අඟහරු ගමනට මිනිසා සූදානම්වෙන අවසන් පර්​ෙ‌ය්ෂණ අභ්‍යවකාශයේදී


 

 

ජුලි මස විසිඑක්වැනිදාට, මිනිසා ප්‍රථම වරට සඳ මත පා තබා අඩ සියවසක් ගතවිය. මේ නිමිත්තෙන් බොහෝ රටවල “සඳ දිනය” නමින් සැමරුම් පැවැත්වුණි. මේ සැමරුම් අතර, රුසියානු සෝයුස් අභ්‍යවකාශ වැඩසටහන යටතේ අභ්‍යවකාශගාමීන් තිදෙනකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්කර හරින ලදී. රුසියානුවකු ඇමෙරිකානුවකු ඇතුළු මෙම කණ්ඩාමේ නායකත්වය දරන්නේ, ඉතාලි ජාතික පළපුරුදු අභ්‍යවකාශගාමියකු වන ලූකා පර්මිතානෝ ය. 


ජාත්‍යන්තර අභ්‍යවකාශගාමීන් අභ්‍යවකාශගත කිරීම සඳහා මෙවර යොදාගන්නා ලද සෝයුස් යානය මීටර පනස්දෙකක් උස් වූ අතර ගුරුත්වාකර්ෂණයෙන් මිදී ගුවන්ගත වීම සඳහා ටොන් දෙසීයක ඉන්ධන ප්‍රමාණයක් දහනය කිරීමට සිදුවිය. යානය අභ්‍යවකාශගත කිරීමේදී සිදුවූ කම්පනය, අට්ටාල මධ්‍යයේ සිට කි.මී. අටක විශ්කම්භිත භූමි ප්‍රදේශයකට දැණුනු බව වාර්තා වේ. යානයේ ගමන් වේගය පැයට කි.මී. විසිඅටදහස් අටසීයකි. මෙම රොකට්ටුව කසකස්ථානයේ මයිකොනූර්හි අභ්‍යවකාශ යානා අභ්‍යවකාශගත කෙරෙන අට්ටාලයෙන් අභ්‍යවකාශගත කෙරුණු අතර, 1961 දී සෝවියට් ජාතික යූරි ගගාරින් ප්‍රථමවරට අභ්‍යවකාශගත වූවේ ද මෙම අට්ටාලයෙන් ය. 


මෙවර අභ්‍යවකාශගත වූ අභ්‍යවකාශගාමීන් තිදෙන දින දෙසීයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින්, විවිධ පර්යේෂණ දෙසීයක් පමණ කිරීමට නියමිතය. 2021 වසරේ මිනිසකු අඟහරු මත පා තැබීමේ ඉලක්කය සපුරාගැනීම සඳහා කෙරෙන විශේෂ පර්යේෂණයන් කීපයක් ද මේ අතර වේ. 


පෘතුවියේ සිට අඟහරු ග්‍රහයා දක්වා ඇති දුර සහ ඒ ගමන සඳහා ගතවෙන කාලය පිළිබඳව සිතීමේදී, අද පවතින අභ්‍යවකාශ තාක්ෂණයට අනුව එක පිම්මේ ගමනකට මිනිස් ශරීරය ඔරොත්තු දෙන්නේ නැත. මේ පිළිබඳව ඉදිරිපත්ව ඇති විකල්ප අතර, අතරමග නැවතුම්පොළක් පිළිබඳ සැලසුම් ද ඇත. ඒ අතරම මෙම දීර්ඝ ගමන මිනිස් ශරීරයට කෙසේ ඔරොත්තු දේ ද යන්න පිළිබඳව තවමත් නිසි හෙළිදරව්වක් නැත. ඉදිරි දින දෙසීය තුළ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කෙරෙන පර්යේෂණ මගින් මේ ප්‍රශ්නයන්ට නිසි පිළිතුරු ලැබේ යයි විශ්වාසයක් ඇත. 


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇමෙරිකානු රුසියානු සාමූහික ව්‍යාපෘතියක් මගින් 1999 දී කොටස් වශයෙන් අභ්‍යවකාශගත කර, එකිනෙක නැවත පුරුද්දන ලද්දකි. මෙය නිරක්ෂයට අංශක පනස්එකයි දශම හයක කෝණයකට පෘතුවියේ සිට කි.මී. තුන්සිය විසිපහත් කි.මී. හාරසිය පහත් අතර කක්ෂයක ස්ථානගත කර ඇත. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දිග මීටර එකසිය අටයි දශම හයක් වෙන අතර, එහි පළල මීටර අසූඅටකි. අභ්‍යවකාශගාමීන්ගේ නවාතැන් පහසුකම් සහ පර්යේෂන පහසුකම් සඳහා වෙන්ව ඇති වපසරිය වර්ග මීටර එක්දහස් දෙසීයකි. මුළු බර ටොන් හාරසිය විසිහයකි. වරකට අභ්‍යවකාශගාමීන් හයදෙනකුට නවාතැන් පහසුකම් ලැබිය හැකිය. ගමන් වේගය පැයට කි.මී. විසිඅටදහසකි. සූර්ය තාපය යානයට බලය සැපයීම සඳහා යොදාගැනේ. 

 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා. 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.