්ගලික අභ්‍යවකාශ කටයුතු සමාගම කරට ගෙන ඇත. මේ සඳහා “ඩී තුන” නම් වූ අභ්‍යවකාශ මෙවලමක් ජුනි මස 23 වැනිදා ඉන්දියාවේ සතිෂ් ධවාන් චන්ද්‍රිකා අට්ටාලයෙන් අභ්‍යවකාශගත කෙරුණි. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය අනුග‍්‍රහය යුරෝපා කොමිසම විසින් දරා ඇත.

 
යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.