ඡන්ද සටනේ කොටි සබඳතා


රටේ සෑම ලයිට් කණුවක් මතම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෝස්ටරයක් හෝ කටවුට් එකක් අනිවාර්යයෙන්ම ගැසීම පිළිබඳ ගෙතුණු රසකතාද ඇත. එනම් එක් ප්‍රදේශයකට යවා ඇති පෝස්ටර් හා කටවුට් ප්‍රමාණය එම ප්‍රදේශයේ ලයිට් කණු හා ටෙලිෆෝන් කණුවලට වඩා වැඩිය. ඒ අනුව බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ලැබී ඇති නියෝගය වී ඇත්තේ පෝස්ටර් හා කටවුට් ප්‍රමාණයට සරිලන පරිදි ලයිට් කණු අලුතින් සිටුවන ලෙසයි.


දෙසැම්බර් අග වන විට ලැබුණු තොරතුරු මඟින් කියැවුණේ ආණ්ඩුව උතුරේ ඡන්දය වර්ජනය කර ගැනීමේ උපක්‍රම සොයමින් සිටින බවත් ඒ අනුව එල්ටීටීඊ හිතවාදීන් ලෙස සිංහල සමාජයේ ප්‍රකටව සිටි ගජේන්ද්‍රන් පොන්නම්බලම් හා ආනන්දි ෂශිරදන් වැන්නවුන් ඒ සඳහා යොදා ගැනීමට ආණ්ඩුව ක්‍රියාකරන බවත්ය. ඒ සමඟම දෙසැම්බර් අග සහ ජනවාරි මුල වනවිට ආණ්ඩුව හදිසියේ උතුරු - නැඟෙනහිර තම ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කරමින් ත්‍රිකුණාමල සාම්පූර්හි ඉඩම් අහිමි වූ හා ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබාදීමේ ඉක්මන් වැඩසටහනක් ආරම්භ කළේය. මෙම තත්ත්වය තුළ ආණ්ඩුව එල්ටීටීඊ හිතවාදීන් සතුටුවන ආකාරයෙන් යම් එකඟතාවක හා ගනුදෙනුවක නිරතවන බවට තවදුරටත් නිශ්චිත තොරතුරු ලැබිණි. රුද්‍රකුමාරන් හට බැසිල් රාජපක්‍ෂ ඇමතිතුමා ලියන ලද ඊ-මේල් පණිවුඩයක් පිළිබඳ ජවනිකාව රඟ දැක්වෙන්නේ එවන් සන්දර්භයකය. ඒ අනුව ජනවාරි 02 වැනිදා සවස පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවති මාධ්‍ය හමුවට හැඩිගල්ලේ පක්‍ද්ඤාසාර හිමි, රාජිත සේනාරත්න මහතා හා අනුරුද්ධ ප්‍රදීප් සහභාගී වූහ. මේ සියලු දෙනාම ඉහත ඊමේල් පණිවුඩය පිළිබඳ දැක්වූ අදහස් ඉදිරියේ එහි වලංගුභාවය ක්ෂණිකව සමාජගත වූ අතර පෙරළා ඊට පිළිතුරු සැපයීමට නොහැකි තත්ත්වයකට බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රචාරක අංශ පත්විය.


මේ අතර හරියටම දිනය ජනවාරි 3 වැනිදාය. ජනාධිපති අපේක්‍ෂකයකුට නිල වශයෙන් හිමිවන ජාතික රූපවාහිනී විකාශන කාලයේ දෙවන සිංහල කථාව පටිගත කිරීමට අදාළ කටයුතු සිදුවෙමින් පැවතිනි. මෛත්‍රී ඇමතිතුමා ගෙන තිබූ තීරණයකට අනුව එතුමා ජාතික රූපවාහිනියට ගොස් අදාළ කථාව පටිගත කිරීම සිදු නොකළ අතර පටිගත කිරීම සිදුකරන ලද්දේ “බේබෲක්” හි සිරස මැදිරියේය. අදාළ කථාව ලිඛිත දේශනයක් ලෙස ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබූ අතර එම කථාව ලිවීම මට පැවරී තිබිණ. ඒ අනුව ජනවාරි 3 වැනි දින රාත්‍රී අදාළ කතාව සිරස ආයතනයේ නදීක විජේවීරට බාර දුනිමි. එහෙත් එහි තාක්‍ෂණ දෝෂයකි. එම කථාව ටයිප් කිරීම සඳහා අප යොදාගත් පරිගණක අක්ෂරයට වෙනස් පරිගණක අක්ෂරයක් සිරස ආයතනය භාවිත කරයි. ඒ අනුව ටෙලිෆොන්ටරය තුළින් අදාළ කථාව විකෘති වී පෙනේ. නියමිත වේලාවට සිරස ආයතනයට ගිය මෛත්‍රී ඇමතිතුමා ශබ්දාගාරය තුළ නියමාකාරයෙන් හිඳ සිය කථාව කිරීමට පටන්ගත්තද ටෙලිෆොන්ටරයෙන් පෙනෙන වචන හා වාක්‍ය ඛණ්ඩ තුළ ඉස්පිලි, පාපිලි නැත. සමහර තැනක අකුරු විකෘති වී ඇත.


මෙය නිවැරදි කිරීමට යම් කාලයක් අවශ්‍යය. එහෙත් එම දිනයේ ඉදිරි වැඩසටහන් පෙළගැස්වී තිබුණ ආකාරය අනුව තවත් අමතර කාලයක් එහි රැඳී සිටිය නොහැකිය. අනෙක් ප්‍රශ්නය නම් එතැන් සිට දින දෙකක් මෛත්‍රී ඇමතිතුමා කොළඹින් පිටත රට පුරා ඇති රැස්වීම්වලය. මෙම අර්බුදය විසඳීමට කෙලී මහාරාජා මහතාගේ විසඳුම වූයේ මෛත්‍රී ඇමතිතුමා සිටින ඕනෑම ස්ථානයකට තම රූපවාහිනී කණ්ඩායමක් එවීමට යෝජනා කිරීමය. එදින රාත්‍රිය මෛත්‍රී ඇමතිතුමා නවාතැන් ගැනීමට තීරණය කර තිබුණ් බණ්ඩාරවෙලය. එනම්, එදින අවසන් රැස්වීමද බණ්ඩාරවෙලය. අදාළ පටිගත කිරීමට සිරස රූපවාහිනී කණ්ඩායමක් එදින රාත්‍රීයේම බණ්ඩාරවෙලට යැවීමට කෙලී මහාරාජා මහතා අවශ්‍ය පියවර ගත්තේ එතැන් සිටිය.


මෙම සිදුවීම හා පෙර අත්දැකීම් අනුව මා කළ වැදගත් නිරීක්‍ෂණයක් වූයේ ලියූ කඩදාසිවල ඇති කථා බලා කියවීමට මෛත්‍රී ඇමතිතුමා එතරම් කැමැති නැත. දක්ෂ වන්නේද එතුමාගේ සහජ හැකියාව වන්නේද සිතාමතා කථා කිරීමය. ඉහත සිදුවූ තාක්ෂණ වරද එතුමාට අදාළ නැත. පටිගත කිරීම අසාර්ථකවීම පිළිබඳ වගකීම මා සතුය. එය කියාපාන්නක් මෙන් මෛත්‍රී ඇමතිතුමා සිරස මැදිරි සංකීර්ණයෙන් පිටව ගියේ මා සමඟද තරමක් අමනාපයෙනි. සියල්ලටම විසඳුම මා රාත්‍රියේම බණ්ඩාරවෙලට යාමය. පසුදින පෙරවරුවේ මෛත්‍රී ඇමතිතුමා රාත්‍රිය නවාතැන් ගත් හෝටලයේදීම සිරස කණ්ඩායම අදාළ පටිගත කිරීම කරනු ඇත. ඊට අනුව පටිගත කිරීමට අදාළව මා විසින් ලියනලද කථාවේ වැදගත් කරුණු ඉස්මතු වන සේ එය කොටස් කරන ලදී.


දවසේ වැඩ නිමකිරීමෙන් අනතුරුව සවස 6ට පමණ රවීන්ද්‍ර හා මම බණ්ඩාරවෙල බලා පිටත්වීමු. ගමන අතරවාරයේ පැල්මඩුල්ල නගරයට කි.මී. 2ක් පමණ දුර තිබිය දී දිගු වාහන පෝලිමකි. අප මෙම වාහන පෝලිමේ සිටින අතරවරායේ ඡීධ ප්‍රියන්තගේ දුරකථනයෙන් මට ඇමතුමකි. මා බලාපොරොත්තු වූයේ ප්‍රියන්තගේ කටහඬ වූවද කථා කළේ මෛත්‍රී ඇමතිතුමාය. “පැල්මඩුල්ලේ රැස්වීමට විශාල ගල් ප්‍රහාරයක් එල්ල වුණා. මට නම් තුවාල වුණේ නැහැ. අපේ සිකුයුරිටි එකේ අයට තුවාල වෙලා ඇති කියා එතුමා පවසද්දී මගේ යෝජනාව වූයේ ‘සර්, මම ධනුෂ්කව ඔය ෆෝන් එකට දැන්මම සම්බන්ධ කරන්නම්. එතැන සිදු වූ දේ ගැන සර් ම ප්‍රකාශයක් ධනුෂ්කට ලබාදෙන්න. අඩුම තරමින් රෑ 10 සිරස නිව්ස් එකේවත් මේක දාගන්න පුළුවන් වෙයි.’ යනුවෙන් පැවසීය. ඊට අනුව මා නිමේෂයකින් ධනුෂ්ක අමතා ඡීධ ප්‍රියන්තගේ දුරකථන අංකය ලබාදෙමින් හැකි ඉක්මනින් මෛත්‍රී ඇමතිතුමාගෙන්ම මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාගන්නා ලෙසට දැන්වීමි. මෙම සිද්ධියෙන් මෛත්‍රී ඇමතිතුමාගේ ආරක්‍ෂක අංශයේ නිලධාරියකු තුවාල ලැබීය.


පසුදින උදෑසන වන විට ධනුෂ්ක ද බණ්ඩාරවෙලට පැමිණ සිටි අතර අපි දෙදෙනාම මෛත්‍රී ඇමතිතුමා නවාතැන් ගෙන සිටි හෝටලයට ගියෙමු. අතිශය සාර්ථක පටිගත කරගැනීමකට ඒ තුළින් මඟපෑදුණූ අතර එම වීඩියෝ පටය සවස 5ට පෙර ගුවන්විදුලියටත්, රූපවාහිනියටත් බාරදිය යුතු විය. ඒ අනුව මා බණ්ඩාරවෙල සිට කෙළින්ම පැමිණියේ සිරස ආයතනයේ නදීක විජේවීර මුණගැසීමටය. අදාළ වීඩියෝ පටයේ විනාඩි 42ක පටිගත කිරීමක් සනිටුහන්ව තිබූ අතර එය විනාඩි 28කට පමණ සීමාකිරීම අප වෙත පැවරී තිබුණි. කෙසේ වෙතත් මෙම ‘එඩිට්’ කිරීම අවසන් වනවිට නදීක හා මම අතිශය දේශමාමක බවක් ප්‍රකාශ වන මෛත්‍රී ඇමතිතුමාගේ ප්‍රකාශ දෙකක් කපා කොටා සාර්ථක රූපවාහිනී දැන්වීම් දෙකක් ද නිමවා ගතිමු. එය එදින සිට ඉදිරියට දින 2ක් සිරස රූපවාහිනියේ විකාශනය විය.


දෙසැම්බර් අග දිනක ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා මා හට කථාකරමින් විශේෂ යමක් පැවසීමට ඇති බව කිවේය.

ඒ අනුව අප දෙදෙනා මුණගැසුනි. ඔහු මෙසේ පැවසීය “මලිත්, මහින්ද රාජපක්ෂ මොන විදිහකට හරි බලය රැකගත්තොත් යූ.එන්.පී.යේ අපි කාටවත් අබ පලුවකින්වත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මෛත්‍රීගෙ පවුලේ සාමාජිකයින්ටත්, ඔයා වගේ අයටත් මුහුණදෙන්න වෙන තත්ත්වය ගැන පොඞ්ඩක් හිතන්න වෙනව. මම ඒකට පොඩි වැඩක් ලෑස්ති කරල තියෙනව. අපේ මට්ටමෙන්” යනුවෙන් පැවසීය. මෙම සාකච්ඡාව සඳහා අප දෙදෙනා මුණගැසුනේ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයට ආසන්න පුරපති නිල නිවසේය. වික්‍රමරත්න මන්ත්‍රීතුමා මෙම කටයුත්ත එ.ජා.ප.යේ වෙනත් සාමාජිකයන්ගෙන් ද පරිබාහිරව රහසිගතව සිදු කිරීමට උත්සුකවන බව මට වැටහී ගිය ද රනිල් වික්‍රමසිංහ මහතාට කෙසේ හෝ එය ආරංචි වී ඇත්තා සේය. ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා හා මා එවැනි හදිසි තත්ත්වයකදී ක්‍රියාවේ යොදවන සැලසුමක් පිළිබඳ සිතමින් සිටින බව මා තුළින් එ.ජා.ප හිතවතුක වෙත ප්‍රකාශ වූයේ නිසර්ගයෙන්මය. මා එය කියා ඇත්තේ ද එය දැන නොගත යුතුම අයකු සමඟය.


කෙසේ වෙනත් එය රනිල් වික්‍රමසිංහ මහතාට ආරංචි වීමෙන් පසුව වික්‍රමරත්න මන්ත්‍රීතුමාට ඊට මැදිහත් නොවන ලෙසත් තමා මෛත්‍රී පාර්ශ්වයේ සාමාජිකයන්ට අවශ්‍ය ආරක්ෂාව පිළිබඳ වෙනත් වැඩසටහනක් ක්‍රියාවේ යොදවා ඇති බවත් පවසා ඇත. එය එසේ වුවද නැවතත් ජනවාරි 5 වැනි දින ඉරාන් මන්ත්‍රීතුමා මට කියා සිටියේ නායකතුමාගේ ආරක්ෂක වැඩසටහන එසේ තිබියදීම අපි කලින් කථාකරගත් ආරක්ෂක සැලසුම නැවත උදරන දමඑ කිරීම නුවණට හුරු බවයි. ඒ අනුව 5 වැනිදා පෙරවරුවේ පුරපති නිවසේ පිටුපස කෙළවරක පිහිටි සාකච්ඡා කාමරයකදී මේ සම්බන්ධ රහසිගත සාකච්ඡාවක් සූදානම් විය. මෙහිදී වැදගත්ම කරුණ වන්නේ නගරාධිපති නිල නිවස තුළ සාකච්ඡා වන්නේ කුමන කරුණක් දැයි යන්න පිළිබඳ නගරාධිපතිවරයා නොදැන සිටීමයි. ඊට හේතු ගණනාවකි. සාකච්ඡාව සම්පූර්ණයෙන්ම සූදානම් කළේ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමාය. එම රැස්වීමට විශ්‍රාමික හමුදා නිලධාරීන් හා පොලීසියේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. ඒ අය අතරින් ඒ වන විට මා හඳුනන අය සිටියේ ගයා පැටිකිරි කෝරාළ පමණි. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ ඔහු පොලිස් බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියෙකි. ඊට අමතරව හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියකු වන රිස්වි මහතා සාකච්ඡාව මෙහෙයවූ අතර ඊට පෙර මා ඔහු මුණගැසී තිබුණේ ඊට දින කිහිපයකට පෙර එරාන් වික්‍රමරත්න මහතා සමඟින්මය.
එවැනි වූ විශ්‍රාමික නිලධාරීන් පිරිසක් එක්ව මෙම නව ආරක්ෂක වැඩපිළිවෙළ සැකසීමට පියවර ගත්තේය. ඒ බොහෝ දෙනෙක් තමන්ගේ වෘත්තීය දැනුම එක්කරමින් කරුණු ඉදිරිපත් කළ අතර ඔවුන් ඇසූ සමහර ප්‍රශ්න මෛත්‍රී ඇමතිතුමාගේ පවුලේ සාමාජිකයන්ද දැනගත යුතු හා සැලකිලිමත් විය යුතු කරුණු ලෙස මට පෙනී ගියේය. ඒ අනුව මෛත්‍රී ඇමතිතුමාගේ සොහොයුරකු වන කුමාරසිංහ මහතා හා තිළිණට ද එම සාකච්ඡාවට සහභාගි වන ලෙස මා දැන් වූ අතර එම සාකච්ඡාව අතරවාරයේ ඔවුන් දෙදෙනා ද ඊට සම්බන්ධ විය. විශේෂයෙන්ම මෙම සාකච්ඡාව තුළ යම් ආකාරයකින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කුමන ආකාරයකින් හෝ 9 වැනිදා යළිත් බලය තහවුරුකර ගතහොත් අපගේ ඉරණම සම්බන්ධයෙන් සිදුවිය හැකි අතිශය කටුක තත්ත්වය පිළිබඳවත් එවැනි අවස්ථාවක යම් තරමකින් හෝ ගත හැකි ආරක්ෂිත පියවර පිළිබඳවත් වූ සාකච්ඡාවකි. තවද, මීට සමගාමීව අප කර්නල් ජයවි ප්‍රනාන්දු සමඟ ද මෙවැනිම වූ යම් සැලැස්මක් පිළිබඳ කථාකරමින් සිටිය ද ඔහු ඉහත සාකච්ඡාවට සහභාගි නොවීය.


කෙසේ වෙතත් නොවැම්බර් 25 වැනිදා මා නිපුණතා සංවර්ධන අරමුදලේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ දිනයේ පටන් අපගේ දින චර්යාවේ යම් වෙනසක් සිදුකිරීම අත්‍යාවශ්‍යම විය. ආරක්ෂාව පිළිබඳ කරුණේදී බොහෝ දිනවල රාත්‍රියේ අප ගෙදර ගියේ නැත. ඒ අනුව බොහෝ අවස්ථාවලදී රියදුරු කාර්යභාරය චාමර විසින් ඉටුකළ අතර රවීන්ද්‍ර මා සමඟ පූර්ණකාලීනව සිටියේය. බොහෝ දිනවල රාත්‍රී 9.00 න් පසුව අපි තිදෙනා කොළඹ නගරයේ නවාතැනක් සෙවීම ආරම්භ කළෙමු ඍදදපි යනුවෙන් බෝඞ් ගසා ඇති තැනක රාත්‍රිය ගතකිරීමට අපි පුරුදු වීමු. එවැනි ගුබ්බෑයම්වල නින්දයාම වේගවත් කිරීමට ගල් බෝතලයක් අත්‍යාවශ්‍යම විය.
ජනාධිපතිවරණ ක්‍රියාවලිය ආශ්‍රිතව මා ගත් පළමු ආරක්ෂිත ක්‍රියාමාර්ගය උදෑසන ඇවිදින මංතීරුවේ ඇවිදීම අත්හැරීමය. දෙවනුව නොවැම්බර් මස මුල් භාගය වන විට මට හිතවත් සමහරකුගේ අදහස වූයේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අතර මඟ මා රටින් බැහැර වීම සුදුසු බවයි.

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්