අපේ දූදරුවන්ගේ සාර්ථකත්වයේ තිරය පිටුපස රහස - Yes we can


සැප්තැම්බර් මස පහළොස්වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ සයුරෙන් එතෙර පිටුව මා ඉදිරියේ දිගහැරී ඇත. එහි අඩංගු එක් ලිපියකින් කියැවෙන්නේ පසුගිය දා ඉතාලියේ පැවති සමස්ත රූපසුන්දරී තරගයෙන් තෙවැනි ස්ථානය ශ්‍රී ලාංකික දියණියක විසින් දිනාගන්නා ලද බවය. ඒ පිටුවේම තවත් ප්‍රවෘත්තියකින් කියැවෙන්නේ ප්‍රංශයේ සිනෙමාකරණයේ නියැලී සිටින දේශීයව මෙන්ම විදේශීයව ද සම්මානයෙන් පිදුම් ලබන ශ්‍රී ලාංකික පුතෙකු පිළිබඳවය. ඒ ඒ රටවල ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ ද මෙම ප්‍රවෘත්ති දෙකටම මහත් ප්‍රසිද්ධියක් දී තිබුණි.   


ඉතාලියේ වැඩියෙන්ම අළෙවිවෙන පුවතපත ලෙස තීරණය වී ඇති ඉල් මැසෙජ්ජෙරෝ පුවත්පත් ලිපියක, ඉතාලි අභ්‍යවකාශ ආයතනය විසින් අභ්‍යවකාශගත කිරීමට සැරසෙන “මේතිස්” නම් චන්ද්‍රිකාව පිළිබඳව විස්තර වූයේ මීට සතියකට පමණ පෙරය. හිරුගේ රශ්මි කදම්භය වැඩිදුරටත් ගවේෂණය කිරීම සඳහා එම චන්ද්‍රිකාව මගින් අභ්‍යවකාශගත කිරීමට නියමිත දුරේක්ෂය සැලසුම් කර ඇත්තේ ද, තම අධීක්ෂණය යටතේ ඒ සඳහා කොටස් නිෂ්පාදනය කරවා ඇත්තේ ද, අවසානයේ තවත් ඉතාලි අභ්‍යවකාශ ඉංජිනේරුවරුන් දෙදෙනෙකු සමග ඒ කොටස් එකට පිරිවද්දා දුරේක්ෂය නිම කර ඇත්තේ ද, ශ්‍රී ලංකික තරුණ අභ්‍යවකාශයානා ඉංජිනේරුවරයකු විසින්ය. මේ පසුගිය දින දහයක් තුළ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික දූදරුවන් කීපදෙනෙකුගේ හැකියාවන් පිළිබඳ විදේශීය මාධ්‍ය විසින් අනාවරණය කරන ලද ප්‍රවෘත්තීන්ය. මාධ්‍යයෙන් අනාවරණය නොවූ මෙවැනිම හෝ මේවා ඉක්මවා ගිය දස්කම් ද අපේ දූදරුවන් දක්වා නැතුවා යයි කීමට ද බැරිය.   


උක්ත ප්‍රවෘත්තීන්ට තේමා වූ පිරිස, ශ්‍රී ලංකාවේ සිට විදේශයන්ට සංක්‍රමණය වී, පසුව එහි නිත්‍ය පදිංචිකරුවන් වුවන්ගේ දෙවැනි පරම්පරාවය. මෙම දූදරුවන්ගෙන් ඇතැමෙකු උපත ලබා ඇත්තේ ද, තවකෙකු ඉතාම ලාබාල වියේ සිටම හැදී වැඩී ඇත්තේ ද එම රටවලය. මොවුන් අධ්‍යාපනය ලබා ඇත්තේ හෝ තවමත් අධ්‍යාපනය ලබමින් සිටින්නේ ද එම රටවලය. ඔවුන් මව් බසට වඩා දන්නේ සත්කාරක රටේ භාෂාවය. මේ දරුවන්ගේ අදහස් ප්‍රකාශනය ඍජුය. තාර්කිකය. බුද්ධිමත්ය. ඡවි වර්ණයෙන් හැරුණුවිට අනෙකුත් සෑම අංගයකින්ම මොවුන් ඒ ඒ රටවලට අයත්වූවෝය. මොවුන් එසේ සකස් කළෝ කවුරුන්ද?   


සංක්‍රමණයේ මුල් අවදියේදී යුරෝපය ඇතුළු බොහෝ රටවලට සංක්‍රමණය වූ ඇතැමෙකු ඒ ඒ රටවල භාවිතාවෙන භාෂාව පවා දැන සිටියෝ නොවෙති. ඇතැමෙකුට මුල් යුගයේ එම රටවල රැඳීසිටීමේ අවසර පත්‍රයවත් නොවීය. ඉතාලිය පිළිබඳව කියන්නේ නම්, එවකට විදේශිකයන් හට ඉතාලියේ රැඳීසිටීමේ බලපත නිකුත් කෙරුනේ නම් ඒ ගෘහසේවක වෘත්තීය සඳහා පමණි. ගෘහසේවක අවසරපතින් ඉතාලියේ රැඳීසිටි බෞද්ධ භික්ෂූන්වහන්සේලා ද එවකට වූහ.   


සංක්‍රමණිකයාගේ අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන රැකියා එදා ලැබුණේම නැත. මෙම වාතාවරණය යටතේ බුද්ධිමත් දෙමාපියෝ කළේ තම දූදරුවන් එම වාතාවරණයෙන් මුදාගැනීම සඳහා ඔවුන්ට යහපත් අධ්‍යාපනයක් ලබාදීමය. විවිධ කම්කටොළු මැද ඔවුන්ට එය කළහැකි වූයේ කෙසේද?   


ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා මුලින්ම දේශපාලන පිටියට පා තැබුවේ “ඔව් අපට පුළුවන්” (Yes we can) සටන් පාඨය සමගින්ය. එවකට බොහෝ දෙනෙකුට එම වාක්‍ය මින් පෙර නොඇසූ දේව වාක්‍යයක් බඳු විය. එහෙත් කොට උඩ ගිය “දඬුෆෝඩ්” වාහනයට හොන්ඩා යතුරුපැදියක අමතර කොටසක් පීරි ගා සවිකර ඇන්ජිම යළි පණගැන්වූ ගැරේජ් බාස් ද, යකඩ සොයාගත නුහුණු කළ පොල්පරාල හෝ පුවක් පටි දමා කොන්ක්‍රීට් ගැසූ මේසන් බාස් ද, දර නැති කලට වියළි ගොමරිටිවලින් ලිප දැල්වූ ගමේ අම්මාද, Yes we can කීවේ බරක් ඔබාමාලා උපත ලැබීමටත් බොහෝ කලකට පෙරය. අපි පැවතෙන්නේ එවන් ජාතියකින්ය.   


ඉරුණු වස්තරය අතපිස්නයක් වී මුළුතැන්ගෙට වැදී පාන්කඩයක්වී අතුරුදන් වෙන තුරු වැඩගත්, දන්තාලේප නැති කලට අඟුරුවලින් දතකට මැදගත්, වැටකොළු කරලේ අළුකෙසෙල් ගෙඩියේ ඉවත දමන පොත්ත රසවත් ව්‍යාංජනයක් ලෙස පිගානට ගත්, මැසිමේ පටිය කැඩුණු විට රෙදිපටි අඹරා දමා මැසිම යළි දිවවූ ජාතියක අත්දැකීම් අැති අපට, විදේශකදී අපේ දූදරුවන් ඔසවා තැබීම සඳහා විඳි දුක් කරදර මහ කජ්ජක් නොවීය.   


විදේශයන්හි ජය කොඩි නංවන අපේ දෙවැනි පරම්පරාව මල්පල දරන්නේ පළමු පරම්පරාව හෙලූ දහදිය පොහොර කරගනිමින්ය. විදේශයන්හි අපේ දෙවැනි පරම්පරාවේ සාර්ථකත්වයේ රහස එයයි.   


දෙකයි දෙකයි හතර යන්න ගණිතයේ ආරම්භයේ සිටම පැවත එන බැවින් එය යල් පැනගිය සමීක්ෂණයක් ලෙස සලකා ඉවත දැමිය නොහැකිය. එය සනාතනික සත්‍යයකි. එබැවින් ඇතැම් න්‍යායන් සහ පාඩම් පැරණි වුවද සර්වකාලීන වටිනාකමකින් යුක්තය. අද විදේශයන්හි සිංහ කොඩිය නංවන දූදරුවන් එතැනට පැමිණි ගමන මෙන්ම ඔවුන් එතැනට යොමුකළවුන්ගේ අත්දැකීම් ද ගුරුකොටගතහොත්, අපේ ඉදිරි පරම්පරාවන් ද දැවැන්තයන් අතර දැවැන්තයන් කිරීම කිසිවකුටත් අපහසු නැත.


ක්ලැරන්ස් කොස්තා ෂෙසානෝ, රෝමය, ඉතාලිය.