ජාතික ආණ්ඩුවට කුමාර වෙල්ගමගේ විරෝධය


රාජිත ඇමතිතුමා හා එතුමාගේ බිරිඳ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය සම්බන්ධයෙන් ද රසවත් කථාවක් ඇත. ජනාධිපතිවරණයෙන් පසුව මෛත්‍රී ජනාධිපතිතුමා රාජිත ඇමතිතුමාට පවසා ඇත්තේ නිල නිවාස අතරින් වඩා හොඳම නිල නිවසක් තිබෙන්නේ බෞද්ධාලෝක මාවතේ ස්ටැන්මෝ චන්ද්‍රවංකය ආශ්‍රිත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු නිවස වන නිසා ‘ඩොක්ටර් ඔයා ඒකට යන්න’ කියාය.

ජනාධිපතිතුමාගෙන් ලැබුණු එම අවසරයත් සමඟ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය එම නිවස බැලීමට එහි ගියේලු. කෙසේ වෙතත් එතුමිය නැවත පැමිණ රාජිත ඇමතිතුමාට පවසා ඇත්තේ ‘අනේ රාජිත මට නම් බෑ ඒ ගෙදරට යන්න. අතුරුදහන් කරපු මිනිස්සුන්ව ඒ ගෙදර ඉන්න මෝරුන්ටලු කන්න දාල තියෙන්නේ’ යනුවෙන් පවසා ඇත. ඒ අනුව ඒ පිළිබඳ තවදුරටත් කරුණු විමසූ රාජිත ඇමතිතුමාට දැනගන්නට ලැබී ඇත්තේ එතුමාගේ බිරිඳ සමඟ එහි ගිය ඇමති ආරක්ෂකයන්ට නිවස භාරව සිටි පිරිස විහිළුවට මෙන් පවසා ඇත්තේ මෙහි සිටින මෝරුන්ට කන්නට දෙන්නේ සුදු වෑන්වලින් උස්සන මිනිසුන් බවකි. සැබවින්ම එය විහිළුවට කියූ කථාවකි.


එය එසේ නමුත් මෝරුන් මාංශ භක්ෂකවීම හේතුවෙන් දිනකට විශාල මාංශ ප්‍රමාණයක් මෝරුන්ට ලබා දිය යුතුය. හේතු ගණනාවක් නිසාම ලෝකයේ මෝරුන් විනෝදයට ඇතිකරන්නේ ඉතාමත් සීමිත ධනවත් සුළු පිරිසක් පමණි. තවද, හිට්ලර් ඇතුළු ලෝකයේ සමහර පාලකයින් හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් මෝරුන් සුරතලයට ඇති කළ බවත් මෝරුන්ට සජීවි මාළුන් දමා උන් ඒවා තරගකාරී ලෙස බුදින ආකාරය ආස්වාදනීය ලෙස නැරඹූ බවත් සමහර ඉතිහාස කථා තුළ දැක්වේ.


මීට අනුබද්ධිත තවත් කථාවක් ද ඇත. එනම් වරක් ඊඊක්‍ පුවත් සේවයේ වාර්තාකරුවකු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම නිල නිවසේ දී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇත. එම කාර්යය අවසානයේ මෙම මාධ්‍යකරුවා ඉතා සුහදශීලීව විමසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විනෝදාංශ මොනවාද යන්න ය. එවිට එතුමාගේ විනෝදාංශ වශයෙන් මාධ්‍යකරුට පෙන්වා ඇත්තේ තම නිවස පිටුපස ගැටගසා ඇති අලි පැටවුන් දෙදෙනා රැකබලා ගැනීම හා මාළු ටැංකියේ සිටින ‘මෝරුන්ට’ කෑම දැමීමත්ය. මෝරුන්ට බොහෝ විට දැමිය යුත්තේ පණ පිටින් සිටින මාළුන්ය. රාජපක්ෂ මහතා ජීවිතයේ සඟවාගත යුතු යමක් ඊඊක්‍ වාර්තාකරුට හෙළිකර හමාරය. ඒ අනුව එම වාර්තාකරුවා මේ සියල්ල ලොවට හෙළි කළේ ජාත්‍යන්තර මාධ්‍ය සාදාචාරයන්ට ද අනුකූලවය.


මේ අතර 2015 පෙබරවාරි 17 වැනිදා යම් සුවිශේෂී දිනයක් විය. කුරුවිට නගර මධ්‍යයේ නාලන්ද පිළිරුව ඉදිරිපිට පැවැත්වෙන 18 වැනි නාලන්ද එල්ලාවල ගුණ සමරුවට සහභාගීවීම සඳහා මම එහි ගියෙමි. නාලන්දගේ එකම සොහොයුරිය මට ඊට සහභාගි වන ලෙස ආරාධනයකර තිබුණි. එහි ගිය මට ජනාධිපතිවරණයෙන් පසු පළමු වරට ඩලස් ඇමතිතුමා මුණගැසුණි. පසුව රාත්‍රියේ මම රත්නපුර බටුවිට පිහිටි නිවසට ගියෙමි. එහි ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර හා තිස්ස කරල්ලියද්ද යන හිටපු අමාත්‍යවරු සිටියහ. රාත්‍රී 2 පමණ වන තුරු ඇදුණු සාකච්ඡාව තුළ ශ්‍රී.ල.නි.ප. යේ අනාගතය පිළිබඳ අපගේ පරිමාණයෙන් වැදගත් කරුණු කිහිපයක්ම සාකච්ඡාවට ගැණුනි. 2015 මාර්තු පළමු වැනිදා කටුනායක ‘ෆුල් මූන් හොලිඬේ රිසෝට්’ හෝටලයේ පැවති ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී වැඩමුළුව පිළිබඳ මූලික අදහස පැමිණියේ එම සාකච්ඡාව තුළිනි.


ඒ අනුව ඩිලාන්, ශිරාල් හා මම එක්ව ජනාධිපතිතුමාගේ ද එකඟතාව මත අදාළ වැඩමුළුව සංවිධානය කළෙමු. ඊට ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු 90ක ගේ පමණ සහභාගිත්වයක් තිබුණ අතර ජනාධිපතිතුමාද දින දෙකෙහිම ඊට සහභාගී විය. කටුනායක වැඩමුළුව පෞද්ගලිකව මගේ ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. එනම්, ඒ වන විට ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු බෙහෝ දෙනෙකුගේ ඉල්ලීමක්ද තිබුණ හෙයින් අපගේ ප්‍රසන්ටේෂන් විග්‍රහය පැය 2කට අධික කාලයක් පුරා එම වැඩමුළුව හමුවේ ගෙනහැර දැක්වීමට අපට අවස්ථාව උදාවිය. පැමිණ සිටි සියලු මන්ත්‍රීවරු ඉතා උනන්දුවෙන් එම විග්‍රහය නැරඹූ අතර ඊට පෙර මෙය නරඹා තිබූ ඇමතිවරු අතරින් පතර තම තමන්ගේ අදහස්ද ඊට එක් කළහ. එහිදී බොහෝ දෙනාගේ අදහස වූයේ මෙම විග්‍රහය තුළින් ජනවාරි 8 වැනිදාටත් වඩා ශ්‍රී.ල.නි.ප. යේ අනාගතය පිළිබඳ මෙමඟින් පාඩම් උගත හැකි බවයි. විශේෂයෙන්ම සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, ජෝන් සෙනවිරත්න යන ජ්‍යෙෂ්ඨ නායකයෝද, ලලිත් දිසානායක මන්ත්‍රීතුමාද එය සංවර්ධනාත්මක දෘෂ්ටිකෝණයකින් ඇගයූ අතර කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා පමණක් එතරම් පැහැදිලි නැති එහෙත් ඊට විරුද්ධ මතයක් ඉදිරිපත් කළේය. සියල්ල අවසානයේ රාත්‍රී සුහද හමුවේදී තවත් මන්ත්‍රීවරු මා වෙතට පැමිණ වැඩිදුරටත් කරුණු විමසූහ. ඒ අතර විනයාගමූර්ති මුරලිදරන් මන්ත්‍රීතුමා ඉතා තියුණු විග්‍රහයක් සිදු කළේය. කෙසේ වෙතත් අපගේ විග්‍රහය ඉදිරිපත් කළාට පසුව වැඩමුළුව ඇමතුවේ වසන්තප්‍රිය රාමනායක හා අශෝක අබේගුණවර්ධනය. මා බලාපොරොත්තු වූ ආකාරයටම අශෝක තම කථාව ආරම්භ කළේම මලිත්ගේ විග්‍රහය කිසිදු වැදගැම්මකට නැති කාලය කා දැමීමක් ලෙස හුවා දක්වමිනි.


වැඩමුළුවේ පළමු දින අවසන් අංගය වූයේ ගරු ජනාධිපතිතුමා සභාව ඇමතීමය. එතුමා කථාව ආරම්භ කළේම දින කිහිපයක සිට පළවී තිබුණ පුවත්පත් කිහිපයකම ප්‍රධාන ශීර්ෂ පාඨ එකින් එක කියවීමත් සමඟය. අදටත් මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ එතුමා එහිදී කළ කථාව තුළින් වැඩමුළුවේ ආරම්භක අරමුණ අභිමතාර්ථ යම් පමණකට බිඳවැටුණාය යන්නය. විශේෂයෙන්ම මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රී ජනාධිපතිතුමාට පක්ෂය භාරදී තිබුණ ද යළිත් හිස එසවීම පිණිස යම් යම් ප්‍රකාශ කිරීම ආරම්භ කළ පළමු දින කිහිපයයි. ජනාධිපතිතුමා එවැනි තත්ත්වයක් උදාවේ යැයි බලාපොරොත්තු නොවූවා සේය. කටුනායක දෙදින වැඩමුළුවේ දී පැමිණි වැදගත්ම තීරණය වූයේ ශ්‍රී.ල.නි.ප.ය ජාතික ආණ්ඩුවකට යාම පිළිබඳ ප්‍රශ්නයයි. සහභාගිකයන් සියලු දෙනාගේම අනුමැතිය ඊට හිමිවන බවක් පෙනෙන්නට තිබුණි. දෙවන දිනයේ වේගවත්ම කථාව සුපුරුදු පරිදි ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා විසින් සිදු කරන ලද අතර ශ්‍රී.ල.නි.ප.යේ අනාගත අභියෝග පිළිබඳ විග්‍රහයක් ශිරාල් ලක්තිලක විසින් සිදු කරන ලදී.


කටුනායක වැඩමුළුවේ දී ජාතික ආණ්ඩුවකට සම්බන්ධවීම පිළිබඳ ඉදිරියට පැමිණි මූලික අදහස පක්ෂයේ නිල යෝජනාවක් බවට පත්කිරීමේ අරමුණින් ඊට දින කිහිපයකට පසු විශේෂ මධ්‍යමකාරක සභා රැස්වීමක් ශ්‍රී ලංකා පදනම්  ආයතනයේදී පැවැත්විණි. එම යෝජනාවට මධ්‍යමකාරක සභා සාමාජිකයන් එක් අයෙකුගේ හැර අන් සියලු දෙනාගේම අනුමැතිය හිමි විය. විරුද්ධ වූයේ කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා පමණි. කෙසේ වෙතත් මේ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට පුරා පන්සල් යාම ආරම්භකර තිබුණි. ප්‍රශ්නය උග්‍ර වූයේ 2010 ආණ්ඩුවේ ඇමතිධූර හා නියෝජ්‍ය ඇමතිධූර දැරූ සියලුදෙනාම ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධූර බලාපොරොත්තුවීමත් සමඟය. ආරම්භයේදී අමාත්‍යධූර නොලද පිරිසට තම දිස්ත්‍රික් දේශපාලන බල අරගලයටත්, තම පාක්ෂිකයින් හා හිතවතුන් ඉදිරියටත් යාමේ දී යම් හීනමාන මානසිකත්වයක් ගොඩනැගුණා වැනිය. එතැන් සිට එම අමාත්‍යධූර නොලද මන්ත්‍රීවරු තම අසහනය දුරුකර ගැනීමවස් ඒ වන විට කිසිදු පැහැදිලි අරමුණක් නොමැතිව පන්සල් යමින් සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ එක්ව පන්සල් යාමට පටන් ගත්හ. තවද ඊට සමඟාමීව ඔවුන් ජාතික ආණ්ඩුව විවේචනය කිරීමට ඉදිරිපත් වෙද්දී ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ද ලැබිණි.


මෙම තත්ත්වය තුළ එම කණ්ඩායම ශ්‍රී.ල.නි.ප. යේ ප්‍රගතිශීලී රැඩිකල් කැරලිකරුවන් පිරිසක් සේ මාධ්‍ය තුළ දිස්වන්නට විය. සැබැවින්ම දින 100 ආණ්ඩුව තුළ ජාතික ආණ්ඩුවක් සඳහා ශ්‍රී.ල.නි.ප. යේ කොටසක් සම්බන්ධවීම උපක්‍රමික වරදකි. ශ්‍රී.ල.නි.ප.ය ජාතික සමඟි සන්ධාන ආණ්ඩුවට එක්විය යුතුව තිබුණේ අගෝස්තු 17 මහ මැතිවරණයෙන් පසුවය.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප : අන්තර්ජාලයෙනි