අනුර කුමාරගේ දුක් ගැනවිල්ල


විශේෂයෙන්ම 2010 ජනවාරියේද නන්දිමිත්‍ර ඒකනායක මහතා පක්‍ෂ මාරුවකට මුල පිරීය. ඒ අනුව ඔහු එම වසරේ ජනවාරි පළමු සතියේදී කොළඹ නිපොන් හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එ.ජා.පයේ සිට නැවත ශ්‍රී.ල.නි.පයට පැමිණ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සහයෝගය පළ කළේය. 1989 මහ මැතිවරණයෙන් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ඒ මහතා 2001 සැප්තැම්බරයේදී ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන ඇතුළු 14 දෙනකු සමඟ එ.ජා.ප.යට සම්බන්ධ විය. මේ අතර රත්නපුර දිස්ත්‍රික් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතා ආණ්ඩුවටත් පොදු අපේක්‍ෂකයාටත් යන දෙපාර්ශ්වයම අතර දෝලනය වෙමින් සිට අවසානයේ මෛත්‍රී ඇමතිතුමාට සහයෝගය පළ කරන්නේ ජනවාරි දෙවැනිදාය.

ජනවාරි පළමුවැනිදා මම තිඹිරිගස්යාය කාර්යාලයට ගියෙමි. එහි ගිය සෑමවිටම මම පළමුව යන්නේ බන්දුල චන්ද්‍රසේකරගේ කාමරයටය. එදින එහි ගිය මට දැකගන්නට ලැබුණේ බන්දු අයියා මහා ගැඹුරු දුරකථන සංවාදයක නිරත වී සිටින බවකි. ඔහු මහත් උභතෝකෝටිකයක පැටලී සිටින බව පමණක් මට වැටහිණි. එකවරම බන්දු අයියා කියා සිටියේ “අනුර මේ මලිත් ඉන්නව මාත් එක්ක, මට වැඩිය දෙයක් එයාට මේ සම්බන්ධයෙන් කියන්න පුළුවන්’ යන්න පමණක් පවසමින් බන්දු අයියා මට දුරකථනය ලබාදුනි. රිසිවරය අතින් මිට මොලවාගෙන සිටි ඔහු මට කීවේ සම්බන්ධන්ගේ පොටෝ එකත් එක්ක අනුර කුමාරගේ පොටෝ එක පත්තර දැන්වීමක දාල. මොකක් හරි කියන්න’ යන්න පමණි. ඒ අනුව මින් පෙර කිසි දිනක හමුවී කතාකර නැතත් මා හලෝ කියා ප්‍රතිචාර දැක්වූ මොහොතේ සිටම අනුර කුමාර දිසානායක මහතා තම දුක්ගැනවිල්ල කෙළවරක් නොමැතිව ඉදිරිපත් කළේය. ඔභ් නායක සම්බන්ධන් සමඟ තමාගේ ඡායාරූපය එසේ දැන්වීමක පළ කළේ කාගේ අවසරයෙන්දැයි ඔහු මගෙන් ප්‍රශ්න කළේය. එම දැන්වීම සකසා තිබුණේ. එ.ජා.ප.යේ ප්‍රචාරක යාන්ත්‍රණය තුළිනි. මම ඒ බව ඔහුට පහදා දුනිමි.


සැබවින්ම එම දැන්වීම පොදු අපේක්‍ෂකයාට සහයෝගය ලබාදෙන සියලු දේශපාලන පක්‍ෂ නායකයන්ගේ ඡායාරූප එකතුවක් ලෙස සකසා තිබුණි. අනුර කුමාර මහතා ප්‍රශ්නය වී තිබුණේ එහි තිබූ සම්බන්ධන් මහතාගේ ඡායාරූපය පමණි. ඔහුගේ ප්‍රධාන දුක්ගැනවිල්ල වූයේ තම පක්‍ෂයේ ග්‍රාමීය කාඩර්වරුන්ට මේ පිළිබඳ තමාට කරුණු පැහැදිලි කරදීමට සිදුව ඇති බවයි. මෙම සිදුවීම අනුව මගේ අදහස් වූයේ එම අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කළද, පරාජය වුවද ජ.වි.පෙට එය පනහට පනහ බවකි. මන්දයත්, සමහර විට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කුමන ක්‍රමයකින් හෝ ජයගතහොත් මාස ගණනක් තුළ රාජපක්‍ෂ පාලනයත් ඔහු නායකත්වය දෙන ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධානයත් මහත් ව්‍යසනකාරී අර්බුදයකට යන ආකාරය අනුර කුමාර දිසානායක මහතාගේ සූක්‍ෂම විග්‍රහාත්මක දෘෂ්ටියට හසුවන්නට ඇත. එහිදී පොදු අපේක්‍ෂකයා ජයග්‍රහණය කරනවාට වඩා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කර ඉන් නොබෝ කලකින් එම පාලනය යන අර්බුදය තුළ ජ.වි.පෙ.ට වඩාත් වාසිදායක තත්ත්වයක් උදාවනු ඇති බවට ඔවුන් සිතුවාද විය හැක. විශේෂයෙන්ම ජ.වි.පෙ පොදු අපේක්‍ෂකයාට ලබාදුන් දේශපාලන සහයෝගය තරමක් අවුල්සහගත අතර මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය ලබා නොදෙන ලෙසට පමණක් ආයාචනය කළේය. කෙසේ වෙතත් නොවැම්බර් 24 වැනිදා පැවති පුවත්පත් සාකච්ඡාවකදී අනුර කුමාර දිසානායක මෙසේ ප්‍රකාශ කළේය. ‘කවුරු ජනාධිපති වුණත් කමක් නෑ. මම හිතනව ඉක්මන් මහ මැතිවරණයකට අවස්ථාව උදාවෙයි කියල. අප කියන්න කැමැතියි, අපි කිසිම පුද්ගලයකු පිළිබඳ වගකීමක් ගන්නේ නෑ. ඇයි? අපිට ප්‍රශ්නයක් නෑ කවුරු ජනාධිපති වුණත්. අපි එහි ප්‍රධාන කොටස්කාරයො නොවේ. ඒකාධිපති රෙජිමයකට එරෙහිව අපි ජනතාව අවදි කරනවා.


මේ අතර ජනවාරි දෙවනදා සවස කුරුණෑගල පැවති ජනහමුවකදී පොදු අපේක්‍ෂක මෛත්‍රී ඇමතිතුමා ඉතා විශ්වාසනීයව ප්‍රකාශ කර සිටියේ ‘මහින්ද රාජපක්‍ෂ මහතා ජනමතයට හිස නමා ගෙදර යාමට සූදානම් විය යුතු බවය. මේ වන විට සන්ධානයේ ප්‍රබලයන් හා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ සමීපතමයන්ට පරාජයේ සේයාවන් ක්‍රමයෙන් චිත්‍රණය වන්නට පටන් ගෙන තිබුණා සේය. දෙසැම්බර් මස අග දිනක දුරකථනයෙන් මට කතා කළ ලයනල් ප්‍රනාන්දු මහතා ඩිව් ගුණසේකර ඇමතිතුමා ජනාධිපතිවරණයෙන් පසුව පරිහරණය කිරීම සඳහා මෝටර් රථයක් මිලදී ගැනීමට සූදානම් වන බව පැවසීය.


මෙලෙස සන්ධානයේ යම් පිරිසකට පමණක් පරාජයේ සෙවනැලි පෙනීයද්දී මහින්ද මහත්තය එක ඡන්දයකින් හෝ දිනනව සහ ගහල හරි ගන්නව යන මතවාදය ද සමාජයේ යම් පමණකට ප්‍රචලිත විය. එමඟින් ග්‍රාමීය ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන්ගේ චිත්ත ධෛර්යය යම් පමණකට වර්ධනය වූවා සේය. මෙවන් සන්දර්භයක් තුළ ජනවාරි 2 වැනිදා මල්වතු මහ නාහිමියන් මැතිවරණ කොමසාරිස්වරයාට හා පොලිස්පතිවරයා වෙත ඉල්ලීමක් කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.


ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් දිනය වූයේ ජනවාරි 5 වැනිදාය. අවසන් දින එක් ප්‍රධාන රැලියක් කහවත්තේදී පැවැත්වීමට නියමිතව තිබුණු අතර එහි වේදිකාවේ සැරසිලි කටයුතු කරමින් සිටි පිරිසට වෙඩි ප්‍රහාරයක් එල්ලවිය. ඒ අලුයම 1.30ට පමණය. මෙම සිදුවීමත් සමඟම එම රාත්‍රියේම හය හත්සියයක පිරිසක් එම ස්ථානයට එක් වූහ. නිවිතිගල එ.ජා.ප සංවිධායිකා තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය වූ අතර පසුදින උදෑසන රට අවදිවූයේ මෙම ප්‍රවෘත්තියත් සමඟය. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දෙදෙනකු රෝහල්ගත කළ අතර ඉන් ඉක් අයකු පසුව කොළඹ ජාතික රෝහලේදී මිය ගියේය. මෙම වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනාව මූලිකවම එල්ලවූයේ නිවිතිගල ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායක හා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා හා කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන වෙතටය. මේ අනුව කහවත්ත වෙඩි තැබීමත් සමඟම රටේ බහුතර ජනතාව තුළ ඇති වූ කලකිරීමත් සමඟම එමඟින් යම් වාසිදායක තත්ත්වයක් පොදු අපේක්‍ෂක මැතිවරණ ව්‍යාපාරයට එම දිනය තුළ ලැබුණා යැයි කිව හැකිය.

 

කහවත්ත සිදුවීමෙන් පසුව පොදු අපේක්‍ෂක මැතිවරණ ප්‍රචාරක කටයුතු එදින තුළ ඉතා කාර්යක්ෂමව සිදුවෙද්දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ කැස්බෑව අවසන් ජනරැලියට ද එවැනිම තවත් වෙස්වළාගත් ආශිර්වාදයක් අප වෙත කැඳවීය. මහින්ද ජනාධිපතිතුමාගේ අවසන් ජනරැලි පැවැත්වූයේ අම්බලන්ගොඩ, මතුගම, හෝමාගම හා කැස්බෑව වශයෙනි. මේ අතරින් කැස්බෑව ජනරැලිය සුවිශේෂී විය. කැස්බෑවේදී කතා කළ ජනාධිපතිතුමා කියා සිටියේ තමාගේ ජයග්‍රහණයෙන් පසුව පොදු අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කුණු කූඩයට දමන බවය. එතුමා එසේ කීමට විශේෂ හේතුවක් තිබිය යුතුය. මීට පෙරද දැක්වූ පරිදි පොදු අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියේ ආණ්ඩුව මොහොතකට නිරුත්තර වූ අතර ඒ පිළිබඳව සිය වේදනාව මහින්ද ජනාධිපතිතුමාගේ සිත් තුළ දෝංකාර දුන් ආකාරයයි ඒ.

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



Recommended Articles