චන්ද්‍රිකාට අනතුරු ඇඟවීමක්


රාත්‍රි 10.00ට පමණ වන විට මැතිවරණ කොමසාරිස්වරයා චම්පානිගෙන් විමසා සිටියේ ‘අයියේ හංසයට ද ඡන්දය දුන්නේ’ යනුවෙනි. ඊට චම්පානිගේ පිළිතුර සෘජු හා කෙටිය ‘මම මගේ පක්ෂයේ ඉන්නෙ’ කෙසේ වෙතත් ඊට දින දෙක තුනක සිටම මැතිවරණ කොමසාරිස් චම්පානි මුණගැසුණු විට අසා සිටියේ ‘අයියෙ ලොක්කව හම්බවුණේ නැද්ද? යනුවෙනි. ඉන් ගම්‍යමාන වූ ලොක්කා මහින්ද රාජපක්ෂ නොව මෛත්‍රීපාල සිරිසේනය.


මේ අතර මැතිවරණ කාර්යාලයට ලැබෙන නවතම තොරතුරු හා ප්‍රතිඵල චම්පානි විසින් ශෂිමාල්ට ලබා දුන්නේය. ඒ වන විට ඔහු සිටියේ චන්ද්‍රිකා මැතිනියගේ නිවසේය. සියල්ල එසේ සිදුවෙද්දී රාත්‍රී 11.45 ට පමණ අරලියගහ මැදුරේ බැසිල් රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ සිට චම්පානිට දුරකථන ඇමතුමක් ලබාදුන් රාජ්‍ය පරිපාලන අංශයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු චම්පානිගෙන් අසා සිටියේ ‘චම්පානි, ජනාධිපතිතුමා වෙනුවෙන් මැ.කො. ළඟ කවුරුත් නැද්ද? ඔයා කොහෙද? යනුවෙනි. එය එසේ වුවත් මෙම දුරකථන ඇමතුමෙන් පැය 24ක් යාමටත් පෙර එම රාජ්‍ය පරිපාලන නිලධාරියාට දෛවයේ ප්‍රබල බවට මෙන් රජයේ ඉහළම තනතුරක් හිමිවිය.


මධ්‍යම රාත්‍රි 12.00 පමණ වන විට මැතිවරණ කොමසාරිස් චම්පානිගෙන් විමසා සිටියේ ‘චම්පානි අයියෙ වැඬේ අවුට් නේද?’ යනුවෙනි. කෙසේ වෙතත් ඡන්ද ප්‍රතිඵලවලට අනුව මධ්‍ය රාත්‍රිය පසුවත් ම මැතිවරණ ලේකම් කාර්යාලය ද සම්පූර්ණයෙන්ම වෙනස් වන ආකාරයක් දැක්ක හැකි විය. මේ අතර අරලියගහ මැදුරේ සිටි පිරිස් මෙන්ම ආණ්ඩුවේ වෙනත් හිතවතුන් ද වැල නොකැඩී චම්පානි වෙත දුරකථන ඇමතුම් දෙමින් විමසා සිටියේ අවසන් ඡන්ද ප්‍රතිඵලය කුමන ආකාරවේ ද යනුවෙනි. ‘වැඬේ අවුට් වගේ එන ඒවත් හරි නෑ වගේ’ යන්න ඔහුගේ ප්‍රතිචාරය විය. තවද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජය වී ඇති බව තහවුරු වීමෙන් පසුව එනම් රාත්‍රී 2.00 ද පසු වූ කල තවදුරටත් චම්පානි මැතිවරණ කාර්යාලයේ රැඳී සිටියේය. එවිට බොහෝ දෙනා විමසා සිටියේ ‘ඇයි යන්නෙ නැද්ද?’ කියාය. එහෙත් ඊට ද චම්පානිගෙන් පිළිතුරක් විය. ‘මම එහෙම දාල යන මිනිහෙක් නෙමෙයි’ යන්න ඊට ඔහු දැක් වූ ප්‍රතිචාරය යි.


එම රාත්‍රියේ දී පූර්ව මැතිවරණ ප්‍රතිඵල චන්ද්‍රිකා මැතිනියට දැන් වූ යේ පී. දිසානායක මහතා විසින්ය. මැතිවරණ කාර්යාලයේ සිටින චම්පානි දිසානායක මහතාට ප්‍රතිඵල දැන්වීය. මේ අතර සරත් ෆොන්සේකා මහතා චන්ද්‍රිකා මැතිනියට කතා කරමින් ප්‍රතිඵල එතරම් සුබදායක නැතැයි පවසා ඇත. ෆොන්සේකා මහතාගේ එම තොරතුරත් සමග එතුමිය කලබලයට පත් වූවාය. එහෙත් මධ්‍යම රාත්‍රියෙන් පසුව චම්පානි පවසා සිටියේ නිසැක වශයෙන්ම මෛත්‍රී ඇමතිතුමා ජයගන්නා බවය. ඒ අනුව එම පණිවුඩය දිසානායක මහතා චන්ද්‍රිකා මැතිනියට දැනුම් දුන්නේය. එය ඇසූ එතුමිය ඔය පණිවුඩය සරත් ෆොන්සේකා මහතාට ද දන්වන ලෙස දිසානායක මහතාටම පැවසීය. ඒ අනුව ශෂිමාල් විසින් මෙම ජයග්‍රහණයේ පණිවුඩය ෆොන්සේකා මහතාට දැන් වූ කල එතුමා පෙරළා පැවැසුවේ ‘2010 දීත් ඕව කිය කියා මාව රැවැට්ටුවා’ මේ අතර රාත්‍රි 2.00 ට පමණ මම ද දිසානායක මහතාට කතා කළෙමි. 

එවිට ඔහු අපගේ ජයග්‍රහණය ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් අපි ජය ගත්ත ද අත්තනගල්ල ඡන්ද 4,000 කින් පරාද බවත් මැඩම් පොඞ්ඩක් අප්සෙට් බවත් වැඩිදුරටත් ඔහු මට පැවසීය.


විශේෂයෙන් ම 2008 වසරේ සිට මා සමග සන්ධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ කටයුතු කළ පිරිස පිළිබඳ මීට පෙර ද ලියා ඇත. ඒ අතරින් නන්දන එක්දරු පියකු වූ නිසාම මැතිවරණ දිනයේ මෙම අවදානම් කලාපයට ඇතුළු නොවන ලෙස අපි ඔහුට කීවෙමු. චාමර, රවීන්ද්‍ර හා නදීෂ් මැතිවරණ ප්‍රතිඵල කුමක්වුව ද මගේ ආරක්‍ෂාවටත් චිත්ත ධෛර්යය වර්ධනය කරවමින් මොරාල් එකක් ලබා දීමත් අරමුණු කරගනිමින් මා අසල සිටී. අනෙක් අතට මා මුහුණ දෙන ඕනෑම කටුක තත්ත්වයක් සහෝදරත්වයෙන් බෙදා ගැනීමට ඔවුන් මටත් වඩා ඉදිරියෙන් සිටී. 2010 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරදීමට පෙර සිට ම එනම් 2009 නොවැම්බර් මස මුල සිට ජනවාරි 27 දක්වා චාමර, නදීෂ් හා මම බෙඞ්ෂීට් කෑලි 2ක් මත මදුරුවන් තලමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගෙවල්වලට නොගොසින් දවසේ පැය 24න් 18ක් පමණ අපගේ දැනුම, බුද්ධිය, හැකියාව මෙන් ම කැපවීම ද පූර්ණ වශයෙන් ම යෙද වීමු. ඊට වසර 5කට පසු ව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ පරාජය දැකීමට හා ඇසීමට සැරසෙන මොහොතකි මේ. වරද කොතැනදැයි අප කාටත් වඩා හොඳින් දන්නේ ජනතාවයි.


මැතිවරණ ප්‍රතිඵල නිලවශයෙන් ප්‍රකාශ වීමට පෙර නිල නොලත් මැතිවරණ ප්‍රතිඵල ගණන් කරන මධ්‍යස්ථාන මට්ටමින් එක්රැස් කිරීම පොදු අපේක්ෂකයාගේ පාර්ශ්වයෙන් සිරිකොත මන්දිරය තුළ පිහිටුවන ලද විශේෂ ඒකකයකින් සිදු කළ අතර ජනාධිපතිවරණයට පෙර දින පැවති රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහතා චම්පික ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරමින් එම විශේෂ ඒකක භාරව ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අතර අරලියගහ මැදුර තුළ ද එවැනිම මැතිවරණ ප්‍රතිඵල එක්රැස් කරන ඒකකයක් ස්ථාන ගත කර තිබුණි. 2010 මහ මැතිවරණයේ දී මෙම කටයුත්ත අරලියගහ මැදුරේ දී මගේ කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද ආකාරය මීට පෙර විග්‍රහ කරන ලදී.


මධ්‍යම රාත්‍රියෙන් පසුව පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ විය. එය රත්නපුර දිස්ත්‍රික්කයට අදාළ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. මීට පෙර අවස්ථාවකදී සඳහන් කළ පරිදි 2005 තැපැල් ඡන්ද ප්‍රතිඵලය සමග 2015 ඒ ඒ දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ප්‍රතිඵලය සැසඳීම තුළින් ම අවසන් ඡන්ද ප්‍රතිඵලය කුමන ආකාර ගත හැකිවේදැයි අප විග්‍රහයට ලක්කර තිබුණි. අපගේ පූර්ව තැපැල් ඡන්ද විග්‍රහයට අනුව නිසැක වශයෙන්ම 2005 ට සාපේක්ෂව 2015 දී ලැබීමට නියමිත අවසන් ඡන්ද ප්‍රතිඵලය ධන තැනක තිබිය යුතුමය. උදාහරණයක් ලෙස ආණ්ඩුවේ ගණන් සැදීමට අනුව ඔවුන් ලක්ෂ දෙකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයගනු ඇතැයි සිතූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව එය මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 1,793 කින් ජයගෙන තිබුණි. 2005 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා අබිබවා මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය වැඩි ඡන්ද 8856 කින් ජයගෙන තිබුණි.


කෙසේ වෙතත් මධ්‍යම රාත්‍රිය ආසන්නවත් ම ලැබුණු සමහර තොරතුරුවලින් කියවුණේ ජයග්‍රහණ පිළිබඳ ඇති අවිනිශ්චිතතාවයි. මේ අතර යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ හිතවතකු අඛණ්ඩව දුරකථන මගින් රැඳී සිටිමින් ඔහුගේ මිත්‍රයකු කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිට අප වෙත ලබා දුන් තොරතුරු ද වඩාත් ආකර්ෂණීය විය. මිත්‍රයාට අනුව කඩුවෙල හා මහරගම සමහර ගණන් කරන මධ්‍යස්ථානවල දී හංසයා දිනන බවත් තවත් සමහර මධ්‍යස්ථානවල දී බුලත හා හංසයා කරට කර බවත් පැවසීය. කඩුවෙල හා මහරගම තත්ත්වය එලෙසම බව විටින් විට කාමර අංක ද සහිතව ඔහු මට පැවසීය. මෙම ප්‍රවෘත්තියෙන් උද්දාමයට පත් මම චාමරටත් නදීෂටත් පවසා සිටියේ 2005 ජනාධිපතිවරණයේ දී මහරගම හා කඩුවෙල ප්‍රතිඵල බලන ලෙස යි. ඒ වන විට ඔවුන් ප්‍රකාශ වී තිබූ තැපැල් ඡන්ද ප්‍රතිඵල දෙක තුනක් ද 2005 සමග සසඳා තිබුණි. ඔවුන්ට අනුව 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතා කඩුවෙල වැඩි ඡන්ද 18,804 කින් ද මහරගම 17,608 කින් ද ජයගෙන තිබුණි.

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්