චන්ද්‍රිකාගේ “ මිස්ටර් ප්‍රභාකරන් ”


නිල වශයෙන් ඉංග්‍රීසි බසින් ලියැවෙන ලියුමක ආරම්භක ආමන්ත්‍රණයේ දී අදාළ පුද්ගලයාට ‘ඩියර්’ හෝ ‘මිස්ටර්’ වශයෙන් යෙදීම ලෝක සම්මතයයි. එවන් සන්දර්භයක චන්ද්‍රිකා මැතිනිය මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාද ඉංග්‍රීසි බසින් කරනු ලබන සන්නිවේදනයකදී මිස්ටර් ප්‍රභාකරන් කියා ප්‍රකාශ කිරීම එම භාෂාව තුළ ඇති විනීත බව :ඡදකසඑැබැි* සනිටුහන් කරන්නක් පමණි. 


නමුත් අවාසනාවකට මෙන් චන්ද්‍රිකා මැතිනියගේ මිස්ටර් විශේෂණය දෙස ජාතිවාදී ප්‍රිස්මය තුළින් බැලූ සන්ධානයේ දේහපාලනඥයෝ ඒ තුළින් හෝ සිංහල අන්තවාදය අවුළුවාලීමට උත්සුක වූහ. මේ අතර පොදු අපේක්ෂකයා වෙනුවෙන් නිර්මාණය වූ විද්‍යුත් හා මුද්‍රිත වෙළෙඳ දැන්වීම් සහ තේමා ගීත හේතුවෙන් ‘මීඩියා ෆැක්ටි්‍ර’ නම් ආණ්ඩුවේ ප්‍රචාරක කටයුතු සිදුකළ සමාගමත්, ආණ්ඩුවේ ප්‍රචාරක කටයුතු බාරව සිටි මාධ්‍ය විශාරදයෝ යන සියලුදෙනා බොහෝ අවස්ථාවල අන්දමන්ද වූහ.


පොදු අපේක්ෂක පාර්ශ්වයේ නායකයන් ඇතුළු සියලුදෙනා මුහුණදුන්  ප්‍රධානතම ප්‍රශ්නය වූයේ දුරකථන ටැප්කිරීම පිළිබඳ ප්‍රශ්නයයි. මේ පිළිබඳ ප්‍රශ්නය ජනාධිපතිවරණ සමය තුළ පමණක් නොව ඊට පෙර පොදු අපේක්ෂකයකු සෙවූ කාලය තුළද සිදු වූ බවට වාර්තා ඇත. විශේෂයෙන්ම යම් මොහොතක සන්ධානයේ හා ශ්‍රී.ල.නි.ප.යෙන් ඉවත්විය හැකි බවට සැක පහළ වූ සියලු දෙනාගේම දුරකථන එලෙස ‘ටැප්’ කර තිබූ බව කථාකරන සියල්ලෝම දැන සිටියහ. තමාගේ ජංගම දුරකථනයට අනවසරයෙන් සවන්දෙන බව දැන සිටි දේහපාලනඥයෝ යමෙකු සමඟ කථාකිරීමට පෙර පරුෂ වචනයෙන් සවන් දෙන්නන්ට බැණවැදුණු අවස්ථාද තිබුණි. සමහර වාර්තාවක කියැවුණේ චීනයේ හුවාවි සමාගමෙන් ගෙන එන ලද නවීනතම සන්නිවේදන උපකරණ යොදාගනිමින් මෙම කටයුත්ත සිදුකරන බවකි.


ජනවාරි 05 වැනිදා මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්වීමෙන් පසුදින පොදු අපේක්ෂක ප්‍රමුඛ නායකයන් රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගියේ ඒ වන විට ආණ්ඩුව දෙසින් සිදුකරමින් තිබූ මහා පරිමාණ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගණනාවක් පිළිබඳ පැමිණිලි කිරිමටය.ඊට මෛත්‍රී ඇමතිතුමා සමඟ රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා මැතිණිය, කරු ජයසූරිය, රාජිත සේනාරත්න, විජේදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා රවී කරුණානායක හා වැලි අමුණ යන පිරිස එක්ව සිටියහ. විශේෂයෙන්ම මේ වන විට පොදු අපේක්ෂක ඡන්ද සලකුණ විකෘති කර මුද්‍රණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා රට පුරා බෙදාහැර තිබුණි. ඒ සමඟම ලැබී තිබුණ තවත් තොරතුරක් වී තිබුණේ රුපියල් 5,000 ක මුදලකට ග්‍රාමීය හා නාගරික දුප්පත් ජනතාවගෙන් ඔවුන් සතු ඡන්ද පත්‍රිකා හා හැඳුනුම්පත් මිලදී ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ වී ඇති බවයි.


තවද, පොදු අපේක්ෂකයා අවසන් මොහොතේදී ඉල්ලා අස් වූ බවට මෛත්‍රී ඇමතිතුමා අනුකරණය කිරීමට ඉදිරිපත්කර තිබූ ආර්. ඒ. සිරිසේන මඟින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම හා පෝස්ටර් ඇලවීම, ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් අවසන් වී ඇති අවස්ථාවේදී රාජ්‍ය මාධ්‍ය තුළින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම හා උතුරු - නැගෙනහිර බොහෝ ප්‍රදේශවල තවදුරටත් ත්‍රිවිධ හමුදාව යොදාගනිමින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම ඇතුළු මැතිවරණ නීති උල්ලංනය කිරීම් රාශියක් පිළිබඳ මොවුහු මැතිවරණ කොමසාරිස්වරයාට වාර්තා  කළහ. මැතිවරණ කොමසාරිස්වරයා සමග පැවති මෙම සාකච්ඡාවේදී චන්ද්‍රිකා මැතිනිය විසින් වියහැකි හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළේය. නමුත් එය මැතිවරණ කොමසාරිස්වරයා අවඥාවෙන් බැහැරකිරීමට උත්සහ කරද්දී එවිට කොළඹ නගරයේ හමුදාව ස්ථානගත කිරීමට හමුදා මූලස්ථානය විසින් සැකසූ ආඥාපත්‍රයක පිටපතක් සමග විශ්‍රාමික හමුදා  නිලධාරියා යළි සේවයට කැඳවීමේ නියෝගයක පිටපතක් චන්ද්‍රිකා මැතිනිය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කරන ලදී. ඒ සමගම මැතිවරණ කොමසාරිස්වරයා යළි තිගැස්මකට ලක්වුණා වැනිය. තමා මේ පිළිබඳ හමුදාපතිවරයා ගෙන්වා සාකච්ඡා කරන බවට එහිදි මැතිවරණ කොමසාරිස්වරයා පොරොන්දු විය.


විශේෂයෙන්ම පොදු අපේක්ෂකයාගේ ඩමිය ලෙස ක්‍රියාකළ ආර්. ඒ. සිරිසේන ද වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ ‘ඇන් කොම්පැණි’ නම් දේශපාලන ප්‍රහසනයේ රඟපෑ ඔහු ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු බවට පත්වූයේ ආණ්ඩුවේ අවශ්‍යතාවයටය. මෙම ඩමියට මෛත්‍රී ඇමතිතුමා අනුකරණය කිරීම සඳහා පුහුණුවීම් ආදිය පැවැත් වූ අතර ඒ සියල්ල සිදුකළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. ඔහුගේ ඇඳුම් කට්ටල් හා පුහුණුකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන දෙකක පමණ මුදලක් වැය වී ඇති අතර නාමයෝජනා බාරදුන් දිනයේ සිට ජනාධිපතිවරණයට පෙර දින දක්වාම මෙම ඩමිය නවාතැන් ගත්තේද තුන්වේලටම ආහාර ගත්තේද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වියදමිනි. තවද, මෛත්‍රී ඇමතිතුමාට අපහාසවන ආකාරයෙන් නිර්මාණය කළ කැඳහැළිය ඇතුළු වෙළෙඳ දැන්වීම් සියල්ලම නිර්මාණය කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනය තුළදී වූ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ශ්‍රී ලංකා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ආර්. ඒ. සිරිසේන බාරව කටයුතු කළේය. මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය නවරත්න රඹුක්වැල්ල මහතාද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නවාතැන් ගනිමින් සිට ඔහුගේ කාමරය තුළ විශාල ප්‍රමාණයේ රූපවාහිනී තිරයක් සවිකරවා පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරමින් ඊට ප්‍රතිප්‍රහාර ලබාදිය යුතු ආකාරය පිළිබඳ අදහස් සපයන ලදී.


ජනවාරි 5 වැනිදා ‘ජනපති ජනහමුව’ සියලුම රූපවාහිනී නාළිකාවල සමගාමී විකාශයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්කර තිබුණි. ඒ අනුව එදින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රචාරක කටයුතු සිදුකිරීමට එරෙහිව ගොනුකළ පෙත්සමක් ඉදිරිපත් වූ අතර එය සලකා බැලූ කඩුවෙල මහෙස්ත්‍රාත් වසන්ත ජිනදාස ඊට එරෙහිව වාරණ නියෝගයක් ලබාදුන්නේය. එම වාරණ නියෝගයට අනුව ජනවාරි 5 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව විද්‍යුත් මාධ්‍ය කිසිවක දේශපාලන මුහුණුවරක් ගත් කිසිදු වැඩසටහනක් විකාහය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී. විශේෂයෙන්ම මෙවැනි වාරණ නියෝගයක් ලබාගැනීමට මූලිකම හේතුව වූයේ ජනවාරි 6 හෝ 7 වැනිදා ජනාධිපතිතුමා ජාතිය ඇමතීමට තිබූ ඉඩකඩ අහුරාලීමය. ඒ වනවිටත් ජනාධිපතිවරයා ජාතිත අමතන දළ වීඩියෝ පටය දෙරණ හා ස්වර්ණවාහිනී නාළිකා වෙත ලබා දී තිබිණි. තවද, කඩුවෙල මහෙස්ත්‍රාත්වරයාගේ වාරණ නියෝගයෙන් පසුව පවා ආණ්ඩුව එම උත්සාහය අත් නොහැරිය අතර එම වාරණ නියෝගයට එරෙහිව කොළඹ ම අධිකරණයට ගියේය. නමුත් එය ඉවත දමන ලදි.


ජනවාරි 5 වැනිදා වන විට රට පුරා ප්‍රචලිත වූ තවත් වැදගත් පුවතක් වූයේ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය තම පැල්මඩුල්ලේ නිවස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනන බවට ඔට්ටුවක් ඇල්ලීමට ඉදිරිපත්ව ඇති බවයි ඒ සමගම පැතිරගිය තවත් ප්‍රධාන ආරංචියක් වූයේ මැතිවරණ දිනයේ හමුදා මැදිහත්වීමකට අදාළ ක්‍රියාවකට අවශ්‍ය ආයුධ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාව තුළ ගබඩා කර ඇති බවයි. ඒ අනුව ජනවාරි 07 වැනිදා රාජිත, රවි, අර්ජුන හා නීතිඥ වැලිඅමුණ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා භූමියට ගොස් මේ පිළිබඳ සොයා බැලූ අතර ඔවුන් විශේෂයෙන්ම 204, 205, 211 යන කමිටු ශාලා පරීක්ෂාවට ලක්කරන ලදී. ඊට පෙර ජනවාරි 06 වැනිදා මැතිවරණ කොමසාරිස්වරයා මේ පිළිබඳ ලැබුණු පැමිණිල්ලට අනුව කොමසාරිස්වරයාගේ නියෝජිතයකු ඊඵෂක්‍්‍ය වෙත පැමිණ පරීක්ෂා කළේ එහි ඡන්ද පත්‍රිකා තොගයක් ඇති බවට වූ පැමිණිල්ලකට අනුවය. කෙසේ වෙතත් 2010 ජනාධිපතිවරණ සමයේදී එවකට පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මුද්‍රණය කළ ‘හඳුනාගත්තොත් ඔබ මා’ නම් වූ පොත් පිංච රට පුරා බෙදාහැරියේද බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පිහිටි කාර්යාලයක් තුළිනි.

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්