72 වැනි නිදහස් දිනය වෙනුවෙන් සෞදි නැගෙනහිර සැමරුම් උළෙල


 

ශ්‍රී ලංකාවේ 72 නිදහස් දින සැමරීම සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් පසුගියදා අල් කොබාර් ගෝල්ඩන් ටියුලිප් හෝටල් සංකීර්ණයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. නැගෙනහිර තානාපති ජංගම සේවාවට සමගාමීව පැවැත්වුණ මෙම නිදහස් සමරු උළෙල වෙනුවෙන් රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙක්ම සහභාගි වී සිටි අතර විශේෂ ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ෆසිල් ෆාරුක් මහතා ද කම්කරු උපදේශක මාදව දේශප්‍රිය මහතා ද සහභාගි විය.   


අභිමානවත් ජාතියක ප්‍රෞඪත්වය විදහාලමින් තානාපති කාර්යාලයේ විශේෂ ආරාධිත නිලධාරින් විසින් ශ්‍රී ලංකා ජාතික ධජය එසවීමෙන් සහ ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව චිරාගත පොල්තෙන් පහන දැල්වීමෙන් ආරම්භ වූ සැමරුම් උළෙලේ ශ්‍රී ලංකා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් කරනලද නිදහස් පණිවුඩය වීඩියෝ දර්ශන පථයක් මගින් නැරඹීමට සංසදය (SLCC) විසින් කටයුතු යොදා තිබූ අතර රියාද් තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සහ දූත මණ්ඩල ප්‍රධානි මධුක වික්‍රමාරච්චි මහතා විසින් එවන ලද නිදහස් පණිවුඩය කම්කරු උපදේශක මාදව දේශප්‍රිය මහතා විසින් කියවන ලද්දේ ඉන් අනතුරුවය. මාතෘ භූමියට නිදහස ලබා ගැනීම උදෙසා සටන් වැදි සියලුම ජාතික වීරවරයන් සිහිපත් කරමින් ඔවුන් කරන ලද මාහැඟි කාර්යභාරය වෙනුවෙන් මාදව දේශප්‍රිය මහතා විසින් කෙටි හැඳින්වීමක් ද සිදු කරන ලදී.   


මෙම සැමරුම් උළෙලේ දී විශේෂ දේශකයින් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාවේ නිදහස සඳහා උරදුන් සියලු විරුවන් මෙන්ම තිස් වසරක කුරිරු යුද්ධය වෙනුවෙන් කැපවුණු රණවිරුවන් හට ද ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු බව ද පැවැසීය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මවුබිම නිදහස් කර ගැනීමට උරදුන් විරුවන් පිළිබඳව විශේෂ දේශනයක් ලාල් ප්‍රේමානන්ද මහතා විසින් පවත්වන ලදී.   


මෙම සැමරුම් උළෙල සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් උපාලි මහතා සහ ආරාධිතයින් කිහිප දෙනෙක්ම සහභාගි වූ අතර නැගෙනහිර කලාපීය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදයේ (SLCC) සාමාජිකයින් සියලු දෙනාම සහභාගිවී සිටියහ.   

 


ලලිත් ප්‍රේමලාල්   
දමාම් සිට.