අපරාධකරුවන් පහසුවෙන් මෙල්ල කිරීමට ඉතාලි පොලිසියට ටාසර් විදුලි සැර තුවක්කු


අපරාධකරුවන් පහසුවෙන් මෙල්ල කරගැනීම සඳහා විදුලිසැර විඳින අවියක් පර්යේෂණ තත්ත්වයෙන්, ඉතාලියේ ප්‍රධාන නගර දොළසක ආරක්ෂක හමුදාවන් වෙත නිකුත් කර ඇත. පිස්තෝලයකට යම් තරමකින් සමාන මෙම අවිය කොපුවක බහා බඳපටියේ පැළඳගත හැකිවෙන අයුරින් බර අඩු ලෙස නිෂ්පාදනය වූවකි. මෙම පිස්තෝලයෙන් මීටර් අටක් දුරට නිකුත් කරනු ලබන අධිවිදුලි සැරයෙන් අපරාධකරුවකු තත්පර පහත් හයත් අතර කාලයක් අඩපණ කරයි. ශරීර සෞඛ්‍යට අනතුරුද‌ායක නොවෙන ප්‍රමාණයෙන් විදුලි සැරයක් නිකුත් කරන මෙම පිස්තෝලය කහ පැහැයෙන් නිමකර ඇත.   


මෙම විදුලි අවිය පිළිබඳව එය භාවිත කරනු ලබන ආරක්ෂක නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදී ඇත. අපරාධකරුවකු මෙල්ල කරගැනීමේ අවසන්   
විසඳුම ලෙස මිස, ඉන් බාහිර ආකාරයෙන් මෙම අවිය පාවිච්චි කිරීම ආරක්ෂක නිලධාරියකුට වුවද සපුරා තහනම් ය. අපරාධකරුවකු මෙල්ල කරගැනීම සඳහා මෙම අවියෙන් විදුලි සැර විඳිය යුතු ශරීරයේ නිල පිළිබඳව ද මෙම නිලධාරීන් දැනුම්වත් කර ඇත.   


විදුලි සැර විඳින මෙම අවිය පර්යේෂණ තත්ත්වයෙන් ඉතාලි ආරක්ෂක අංශ වෙත නිකුත් කිරීමට නියමිතව තිබුණේ 2014 වසරේදීය. එහෙත් මෙම අවිය භාවිතය පිළිබඳව විවිධ පාර්ශ්වයන් විසින් දක්වන ලද විරෝධතා හේතුවෙන් මේ දක්වා එය කල්දැමීමට ඉතාලි රජයට සිදුවිය.   


මරණීය තර්ජන ගෙන නොදෙන ප්‍රමාණයෙන් විශේෂ අවියක් මගින් විදුලි සැර විඳ ප්‍රතිවාදීන් අඩපණ කර මෙල්ල කිරීමේ ක්‍රමවේදයක්, ඉංග්‍රීසි ජාතික ලේඛක තෝමස් ඒ ස්විෆ්ට් විසින් ලියන ලද “වැඩිහිටි තරුණයා” නම් වූ නවකතාවක සඳහන් කර තිබුණෙ 1911 දීය. එනම් මීට වසර 107කට පෙර ය. ඒ අනුව යමින්, Thomas A. Swift's Electric Rifle යන්නෙහි මුල් අකුරු පමණක් එකට ඈඳමින් මෙම අවිය “ටාසර්” (TASER) ලෙස නම්කර ඇත.   

 

 


කල්ප ගුරුගේ   
මිලානෝ.