කබීර්ගේ නිවසේ රහස් කතා


මේ අතර කබීර්ගේ පුත්‍රයකුගේ විවාහ උත්සවයක් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී 2012 ජුනි මාසයේ දී පැවැති අතර එහිදී කබීර් උපක්‍රමිකව ඊට සහභාගී වීමට නියමිත චන්ද්‍රිකා මැතිනිය රාජිත ඇමතිතුමා හා ඊට සතියකට පෙර හිර ගෙදරින් නිදහස් වු සරත් ෆොන්සේකා මහතා එකම මේසයක අසුන් ගැන්වීය. ඒ අනුව එම තිදෙනාම බොහොම සුහද ලෙස කථා කළ අතර එදින කතාවට විෂය වූයේ සරත් ෆොන්සේකා මහතා 2010 ජනාධිපතිවරණය පරාජයට පත් වූ ආකාරයයි. මෙසේ කාලය ගෙවී ගොස් 2014 ඔක්තෝබර් නොවැම්බර් මාස උදා විය. 


 

මේ අතර නොවැම්බර් මස 13 වැනිදා හදිසියේම චතුර සේනාරත්න කබීර් හට කතා කරමින් චන්ද්‍රිකා මැඩම් කථා කළා දැයි විමසීය. ඒ වන වට චන්ද්‍රිකා මැතිනිය කබීර් හට කථා කර නොමැත. කෙසේ වෙතත් එදිනම චන්ද්‍රිකා මැතිනිය කබීර්ට කථා කරමින් කියා සිටියේ තමා මුණ ගැසීමට නිවසට පැමිණෙන ලෙසයි. ඊට අනුව නිදහස් මාවතේ නිවසට ගිය කබීර් අමතා චන්ද්‍රිකා මැතිනිය පවසා සිටියේ  තමාට ඉතා වැදගත් සාකච්ඡාවක් රාජිත සමග සිදු කිරීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා සුදුසුම ස්ථානය ලෙස කබීර්ගේ නිවස තමා තෝරා ගත් බවයි. 


මෝදර පඤ්ඤානන්ද මාවතේ පිහිටි කබීර්ගේ නිවස තෙමහල් නිවසකි. මෙම සාකච්ඡාව සඳහා කබීර්ගේ නිවස සූදානම් කළ යුතු ආකාරය පිළිබඳ උපක්‍රමික සැලසුම චන්ද්‍රිකා මැතිනිය කබීර් වෙත ඉදිරිපත් කළාය


ඊට අනුව නිවසේ පහළ මහලේ චන්ද්‍රිකා මැතිනියගේ ආරක්ෂකයින් හට රාත්‍රී ආහාර සූදානම් කළ යුතුය. තවද චන්ද්‍රිකා මැතිනිය එහි පැමිණීමට පෙර රාජිත ඇමතිතුමා කබිර්ගේ නිවසට පැමිණ එහි ඉහළ මහලේ සිටිය යුතුය. 


මේ අනුව නොවැම්බර් 14 වැනිදා පළමුව චතුර සේනාරත්න ඔහුගේ බිරිඳ සරූපා හා රාජිත ඇමතිතුමා ආරක්ෂකයන් ද නොමැතිව චතුර පැද වු ඔහුගේම මෝටර් රථයේ කබීර්ගේ  නිවසට පැමිණ සිටියහ. මේ වන විට කබීර්ගේ නිවසේ මෝටර් රථ සියල්ලම ඉන් ඉවත් කර තිබුණි. රාජිත ඇමතිතුමා ඇතුළු පිරිස කබීර්ගේ නිවසට පැමිණ ටික වේලාවක් ගිය තැන චන්ද්‍රිකා මැතිනිය එහි පැමිණ උඩු මහලට පැමිණියාය. මේ වන විට වේලාව රාත්‍රී 8.30 පසු වී තිබිණ. එදින චන්ද්‍රිකා මැතිනිය හා රාජිත ඇමතිතුමා පමණක් පැය එකහමාරක් පමණ වේලාවක් එම සාකච්ඡාවේ නිරත වූ අතර ඉන් පසුව සියලුදෙනාම එකව රාත්‍රී භෝජනය ගෙන පළමුව චන්ද්‍රිකා මැතිනිය ද ඉන් පසුව රාජිත ඇමතිතුමා හා චතුර ද වශයෙන් පිටව ගියහ. විශේෂයෙන්ම චන්ද්‍රිකා මැතිනියගේ ආරක්ෂක අංශයේ සියලුදෙනාම මෙන් කබිර් හොඳින් හඳුනන නිසාම මෙම කටයුතු තව දුරටත් පහසු විය. 


මෙම හමුවෙන් දින දෙකකට පසුව එනම් නොවැම්බර් 16 වැනිදා යළිත් චන්ද්‍රිකා මැතිනිය කබිර් කැඳවා පවසා සිටියේ ඊළඟ සාකච්ඡා වටය ඉතා තීරණාත්මක බවත් ඒ සඳහා ද කබීර්ගේ නිවස සූදානම් කළ යුතු බවත්ය. එහිදි පළමුව එතුමිය කබීර්ගෙන් විමසා සිටියේ ගෙදර සිටින අනෙක් සාමාජිකයන් පිළිබඳවය. කබීර්ගේ පුතාලා දෙදෙනාට අමතරව බෑනාවරු දෙදෙනා ද ගෙදර සිටීම චන්ද්‍රිකා මැතිනියට යම් ප්‍රශ්නයක් වූවා වැනිය. ඇය කබීර්ගෙන් විමසා සිටියේ එදිනට බෑනාවරු දෙදෙනා ගෙදරින් පිටමං කිරීමට නොහැකි ද යනුවෙනි. ඊට එකඟතාව පළ කළ කබීර් අදාළ දිනයේ ඔහුගේ බෑනාවරු දෙදෙනා ද ඊට අනුරූපව සිය නිවසින් පිටමං කිරීමට පියවර ගත්තේය. එලෙසම රාත්‍රියේ අනවශ්‍ය සියලුම විදුලි බල්බ නිවා දැමීමට ද උපදෙස් කබීර් වෙත ලැබුණි. 

මෙම හමුවෙන් දින දෙකකට පසුව එනම් නොවැම්බර් 16 වැනිදා යළිත් චන්ද්‍රිකා මැතිනිය කබිර් කැඳවා පවසා සිටියේ ඊළඟ සාකච්ඡා වටය ඉතා තීරණාත්මක බවත් ඒ සඳහා ද කබීර්ගේ නිවස සූදානම් කළ යුතු බවත්ය. එහිදි පළමුව එතුමිය කබීර්ගෙන් විමසා සිටියේ ගෙදර සිටින අනෙක් සාමාජිකයන් පිළිබඳවය.

 


ඒ අනුව එයින් දින දෙකකට පමණ පසුව එනම්, නොවැම්බර් 18 වැනිදා මෙම සාකච්ඡාව සඳහා කබීර්ගේ නිවස සූදානම්ය. බෑනාවරු පිටව ගොසිනි. කබීර්ගේ නිවසේ සියලු වාහන ඉවත් කර ඇත. රාත්‍රීයේ අනවශ්‍ය සියලුම විදුලි බල්බ නිවා දමා ඇත. මේ අතර කබීර්ගේ බාල පුත්‍රයා වන ඉෂාර්ඞ්, තම පියා සතු සුදු පැහැති මෝටර් රථයෙන් පළමුව රාජිත ඇමතිතුමාගේ නිවසට ගියේය. එහිදී ඊට රාජිත ඇමතිතුමා හා චතුර ගොඩ විය. ඉන් අනතුරුව එම මෝටර් රථය පැමිණියේ විජේරාමයේ මෛත්‍රී ඇමතිතුමාගේ නිවසටය. ඒ අනුව එම මෝටර් රථයටම මෛත්‍රී ඇමතිතුමා ද ගොඩ විය. ඔවුන් රැගත් ඉර්ෂාඞ් පැදවු මෝටර් රථය රාත්‍රී 8.45 පමණ වන විට නැවත නිවසට පැමිණි අතර සියලු දෙනාම උඩු මහලට ගියහ. මේ වන විට චන්ද්‍රිකා මැතිනිය දිගින් දිගටම කබීර් අමතමින් පිරිස පැමිණියේ දැයි විමසා සිටියි. අවසානයේ දී එයින් විනාඩි 20 කට පමණ පසුව චන්ද්‍රිකා මැතිනිය එහි පැමිණියේ කබීර්ගේ නිවසේ පැවැත්වෙන උපන් දින සාදයකට පැමිණෙන ආකාරය තම ආරක්ෂකයන්ට හැඟෙන පරිදි උපන් දින කේක් ගෙඩියක් ද සමගිනි. චන්ද්‍රිකා මැතිනිය එහි පැමිණෙන විට කබීර්ගේ නිවසේ ඇත්තේ චන්ද්‍රිකා මැතිනියගේ ආරක්ෂකයන්ට හුරු පුරුදු කබීර්ගේ මෝටර රථයක් පමණි. 


මේ අනුව කබීර්ගේ නිවසේ තෙවන මහලේ සිදු වු මෛත්‍රී චන්ද්‍රිකා රාජිත හමුව රාත්‍රී 9.10 සිට පුරා විනාඩි 90ක් පුරා පැවති අතර එහි දී සියලු අවසන් තීරණවලට එළඹියේය. විශේෂයෙන්ම එලෙස කබීර්ගේ නිවසේ තෙවන මහලේ මෛත්‍රී චන්ද්‍රිකා පළමුව හමුවුණු අවස්ථාවේ දී දෙදෙනාම කියා සිටියේ වසර 11කින් පසුව මෙලෙස පෞද්ගලික මට්ටමින් තමන් දෙදෙනා මුණ ගැසෙන පළමු අවස්ථාව මෙය බවයි. මන්දයත් රාජපක්ෂවරු හමුවේ එවැනි හමුවීම් තහනම්ය. 


නොවැම්බර් 14 වැනිදා සිදු වු චන්ද්‍රිකා රාජිත හමුවට පසු දින රාජිත ඇමතිතුමා එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන ඇමතිතුමාට කතා කළේය. ඒ වන විට එතුමා සිටියේ මාදිවෙල නිල නිවසේය. ඒ අනුව එම නිල නිවාස සංකීර්ණයට නොගිය චතුර හා රාජිත ඇමතිතුමා වෙනත් ක්‍රමයක් අනුගමනය කරමින් එම්.කේ.ඒ.ඩී.එස්. ඇමතිතුමා රාජිත ඇමතිතුමාගේ මෝටර් රථයට නංවා ගත්තේය. 


මේ වන විට රාජිත ඇමතිතුමාගේ නියමයෙන් එතුමාගේ ආරක්ෂක නිලධාරීන් ද වාහනයෙන් බැස ගොස්ය. රාජිත ඇමතිතුමා නව දේශපාලන වර්ධනයන් පිළිබඳව එම්.කේ.ඒ.ඩී.එස්. වෙත සාරංශගතව දැක්වීය. ආරම්භයේදී රාජිත ඇමතිතුමා එම්.කේ.ඒ.ඩී.එස්. ගෙන් ඉල්ලා සිටියේ මෙම යෝජනාවට අකමැති නම් කිසිවක් අන් අයට නොකියා නිශ්ශබ්දව සිටිනා ලෙසයි. කෙසේ වෙතත් පසුව රාජිත ඇමතිතුමාට වැටහී ගියේ එම්.කේ.ඒ.ඩී.එස්. මේ සම්බන්ධයෙන් තමන්ට ද වඩා ඉදිරියෙන් සිටිනා බවය. 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්