කොටි බලය සුන්කළ මහ මුහුදේ ක්‍රියාන්විතය


ඊළාම් සටනේ මහ මුහුදේ යුද්ධය 38

යුද ජයග්‍රහණයට දස වසරකි. ඒ යුද ජය ග්‍රහණය නිර්මාණය වූයේ මරණයට අභියෝග කළ වීරෝදාර රණවිරුවන්ගේ අයස්කාන්ත මැදිහත් වීමෙනි. ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පරිත්‍යාග කළ මව්බිමේ සුජාත දූ පුතුන්ගේ ඒ උත්තම පූජාවන් වර්තමානයට මතු නොව අනාගතයටද දෑසක්ව පැලඳවිය යුතුය.


තිස් වසරක යුද්ධය තුන් වසරකින් නිමා කිරීමේ මෙහෙයුමේදී නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාවට සැපයූ නායකත්වය නොවන්නට ඉතිහාසය වෙනස් විය හැකිව තිබිණි. මේ ඒ ඉතිහාසයෙන් වසන් කළ නොහැකි කතාවය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ තම යුද අත්දැකීම අළලා ලියූ ‘අධිෂ්ඨානය’ කෘතියෙන් මේ උපුටනය අනාගත පරපුර වෙනුවෙනි.

 

 

 

2003 වර්ෂයේ මාර්තු මස 09 වැනි දින දහවල් 1.35 ට නාවික හමුදා මූලස්ථානයෙන් නිකුත් කරන ලද හදිසි සංඥා පණිවුඩයක් ලැබුණි. එය “සයුර” නෞකාවට යොමුකරන ලද සංඥාවක් වූ අතර දැනගැනීම සඳහා නැගෙනහිර ආඥාපතිටද පිටපතක් තිබුණි. එහි සඳහන්ව තිබුණේ ආයුධ රැගත් L.T.T.E යට අයත් වෙළඳ නෞකාවක් ත්‍රිමල වරායේ සිට ඊශාන දෙසට මුහුදු සැතැපුම් 175 ක් (කි.මි. 350) දුර ඇති ස්ථානයකට එන බවත්, “සයුර”ට එම ස්ථානයට යන ලෙසත්, L.T.T.E නෞකාව නිරීක්ෂණය කළහොත් සහායට යාත්‍රා ත්‍රිමලයෙන් පැමිණෙනතුරු එය නිරීක්ෂණය කරමින් සිටින ලෙසත් සහාය යාත්‍රා පැමිණි විගස L.T.T.E නෞකාව අත්අඩංගුවට ගැනීමට හෝ විනාශ කරන ලෙසත්ය. 


එවේලෙහිම නැගෙනහිර ආඥාපතිටත්, අවශ්‍ය පරිදි සහායක යාත්‍රා සයුර වෙත යවන ලෙස දන්වා සංඥා පණිවිඩයක් මූලස්ථානයෙන් ලැබුණි.


එම වකවානුවේ L.T.T.E යේ බෝට්ටු අවි ආයුධ හා සාමාජිකයන් නාවික හමුදා යාත්‍රාවලින් අත්අඩංගුවට ගත් විට රජයේ උපදෙස් මත නිදහස් කරන වාතාවරණයක් තිබුණු නිසා, එම නැව විනාශ කිරීමට දෙන ලද උපදෙස් පිළිබඳව මම ඉතා සන්තෝෂයට පත්වීමි.


එම අවස්ථාව වන විට කපිතාන් රුවන් ඩයස් අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන සයුර නෞකාව දකුණු නාවික බල ප්‍රදේශයේ සිට නැගෙනහිර නාවික විධානයේ මුහුදු බල ප්‍රදේශ සීමාවන්ට ඇතුළු වී තිබුණු අතර එය මුලතිව් හි ඇති වරුණ කිරණ මෙහෙයුම සඳහා යාත්‍රා කරමින් තිබුණි. 


ප්‍රාදේශීය නාවික ආඥාපතිවරුන්ගේ බල ප්‍රදේශ සහ මුහුදු සීමාවන් මනාව වෙන් කොට තිබුණු අතර එම බලධාරීන්ගේ වගකීම්ද ඉතා පැහැදිලිව නාවික හමුදා නියෝගවල සඳහන් වී තිබිණි. ඒ අනුව නැගෙනහිර නාවික මුහුදු බල ප්‍රදේශය වූයේ කල්මුණේ ප්‍රදේශයට දකුණින් පිහිටි සංගමන්කන්ද යන ස්ථානයත් මුලතිව් සිට කි.මී. 40ක් පමණ උතුරින් පිහිටි චලේ යන ස්ථානයත් අතර වූ නැගෙනහිර මුහුදු කලාපයයි. මෙම මුහුදු ප්‍රදේශයේ සිදුවන සියලු දේටම වගකිවයුත්තා නැගෙනහිර නාවික ආඥාපතිවරයාය. තම බල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් හෝ ක්‍රියාන්විතයක් කිරීමට ඔහුට සම්පූර්ණ බලය දී තිබුණ ද එවැන්නක් කිරීමට පෙර නාවික හමුදා මූලස්ථානය (නා.හ.මු) දැනුවත් කළ යුතුවේ. විශේෂ මෙහෙයුමක් නම් නා.හ.මු. වෙතින් අවසර ලබා ගත යුතුය. සාමාන්‍ය සිරිතක් වශයෙන් මෙම කාර්යයන් තම බල ප්‍රදේශයට අනුයුක්තව ඇති යාත්‍රා සහ නෞකාවලින් කළ යුතු නමුත් අමතර යාත්‍රා සහ පිරිස් බලය එම කටයුත්ත සඳහා අවශ්‍ය වේ නම් නාවික හමුදා මූලස්ථානයෙන් ඉල්ලා සිටිය හැක. එවිට වෙනත් නාවික බල ප්‍රදේශයකින් අවශ්‍යතාව අනුව එම බල ප්‍රදේශයෙන් යාත්‍රා සහ නාවිකයන් මුදාහැරීමට ඇති හැකියාව මත තාවකාලිකව ලබා දෙනු ඇත. නාවික හමුදාවට අයත් සීමිත සම්පත් උපරිමයෙන් සහ පිරිමැස්මෙන් භාවිත කෙරුණේ මෙලෙසය.


මෙම කාල පරිච්ඡේදයේදී වරුණ කිරණ නමින් දීර්ග කාලීන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පැවතිණි L.T.T.E ය නිතරම උත්සාහ කළේ ඔවුනට පිටරටින් නැත්නම් මුහුදින් ගෙන එන අවි ආයුධ කෙසේ හෝ මුලතිව් ප්‍රදේශයට ගෙන ඒමය. මෙය වළක්වාලීමට වයිස් අද්මිරාල් සඳගිරි නාවික හමුදාපති ලෙස පත්වූ පසු වරුණ කිරණ නමින් මෙහෙයුමක් 2001 වර්ෂයේ සිට නාවික හමුදාව සතු වූ සීමිත යාත්‍රා සහ නෞකා යොදා ගනිමින් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කළේය.


මුලතිව් මුහුදු තීරයේ සිට කි.මී. 150 ක් පමණ ඈතින් එක් OPV (ඈත මුහුදේ රාජකාරි කරන යාත්‍රා) යාත්‍රාවක්ද කි.මී. 60 ක් පමණ දියඹෙන් FGB යාත්‍රාවක්ද, මුලතිව් සිට කි.මී. 20 කින් පමණ ඩෝරා නමින් ප්‍රසිද්ධ FAC යාත්‍රා හතරක්ද පැය 24 පුරා දිනපතා එම ප්‍රදේශයේ මුර සංචාරය කිරීමට යොදවන ලදී. මේ සඳහා යොදවන FAC සහ FGB යාත්‍රා ත්‍රිමලය වරායෙන්ද OPV නෞකාව කොළඹ වරායේ සිටද යාත්‍රා කෙරුණි. OPV යාත්‍රාව මුහුදේ දින 14 ක් පමණ කාලයක් ගත කරන අතර එම යාත්‍රාව යාබදව නැවතීමට අවශ්‍ය ජැටි හෝ පියර් Jetty/Pier) ත්‍රි’මලය නාවික කඳවුරෙහි නොතිබිණි. වරායේ නාවික කඳවුරට විරුද්ධ දිශාවේ එනම් වරායේ බටහිර ඉවුරේ අශ්රොෆ් ජැටියෙහි මෙම OPV යාත්‍රාව නවතා තැබීමට පුළුවන්කම තිබුණද එය නාවික කඳවුරේ සිට කි.මී. 2 ක් පමණ ඈතින් ඇති නිසාත් එයට ආරක්ෂාව සැපයීමේ අපහසුතාව නිසාත් මෙම යාත්‍රා කොළඹ වරායේ සිට වරුණ කිරණ රාජකාරියට යාත්‍රා කළේය. වරුණ කිරණ රාජකාරියේ යෙදෙන යාත්‍රා සැමවිටම තම මුරයන් මාරු කළේ ඊළඟ යාත්‍රාව මුලතිව් මුහුදු තීරයට පැමිණි පසුවය. මේ නිසා යම් අවස්ථාවල නැගෙනහිර මුහුදු තීරයේ OPV යාත්‍රා දෙකක් තිබිණි. 


මූලස්ථානයෙන් ලැබුණු සංඥා පණිවිඩය අනුව මම වහාම L.T.T.E. නැව කොටුකර ගැනීමේ ක්‍රියාවලියට සූදානම් විමි. මාගේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය රැස්කර, ලැබී තිබෙන බුද්ධි තොරතුරු විශ්ලේෂණය කොට අපි මෙම යාත්‍රාව කොටු කරගැනීමේ මෙහෙයුම සැලසුම් කළෙමු. සැලසුම් කිරීමේ දී නැගෙනහිර ප්‍රදේශයට අනුයුක්ත යාත්‍රා අතරින් මෙම කාර්යයට සුදුසු නෞකා හා යාත්‍රා තෝරා ගෙන මෙහෙයුමට යාත්‍රා කණ්ඩායම් තුනක් එකිනෙකට යාබද වර්ග කි.මී. 500ක පමණ නැගෙනහිර මුහුදු ප්‍රදේශ තුනක් කරා පිටත් කර යැවීමට සැලසුම් කළෙමු. යාත්‍රා සහ නෞකා තෝරන විට ඒවායේ වේගය එහි ඇති විශාලතම අවියේ බැරලයේ  වට ප්‍රමාණය (Calibre) නැවත ඉන්ධන ලබා නොගෙන කොතරම් කාලයක් මුහුදේ රැඳි සිටිය හැකිද, රළු මුහුදේ වැඩි කාලයක් යාත්‍රා කිරීමේ හැකියාව යනාදී කරුණු විශේෂයෙන් සලකා බැලිණි. ඉන්පසුව මෙම මෙහෙයුමට තෝරාගන්නා ලද යාත්‍රාවල අණදෙන නිලධාරින් හා අණභාර නිලධාරින්ද මෙම සාකච්ඡාවට කැඳවා ලැබී ඇති බුද්ධි තොරතුරු සහ සූදානම් කරන ලද සැලසුම ඔවුන්ට පැහැදිලි කළෙමි. ඔවුන් විසින් කරන ලද යම් යම් යෝජනා අවශ්‍ය පරිදි සලකා බලා ඒවාද සැලසුමට ඇතුළත් කෙරුණි. ඉන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය සියලුම නියෝග, උපදෙස් සහ අවශ්‍ය අමතර අවි ආයුධ ලබා දෙන ලදි. 
නාවික හමුදා මූලස්ථානයෙන් ලැබුණු තොරතුරු අනුව L.T.T.E. නෞකාව ඈත මුහුදේ එක්තරා ස්ථානයකට පැමිණීමට නියමිත වේලාවට නාවික සහායක යාත්‍රාද එම ස්ථානයට ළඟාවීමට නම්, සහායක යාත්‍රා එවෙලේම පිටත් කළ යුතුව තිබුණි. ඒ අනුව “ප්‍රතාප” සහ “උදාර” FGB යාත්‍රා දෙකක් P 474 සහ P 494 FAC යාත්‍රා දෙකක් මෙම කටයුත්තට එම යාත්‍රාවල අණදෙන සහ අණභාර නිලධාරීන් හට මෙහෙයුම ගැන පැහැදිලි කිරීම් සහ අවශ්‍ය උපදෙස් ලබාදීමෙන් අනතුරුව වහාම පිටත් කර හරින ලදී. 
නාවික හමුදා මූලස්ථානයෙන් නැගෙනහිර ප්‍රදේශයේ තිබූ “සයුර” යාත්‍රාවට මෙම මෙහෙයුම සඳහා සෘජුවම උපදෙස් දීමෙන් එවකට පනවා තිබූ නාවික නියෝගවලට පටහැණිව ක්‍රියා කිරීමක් සිදු විය. එම නියෝග අනුව ප්‍රාදේශීය ආඥාපති කෙනෙකුගේ බල ප්‍රදේශයක සිදුවන මෙහෙයුම් සඳහා වගකිව යුත්තේ එම ආඥාපතිවරයාය. ඒ අනුව මෙහෙයුමක් සඳහා නියෝග සහ උපදෙස් දිය යුත්තේද එම ආඥාපතිවරයා. පරිපාලන කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයට සෘජුවම ඕනෑම නාවික හමුදා යාත්‍රාවකට හෝ කඳවුරකට උපදෙස් දීමට එම නියෝගවල ඉඩ කඩ සලසා ඇත.


මෙම තත්ත්වය නාවික හමුදාපතිට පැහැදිලි කිරීමෙන් පසුව L.T.T.E. නෞකාව සොයා විනාශ කිරීමේ කාර්යය නාවික නියෝග අනුව ක්‍රියාත්මක කිරීමට මා හට අවසර දුන්නේය. 
මාර්තු 10 වැනිදා අලුයම 5ට පමණ සැකකටයුතු යාත්‍රාවක් “සයුර” රේඩර් තිර​යේ දර්ශනය විය. එළිය වැටෙනවාත් සමග එම නෞකාවට කි.මී. 2 ක් පමණ කිට්ටුවට ගොස් ජාත්‍යන්තර සංඥා ජාලයේ 16 වන චැනලය ඔස්සේ අමතා එහි විස්තරය ලබාගෙන චන්ද්‍රිකා දුරකථනය ඔස්සේ නැගෙනහිර නාවික විධාන මෙහෙයුම් මැදිරියට ඉදිරිපත් කළේය.
එම තොරතුරු පරීක්ෂා කිරීමේදී ඒවා අසත්‍ය තොරතුරු බව තහවුරු විය. එවිට මා චන්ද්‍රිකා දුරකථනයෙන් “සයුර” අමතමින්,


‘‘රුවන්, නැව නවත්ව ගන්න බලන්න, චෙක් කරන්න ඕන කියලා’’ “සයුර” අණදෙන නිලධාරි කපිතාන් රුවන් ඩයස්ට මම උපදෙස් දුන්නෙමි.
‘‘සර් මම දැනටමත් කියල තියෙන්නේ. නමුත් එයා නවත්වන්නේ නැහැ. සර්ගෙන් උපදෙස් එනකම් ඉන්නේ’’ 
‘‘නැවට උඩින් යන්න වෙඩිමුර කිහිපයක් තියන්න. ඒත් නැවැත්වූයේ නැත්නම් නැවට වෙඩි තියන්න’’ 
මම උපදෙස් දුන්නෙමි.

ඊට විනාඩි 15 කට පමණ පසු කපිතාන් ඩයස් දුරකථනයෙන් මා අමතමින්.

‘‘සර් ඒ නැවට උඩින් වෙඩි තියපු ගමන් අපට ඒ නැවෙන් වෙඩි තිබ්බා. අපේ තුන් දෙනෙක් තුවාලයි.’’ 


‘‘ඒ නැව වහාම වෙඩි තියලා ගිල්වන්න. දැන් බලාගෙන ඉන්න එපා. උදාරයි, ප්‍රතාපයි. එකතු කරගන්න වැඩේට’’ 


‘‘වෙරි වෙල් සර්’’ 


ඒවේලේම “උදාර” අණදෙන නිලධාරි කොමාන්ඩර් ගුරුගේට සහ “ප්‍රතාප” අණදෙන නිලධාරී කොමාන්ඩර් හීනටිගලට සතුරු නැව විනාශ කිරීමට කඩිනමින් “සයුර”ට උදව් දෙන ලෙස දැන්විමි. ලුතිනන් කොමාන්ඩර් හේවගේ සමග එම ස්ථානයට ඒ වනවිට ළඟා වුණු P 474, FAC යාත්‍රාවද “ප්‍රතාප” සහ “උදාර”ට එක්විය. “සයුර”ට වඩා එම යාත්‍රා තුනටම වේගය සහ වෙඩි බලය තිබුණු නිසා මෙම යාත්‍රා තුන එක් වී සතුරු නැව ගිල්වනු ලැබීය.


සාර්ථක මෙහෙයුම පිළිබඳව නාවික හමුදා මූලස්ථානය දැනුවත් කළ පසු නාවික හමුදා මූලස්ථානයෙන් නැගෙනහිර නාවික ආඥාපතිට, “සයුර”, “ප්‍රතාප”, “උදාර”, P 474, P 486 අමතා සියල්ලගේම කැපවීම සහ මනාව සැලසුම් කොට එම L.T.T.E නැව විනාශ කිරීම පිළිබඳව ඇගයිම් පණිවිඩයක් 11 වන දින දහවල් 11.37 ට නිකුත් කළේය.
L.T.T.E යට අයත් ආයුධ ගෙනයන නෞකාවක් මෙසේ නාවික හමුදාව අතින් විනාශ වීම L.T.T.E යට බලවත් පරාජයක් විය. ඔවුන් සාම සාකච්ඡා මුවාවෙන් ශක්තිමත් වීමට ගන්නා උත්සාහය හෙළි විය. L.T.T.E යේ ක්‍රියාවෙන් රජය ද යම්කිසි අපහසුතාවකට පත්විය.


මීට ප්‍රථම L.T.T.E යට අයත් මෙවැනි නෞකා කිහිපයක් ඉන්දියානු නාවික හමුදාව නිරීක්ෂණය කොට විනාශ කරදැමීය. එක් අවස්ථාවකදී එසේ අත්අඩංගුවට ගන්නා ලද නෞකාවක් ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදීමෙන් අනතුරුව ගුවන් හමුදාව සමග එක්ව විනාශ කරනු ලැබීය.


ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් කොට නිරීක්ෂණය කර L.T.T.E නෞකාවක් විනාශ කළ ප්‍රථම අවස්ථාව මෙය විය.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය අන්තර්ජාලයෙනි