මැතිවරණ සටනේ අන්දමන්ද වැඩ


දෙසැම්බර් 03 වැනිදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනවාරි 08 වැනිදායින් පසුවත් මමයි ජනාධිපති යනුවෙන් ප්‍රකාශ කළේය. එහිදී තවදුරටත් කතා කළ එතුමා එක්කෙනකුගේ ඕනෑකමට හාල් මිල පාලනය කළා යනුවෙන් පැවසීය. සැබවින්ම ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශය විග්‍රහ කළ කල එයද ජනාධිපතිතුමා ෆයිල් සඟවාගෙන සිටීමත් වරදක් යනුවෙන් රෙජිනෝල්ඞ් කුරේ ඇමතිතුමා කළ ප්‍රකාශයට සමාන විය. ඉන් පෙනී යන්නේ රටේ ජනාධිපතිවරයා ලෙස රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරයේ මිල පාලනය කිරීමට හැකියාව තිබියදීත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තම වගකීම වසර 09 ක් පුරා පැහැරහැර ඇති බව නොවේද? 

මේ අතර දෙසැම්බර් 04 වැනිදා මාතර පැවැති පොදු අපේක්ෂක ජන රැලියට මාතර මහ නගර සභාවේ නගරාධිපති රාජ් චන්ද්‍රලාල් සහභාගි වුවත් පුදුමයකට මෙන් පසුදින අරලියගහ මැදුරේදී ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය පළකරන රූපරාමුවක් මාධ්‍යයට නිකුත් විය. රාජ් චන්ද්‍රලාල් නගරාධිපතිවරයාගේ මෙම හැසිරීම තුළින් විද්‍යමාන වූ කරුණු අතර ශ්‍රීලනිපයෙන් ඉවත්ව පොදු අපේක්ෂකයාට එක්වීමට ඇති පීඩනය මෙන්ම ආසයි බයයි මානසික තත්ත්වයද මැනවින් පෙන්නුම් කරයි.


මැතිවරණ කොමසාරිස්වරයාට අනුව ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා බාර ගැනීම සිදුවූයේ දෙසැම්බර් 08 වැනිදාය. දෙසැම්බර් 9 වැනිදා පෙරවරුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 17 කින් හා ස්වාධීන අපේක්ෂකයෝ දෙදෙනක් ලෙස 19 දෙනක් ඉදිරිපත්ව සිටියහ. නාමයෝජනා බාරදෙන ස්ථානයේදී නොවැම්බර් 20 වැනිදායින් පසු පළමුවරට මහින්ද රාජපක්ෂ මැතිතුමා හා මෛත්‍රී ඇමතිතුමා එකිනෙකා මුණගැසුණු අතර එහිදී මහින්ද ජනාධිපතිතුමා මෛත්‍රී ඇමතිතුමා වෙත අතට අතදී සුහදතාව පළකිරීමට සැරසෙද්දී ක්ෂණිකව මෛත්‍රී ඇමතිතුමා සිය දෑත එක්කොට ආයුබෝවන් කීම බොහෝදෙනකුගේ අවධානයට යොමුවූ කරුණකි.


පෙර දින රාත්‍රී අප රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලය ආසන්නයට පන්දහසක පිරිසක් කැඳවීමට අවශ්‍ය පියවර ගත්තද ඊට සහභාගි වූයේ ඊට අඩු පිරිසකි. විශේෂයෙන්ම ජාතික හෙළ උරුමය ජාතික කොඩිය අතැතිව යම් පිරිසක් එම ස්ථානයට සම්බන්ධ කළද එජාපය දෙසින් ඊට සහභාගි වූ පිරිස අපේක්ෂා කළ මට්ටමට වඩා බොහෝ සෙයින් අඩුවිය.


නාමයෝජනා බාරදීම ආශ්‍රිතව එදින මැතිවරණ මහ ලේකම් කාර්යාලය අසලදී පොදු අපේක්ෂක නාමයෝජනා බාරදීමෙන් පසුව පිටතට පැමිණෙන අවස්ථාවේදී මෛත්‍රී ඇමතිතුමා පිළිගැනීමට අදාළ කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් වූ අවසන් සාකච්ඡාව දෙසැම්බර් 07 වැනි දින රාත්‍රියේ විජේරාම නිවසේදී සිදුකරන ලදී. ඊට එජාපය නියෝජනය කරමින් රවී කරුණානායක හා විජේදාස රාජපක්ෂ මහත්වරුන් සහභාගි වූ අතර හෙළ උරුමය නියෝජනය කරමින් චම්පික ඇමතිතුමා, නිශාන්ත වර්ණසිංහ මෙන්ම පරණවිතාන හා මා ඇතුළු පිරිසක් සහභාගි වූහ. එම අවස්ථාවට අවශ්‍ය සිංහ කොඩි සහ ජනතාව එක්රැස් කිරීමේ වගකීමෙන් කොටසක් දැරීමට හෙළ උරුමය ඉදිරිපත් වූ අතර තම පාක්ෂිකයන් හා ආධාරකරුවන් 5000ක් සහභාගී කරවීමට තමා සැලසුම් කර ඇතැයි රවී කරුණානායක මහතා කියා සිටියේය. එහෙත් සැබවින්ම හෙළ උරුම ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වුවද රවි කරුණානායක මහතා කියූ පිරිස එලෙසම සහභාගි වූයේ නැත. මේ අතර ඊට පෙර දෙසැම්බර් 06 වැනිදා පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් මෛත්‍රී ඇමතිතුමා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබුණි.


නාමයෝජනා බාරදීම පිණිස ඉහත සඳහන් කබීර් ද සහභාගි විය. ඔහු නාමයෝජනා බාරදීමට ගියේ අපේක්ෂකයකුවූ වෛද්‍ය ඉල්ලියාස් මහතා සමගය. ජංගම දුරකථන නාමයෝජනා බාරදෙන ශාලාවට රැගෙන යාම තහනම් වුවද එය නොදැන තම දුරකථනය කබීර් රැගෙන ගිය අතර කිසිවකුත් එය නතර කළේද නැත. ශාලාව තුළ කබීර් සිටින විට ඔහුගේ දුරකථනයට එක දිගටම ඇමතුම් ලැබෙන්නට විය. අවසානයේ ඔහු එම දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වීය. ඇමතුම අසාද් සාලිගෙනි. අසාද් සාලිට අවශ්‍ය වූයේ මෛත්‍රී ඇමතිතුමාට අත්‍යවශ්‍ය පණිවුඩයක් ලබාදීමය. නමුත් කබීර් කියා සිටියේ මෙම අවස්ථාවේදී එතුමාට දුරකථනය ලබාදීමට නොහැකි බවත් අවශ්‍ය පණිවුඩයක් වේ නම් ලබාදිය හැකි බවත්ය. ඒ අනුව අසාද් සාලි කියා සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තිරුපති දේවාලයෙන් ලබාගත් අතිවිශේෂ තෙලක් දෑතෙහි තවරාගෙන සිටින බවත් එම නිසා මෛත්‍රී ඇමතිතුමාට අතට අත දීමට පැමිණියහොත් ඉන් වළකින ලෙස වහාම දන්වන ලෙසත්ය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කබීර් මෛත්‍රී ඇමතිතුමා වෙතට ගොස් මෙම තොරතුර ලබාදුන්නේය.


මේ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නාමයෝජනා ලබාදීමට පැමිණ සිටියේ නැත. අන් සියලු අපේක්ෂකයන් සිය නාමයෝජනා බාරදී අවසානයේ මහත් විරාජමානව එතුමා සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග එම පරිශ්‍රය තුළට ඇතුළු වී මැතිවරණ කොමසාරිස්වරයාගේ මේසයටද පිටුපසින් ගොස් සුමනදාසගේ නැකතට හා දිශාවට අනුව සිය නාමයෝජනා පත්‍රය බාරදුන්නේය. එතැන් පටන් විරෝධතා සඳහා වෙන්වූ කාලය ද අවසන් වනතුරු එතුමා සිය අසුනෙහි අසුන්ගෙන සිටි අතර විරෝධතා කාලය අවසන් වී නාමයෝජනා ක්‍රියාවලිය හා ජනාධිපතිවරණ ක්‍රියාවලිය පිළිබඳ කොමසාරිස්වරයාගේ දේශනය අවසන් වනවාත් සමගම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ක්ෂණිකව ඉන් පිටතට ගොස් ‘වොෂ් රූම්’ වෙත ගියේය. දැන් මේ සිදුවන සියල්ල මෛත්‍රී ඇමතිතුමා හා කබීර් හොඳින් අධ්‍යයනය කරමින් සිටී. ඒ අනුව නැවතත් ඉතා සුළු වේලාවකින් එම පරිශ්‍රය තුළට ජනාධිපතිතුමා පැමිණෙනවිට සියලුදෙනාම අසුන්වලින් නැගිට සුහද කතාබහක යෙදෙමින් සිටියහ. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්වරම විජේදාස රාජපක්ෂ හා මෛත්‍රී ඇමතිතුමා සිටින ස්ථානයට ළඟාවිය. එහිදී ජනාධිපතිතුමා විජේදාස රාජපක්ෂ මහතා අමතමින් කියා සිටියේ ‘ඕගොල්ලො අපේ ලේකම්ව නාමයෝජනා දෙන්න ගෙනාවා. ඒ වුණාට ඕගොල්ලන්ගෙ ලේකම් නෑ කියල අන්න හැමෝම එළියෙ හොයනව’ යනුවෙන් පවසමින් මෛත්‍රී ඇමතිතුමාට අතට අතදීමට ජනාධිපතිතුමා උත්සාහ ගත්තේය. එහෙත් ඊට පෙර ක්‍රියාත්මක වූ මෛත්‍රී ඇමතිතුමා තම දෑත සිය පපුවට තදවන පරිදි දෑත් එක්කර ආචාර කළේය. ඒ අනුව මෛත්‍රී ඇමතිතුමාගේ දෑතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෑතත් අතර දුර ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයකි. ජනාධිපතිතුමාට මෛත්‍රී ඇමතිතුමාගේ දෑත ස්පර්ශ කිරීමට අවස්ථාවක් උදා නොවුණි.


නාමයෝජනා බාරදී පළමුව මැතිවරණ කාර්යාලයෙන් ඉවතට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහා ජයග්‍රාහී ලීලාවකින් මාධ්‍ය හමුවේ පෙනී සිටියේය. මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරිපිට තිබූ කුඩා වේදිකාවකට ගොඩවූ එතුමා මෙසේ කීය. “මෙහෙ මහ ලේකම් එහෙට යනකොට එහෙ මහ ලේකම් මෙහෙට ගන්න එක මේ රාජපක්ෂලාට මහ ලොකු කජ්ජක් නොවේ යනුවෙන් පැවසීය.”

මේ වනවිට තිස්ස අත්තනායක මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකර ඇති බවට මාධ්‍ය වාර්තා පළවී හමාරය. තිස්ස සමගම සරත් ෆොන්සේකා මහතා හැරදමා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩද අරලියගහ මැදුරේය. තම තීරණය සාධාරණීයකරණය කළ තිස්ස අත්තනායක මහතාට තිබූ එකම නිදහසට හේතුව ලෙස කියා සිටියේ මේ තීන්දුවට මා තල්ලු කළේ මලික්, රවී, මංගල කල්ලිය විසින් බවයි.


භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් පසු එම අවමගුල් උත්සවයට සහභාගිවීම සඳහා චන්ද්‍රිකා මැතිනිය පැමිණීමත් සමගම හිරුණිකා හා ඇයගේ මව චන්ද්‍රිකා මැතිනියත් සමග යළිත් සබඳතා ගොඩනගා ගත්හ. මේ අතර නොවැම්බර් 21 වැනිදායින් දින කිහිපයකට පසුව හිරුණිකා හා ඇයගේ මව කබීර් සමග ප්‍රකාශකර තිබුණේ තමන්ද මෙම සටනට එක්වීමට සූදානමින් සිටින බවය. ඒ අනුව ඔවුන් එලෙස ප්‍රකාශ කළ දිනයේම රාත්‍රියේ කබීර් කැප්පෙටිපොළ මාවතේ පිහිටි හිරුණිකාගේ නිවසට ගොස් කබීර්ගේ මෝටර් රථයෙන්ම නිදහස් මාවතේ චන්ද්‍රිකා මැතිනියගේ නිවස වෙත ඔවුන් කැඳවාගෙන පැමිණියේය. එම හමුවේදී හිරුණිකා හා මව මෛත්‍රී ඇමතිතුමාට සහයෝගය පළකිරීමට ඔවුන්ගේ කැමැත්ත පළකළහ.

 

 

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්