අපේ කුණු ප්‍රසිද්ධියේ සේදූ ආගමන නිලධාරියාගේ තරම


 

පසුගිය දිනක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් රටට ඇතුල්වීමේදී ආගමන විගමන කවුන්ටර්වල ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීම හේතුවෙන් එහි තදබදය ඇති විය.   


 මේ නිසා නොසන්සුන් බවට පත් ගුවන් මගියෙකු හා නිලධාරී හිඟය වීඩියෝ පටිගත කරමින් සිටි තවත් මගියෙකු සමඟ ආගමන විගමන නිලධාරියකු ඇති කරගත් බහින්බස් වීමක් පිළිබඳ වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය විය. මෙවැනි සිද්ධීන් ගුවන්තොටුපොළ වගකිව යුතු නිලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු කාරණා ය.   


 ගුවන් තොටුපොළකින් රටකට ඇතුළුවීමේ දොරටුව වනාහි එම රට පිළිබඳ පොතේ මුල් පිටුවය. මුල් පිටුව ප්‍රියජනක නොවුණ කල එහි ඇතුළාන්තය පිළිබඳව ද ප්‍රසන්න හැඟීමක් ඇතිවන්නේ නැත. පැය ගණනක ඇතැම් විට දවස් ගණනක ගුවන් ගමනකින් පසුව ගමනාන්තයට ගුවන් මගියා ගොඩබසින්නේ සැනසුම් සුසුමක් ද සමගය. එහෙත් එතැන තවත් ලතවීමක් සිදුවේ නම් මගියා තුළ ඇති වෙන්නේ කළකිරීමකි. ගුවන්තොටුපොළකින් රටකට ඇතුල්වෙන්නේ ස්වදේශිකයන් පමණක්ම නොවේ. විදේශිකයෝද වෙති. ගුවන්තොටුපොළක අකාර්යක්‍ෂමතාවය විදේශිකයෝ දකින්නේ හිරිහැරයක් ලෙසය. මෙය රටක සංචාරක ව්‍යාපාරයට විශාල බාධකයකි. විදේශික සංචාරකයා රටකට නොමිලේ ලබා ගත හැකි ප්‍රචාරයකි. එයින් උපරිම ප්‍රයෝජනය ගැනීමට නොදන්නේ නම් එය අනුවණකමකි.   


 කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් රටට ඇතුළුවීමේ ආගමන විගමන කවුන්ටර සඳහා පෝලිම් දිග ගැසී සිටියදී මන්දගාමීව රාජකාරී කළ එක් නිලධාරියකු පරිගණක අකුරු පුවරුව අසලම තම ජංගම දුරකතනයද තබාගෙන මුහුණු පොත (Face Book) හා සම්බන්ධ වී ඔහේ පාඩුවේ විනෝදවෙමින් සිටීම මමද මගේ සියැසින්ම වරක් දුටුවෙමි. මෙවන් සිද්ධීන් ගුවන්තොටුපොළක් වැනි කාර්යක්‍ෂමව කටයුතු සිදු විය යුතු තැනක සිදු නොවිය යුතු කරුණුය. අද වෙන විට බොහෝ දෙනා ලක්‍ෂ ගණනින් ගුවන් මගීන් එහා මෙහා යන ගුවන්තොටුපොළවල් හරහා ගමන් කර ඇති බැවින් අප රටේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මේ මන්දගාමී බව තේරුම් ගැනීමට දෙවරක් බැලිය යුතු නැත.

   
 අන්තර්ජාලයේ ප්‍රචාරය වූ උක්ත වීඩියෝව සම්බන්ධ ලොකුම විහිලුව වෙන්නේ ශ්‍රී ලංකාවේ ආගමන විගමන නිලධාරියා ඔවුන්ගේ අකාර්යක්‍ෂමතාව පිළිබඳව කිපුණු ගුවන් මගීයාට ඉංග්‍රීසියෙන් බැණ වැදීමය. මෙම නිලධාරියා තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආයුධයක් ලෙස ඉංග්‍රීසිය පාවිච්චි කළා විය යුතුය. නැතිනම් සිංහලෙන් කතා කළ අයෙකුට ඉංග්‍රීසියෙන් බැණ වැදීමට කරුණු නැත. ඒ මොහොතේ එතැන විදේශිකයෝද සිය ගණනින් සිටි බැවින් ආගමන විගමන නිලධාරියා කර ඇත්තේ අපේ කිළිටි රෙදි ප්‍රසිද්ධියේ සේදීමකි. ඒ අපේ ඇතැමෙකුගේ හැටිය. සිංහලෙන් පාලනය කරගත නොහැකි තැන් ඉංග්‍රීසියෙන් පාලනය කර ගැනීමට ද කාලයක් ද තිබුණි. එදා අපේ ඇතැමෙකුට ඉංග්‍රීසි බැරුව තිබුණද අද වෙනවිට තත්ත්වය වෙනස්ය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ නව ආකෘතිය හේතුවෙන් අද රජයේ පාසල්වල ද ඉංග්‍රීසි මාධ්‍ය පංති ඇත. ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙකු පිටරටවල සේවයේය. අද රට තුළ ඉංග්‍රීසි කතා නොකරන්නෝ විරලය. ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට ඉංග්‍රීසි යොදා ගත් කාලය පස්සෙන් ගියේ මීට කලකට පෙරය. එදා ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරියා ගුවන් මගියාගෙන් ලුණු ඇඹුල් ඇතිව ඉංග්‍රීසියෙන්ම අසාගෙන තිබුණි.   


 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදුවුණැයි කියන උක්ත සිද්ධිය සිනාවී අමතක කර දැමීමට හෝ අඩුවෙන් තක්සේරු කිරීමට හෝ කාරණාවක් නොවේ. රටක පොතේ මුල් පිටුව බඳුවූ දේශ සීමා දොරටුව පෙනුමින් පමණක් නොව ක්‍රියාකාරීත්වයෙන්ද අලංකාර විය යුතුය. කටුනායක ගුවන් තොටුපොළ සේවාවන් පිළිබඳව පැමිණිළි ස්වරූපයෙන් කෙරුණු ප්‍රචාරයන් එමටය. මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුය. පාලනයේ අකාර්යක්‍ෂමතාව හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවෙන්නේ මුළු රටටමය. අප විසින් ආරක්‍ෂාකර ගැනීමට වෙරදරන ඊනියා නිලධාරියෙකුට වඩා රටේ ගෞරවය රැක ගැනීම වටින්නේය.   

 

 


අනෝමා ගමලත්   
රෝමය - ඉතාලිය.