මිලිටරි පාලනයට එරෙහිව අරගල කර දිවි පිදූ හයිටි රාජ්‍යයේ ෆ්රියට්ස් ඩෝර්


ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 13

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැවිනි. හයිටි රාජ්‍යය තුළ ක්‍රියාත්මක වූ මිලිටරි පාලනයට එරෙහිව අරගල කළ ෆ්රියට්ස් ඩෝර් ද එවැනි සහෘදයෙකි.


ස්ව රාජ්‍යයේ ප්‍රජාතන්තවාදය නගා සිටුවීම වෙනුවෙන් අරගල කළ හයිටි ඇමෙරිකානු ජනමාධ්‍යවේදියෙකු වන ඩෝර්, 1991 වසරේදී වෙඩි තබා ඝාතනයට ලක් වුයේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමිහිදීය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 38 ක් වූවා පමණි. මීට හේතු වූයේද හයිටි රාජ්‍යයේ නායකත්වය සඳහා ඉදිරිපත් වූ ජීන්-බර්ට්රවන්ඞ් ඇරිස්ටයිඞ් වෙනුවෙන් ඔහු තම සහාය දැක්වීමයි. කෙසේ වෙතත් මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි දේශපාලන ක්‍රියාදරයන්ගේ විශ්වාසය වූයේ ඩෝර් යනු හයිටි රාජ්‍යයේ හදවත (The Heart Of The Community) බවයි. ජෙනරාල් රාඕල් සෙඞ්රාදස්ගේ මිලිටරි පාලනය පෙරළා දමා හයිටි රාජ්‍යයේ ප්‍රජාතන්තවාදී ලෙස බිහි වූ පළමු රාජ්‍ය නායකයා තෝරා පත් කර ගැනීමට ඔහු දැක්වූ ප්‍රබල මාධ්‍ය දායකත්වය මීට හේතු විණ.


හයිටි ඇමෙරිකා දේශපාලන සංවිධානයක් වූ .'Veye Yo' . හිද ක්‍රියාකාරී සාමාජිකයකු වන ඔහු, ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ 'WLQY-AM' ^1320& (නිවේදකයා වශයෙන් මෙම ගුවන් විදුලි දායකත්වය ලබා දුන් අතර ඒ හරහා අති විශාල ප්‍රසාදයක්ද දිනා ගත්තේ ඊට පෙර සරණාගත කඳවුරුවල අධ්‍යක්ෂවරයකු ලෙසද, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි තරුණයෙකු ලෙසද තමන් ලද අත්දැකීම් මනාව භාවිතා කරමිනි.


දේශපාලන විචාරකයකු ලෙසද, අධ්‍යාපනික වැඩසටහන් සඳහා දායකත්වය දක්වන්නෙකු ලෙසද සිය මාධ්‍ය මෙහෙවර දිගින් දිගටම ඉටු කළ ඔහුට, මරණ තර්ජන ගලා එන්නට පටන් ගත්තේ මේ අතරතුරයි. රජයේ මිලිටරි පාලනය විවේචනය කිරීම හේතුවෙන් කිසිදු පුරවැසි ආරක්ෂාවක් පවා නොලද ඩෝර්, 1991 වසරේ මාර්තු මස 15 වැනිදා ඝාතනයට ලක් වන්නේ මෙවැනි පසුබිමකයි. ඒ මංකොල්ලයක් සඳහාද චෝදනා ලැබ සිටි බිලී ඇලෙක්සැන්ඩර් නම් කුරිරු ඝාතකයාගේ තුවක්කුවට ගොදුරු වෙමිනි. ඇමෙරිකානු ඩොලර් 2000ක ලංසුවකට උණ්ඩ හතරකට ඔහුගේ ජීවිතය තීන්දු වන්නේ මේ නිසාවෙනි.


1977 වසරේ සිට මේ අනුව වෙන්දේසි වූ 11 වැනි ජනමාධ්‍යවේදියා ලෙසද ඩෝර්ගේ ජීවිතය සැලැකෙන අතර ජෙනරාල් රාඕල් සෙඞ්රාඅස්ගේ මිලිටරි පාලනය තුළ ඝාතනයට ලක් වූ දෙවැනි ජනමාධ්‍යවේදියාද ඔහුයි. ඒ 1991 වසරේදීම පෙබරවාරි මස 18 වැනිදා ජෝන්-ක්ලවුඞ් ඔලිව්ර් මේ අයුරින්ම ඝාතනයට ලක් වූ බැවිනි. හයිටි රාජ්‍යය තුළ ඔවුන්ගේ ඝාතනවලට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය වූයේ මේ හේතුවෙනි. 


දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණ සිටි එම පා ගමනේදී උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ ඩෝර් සහ ඔලිවර්ගේ ඝාතකයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත්, මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන ලෙසත්ය.   


එකල මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හයිටි ජනමාධ්‍යවේදීන්ගේ හිටපු සභාපති ජේම්ස් මොන්රෝයි පැවසුවේ ජනාධිපති අපේක්ෂක ඇරිස්ටයිඞ් වෙනුවෙන් හඬ අවදි වූ සෑම අවස්ථාවකදීම ජනමාධ්‍යවේදීන්ට මරණ තර්ජන පැමිණි බවයි. කෙසේ වෙතත් හයිටි සරණාගත මධ්‍යස්ථානයේ නීතිඥ ස්ටීවන් ෆොරස්ටර් පැවසුවේ කියුබානු සම්බවයක් සහිත හයිටි වාසීන්ට ඇමෙරිකානු නායකයන් කවදත් සැලකුවේ මෙලෙස බවත්, ඔවුන් ජාතිකත්වයට මුල්තැන දෙන බවත්, මෙම ඝාතනය සඳහා හයිටි රාජ්‍යයේ පැවැති කළු - සුදු වර්ණ භේදවාදය පවා බලපෑ බවත්ය. 


එබැවින් 1982 වසරේ පටන් ඇමෙරිකාව තුළ ඝාතනයට ලක්වූ බොහෝ මාධ්‍ය ඝාතන තවමත් විසඳා නොමැති අතර ‘ඩෝර් සිදුකළ වචන භාවිතාව මෙම ඝාතනයට හේතු වී ඇති බව’ මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ රහස් පරීක්ෂක රොන් ඉහාඞ්ට් පැවසීමම මීට කදිම සාක්ෂියකි.


තම සුරක්ෂිතතාව සලකුණු කර ගනු වස් තවමත් ජනමාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ගැඹුරු නිරීක්ෂණයක පසුවන්නේ එබැවිනි.

 


මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි