අන්තිම භෝජන සංග්‍රහය


 

එවකට මගේ වයස අවුරුදු හතක් පමණ විය. 1945 ඔක්තෝබර් මස දහතුන්වැනි දින රෝමයේදී නාසි හමුදා භාරයට පත් අප දුම්රිය මගින් පෝලන්තයේ අඋෂ්විට්ස් නාසි වදකාගාරය වෙත ගෙන ආහ. එතැනදී පිරිමින්ගෙන් කාන්තාවන් ද වැඩිහිටියන්ගෙන් ළමුන් ද වෙන්කරනු ලදුව, කඳවුරුගත කළහ. මගේ මව පියා සොහොයුරිය සහ මා වෙන්කරනු ලැබුවේ එලෙස ය.   


අඋෂ්විට්ස් කඳවුරේ ගත කළ තෙවැනි දින අප බාලයන් වාතාශ්‍රය ලබාදීම සඳහා කඳවුරෙන් පිටත ගාල් කළහ. අපට නීරස වියළි පාන් කැබැල්ල බැගින් ද අපිරිසිදු කෝප්පයකට වතුර ස්වල්පයක් ද දී තිබුණි. අපට නුදුරින් වූ කඳවුරක් ඉදිරිපිට ද තවත් අප වැනිම වූ එහෙත් ගැහැනු ළමුන් පිරිසක් සිටියහ. ඔවුන්ගෙන් එකියක අපට අතවනමින් සිටියා ය. ඒ මගේ සහෝදරිය බව පසුව මම හඳුනා ගතිමි. දුරදී වුව ද ඇසිල්ලකින් ඇය මා හඳුනාගත් නමුදු, මට මඳ වේලාවක් යනතුරු ඇය හඳුනා ගැනීම අපහසුව තිබුණි.   


මගේ සහෝදරියගේ දිගුව තිබුණු කෙස් කළඹ මුඩුකර තිබුණු අතර, ඇය වැහැරී සිටියා ය. මගේ සහෝදරිය දෙස මඳ වේලාවක් බලා සිටි මම මා අත වූ පාන් කැබැල්ල ඇය දෙසට හැකි වේගයෙන් විසි කළෙමි. ඇය මඳක් ඉදිරියට පැමිණ එය අහුලා ගත්තා ය. ඉන්පසුව මා වැළඳගන්නා ආකාරයක් අභිනයෙන් පෙන්වූවා ය. මඳ වේලාවක් එසේ සිටි ඇය මා විසින් ඇය දෙසට විසිකරන ලද පාන් කැබැල්ල යළි මා දෙසට ම විසි කළා ය. මම ද එය අහුලා ගැනීම සඳහා මඳක් ඉදිරියට ගියෙමි. එතැන මගේ පාන් කැබැල්ලට අමතරව ඇයට දී තිබුණු පාන් කැබැල්ල ද විය.   


ඊට පසු දින ද අපි දුටුවෙමු. එහෙත් ඉන් පසු කිසි දිනෙක මම ඇය නොදුටිමි.   


පෝලන්තයේ අඋෂ්විට්ස් නාසි වදකාගාරයෙන් දිවි බේරාගත් ජුද‌ා ජාතිකයකුගේ කතාවකින් උපුටාගත් කොටසකි.   


රසීකලා  - රෝමය, ඉතාලිය.