ජවිපෙට එරෙහිව ගිය විජේවීරගේ භාෂා පරිවර්තක


ජවිපෙට එරෙහිව රළ ගැසූ “නව ප්‍රවණතාව”-04

ප්‍රේමදාස ආනන්ද ජයසිංහ නඩුවේ 27 වැනි විත්තිකරු ය. ආනන්ද හෙවත් සුදු මල්ලි ලෙස ද හැඳින්විණ. වව්නියාව මඩුපල්ලියේ පදිංචිය. ජවිපෙට එක්වූයේ 1978 දීය. පසුව 1984 දී නව ප්‍රවණතාවට එක්විය. ජවිපෙ නව ප්‍රවණතාව සහ ප්ලොට් සමග වව්නියාවේ සාකච්ඡාවට සහභාගි විය. දෙදරු පියෙකි. අයි. සිරිපාල නඩුවේ 30 වැනි විත්තිකරුය. දෙහිවල උපන්නෙකි. ජවිපෙ තැපැල් සේවක සංගමයේ හිටපු නායකයෙකි. වර්තමානයේ නීතිඥවරයෙකි. තිදරු පියෙකි. ගම්පහ පදිංචිය.


ෆැන්සිකු හෙට්ටිගේ කැමිලස් ද සිල්වා නඩුවේ 38 වැනි විත්තිකරුය. කොළඹ ආනන්ද විදුහලේ අධ්‍යාපනය ලත් අතර මොරටුව සරසවියේ ඉංජිනේරු සිසුවෙකි. සරසවියේ මුල් පෙළේ සිසු නායකයෙකි. ජවිපෙ නව ප්‍රවණතාව 1984 අවසාන වන විට මොරටු සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරින් අතර බහුතර බලය ලබා ගැනීමට සමත් වූයේ කැමිලස්  සහ චිරන්තගේ මැදිහත්වීමෙනි. අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා 1986 දී නැගෙනහිට ගොස් ප්ලොට් සංවිධානය සමග එක්විය. යුද්ධය අවසාන කාලයේ 2009 සරණාගතයින් ලෙස දෙමළ ජාතික බිරිඳ සහ දරුවන් සමග දකුණට පලා ආවේය.


කල්‍යානන්ද පෙරේරා නඩුවේ 39 වැනි විත්තිකරුය. රත්මලාන ජවිපෙ හිටපු සංවිධායකවරයෙකි. පසුකාලීනව එක්ස් කණ්ඩායමේ කටයුතු කළේය. එස්. සිවඥානම් නඩුවේ 40 වැනි විත්තිකරුය. සිවා නමින්ද හැඳින්විණි. මඩකළපුවේ පදිංචිය. විජේවීරගේ දෙමළ පරිවර්තකයෙකු විය. යාපනය ජවිපෙ සංවිධායකවරයෙකි. බිරිඳ යාපනයේ සුන්නාකම්හි පදිංචිකරුවෙකි. ප්ලොට් සංවිධානය යටතේ ඉන්දියාවේ අවි පුහුණුව ලැබූවෙකි. ජවිපෙ තහනමින් පසු ජවිපෙ නව ප්‍රවණතාවයට එක්විය. නව ප්‍රවණතාවය සහ ප්ලොට් සමග වව්නියාවේ සාකච්ඡාවට එක්විය. පසුකාලයේ ඇමැති ඩග්ලස් දේවානන්ද ගේ පරිවර්තකයෙකු ලෙස කටයුතු කළ අතර 2004 දී අභාවයට පත්විය. තිදරු පියෙකි.


මෙයට අමතරව ජවිපෙ නව ප්‍රවණතාවට සම්බන්ධ ක්‍රියාකාරිකයෝ 5 දෙනෙකු රජයේ සාක්ෂිකරුවෝ බවට එම රාජ්‍ය විරෝධි නඩුවේදී පත්වූහ. ඔවුහු මෙසේය. පියසිරි නිශ්ශංක බණ්ඩාර හේරත් රජයේ 1 වැනි සාක්ෂිකරු විය. මැණික්හින්න තැන්ගල්ල කුරුවිකොටුව වත්තේ පදිංචිකරුවෙකි. ජවිපෙ නව ප්‍රවණතාවය සහ ප්ලොට් සමග වව්නියාවේ සාකච්ඡාවට එක්විය. ජවිපෙ නව ප්‍රවණතාවට සම්බන්ධවී නිදහස්වීමෙන් පසු නැවත ජවිපෙ 2 වැනි කැරැල්ලේ සන්නද්ධ අංශයට එක්විය. පසුව ටී 56 ආයුධයක් සන්තකයේ තබා ගනිමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනය කර ඔහුගේ සිරුර මහනුවර දුම්රිය පොළ පාරේ බස්නැවතුම්පොළ අසල මාරගසක 1989 නොවැම්බර් 28 එල්ලා තිබූ බව කියති.


චූලසේන සේනාරත්න රජයේ 3 වැනි සාක්ෂිකරු විය. මොරටුව කටුබැද්දේ ලක්ෂපතියේ ද මැල් පාරේ පදිංචිකරුවෙකි. ඔහු නිදහස් වීමෙන් ඇමැති ඇතුළත්මුදලිගේ ආරක්‍ෂකයෙක් වශයෙන් කලක් කටයුතු කළේය. ඇතුළත්මුදලි ඝාතනය වීමෙන් පසු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ වැඩ පරීක්‍ෂකයෙකු ලෙස ද සේවය කර ඇත. කේ.එම්. ප්‍රේමරත්න රජයේ 5 වැනි සාක්ෂිකරු විය. කැකුලාවල ප්‍රේමරත්න නමින්ද හැඳින්විණි. අලව්ව, කැකුලාවල  පදිංචිකරුවෙකි. වෘත්තියෙන් චිත්‍ර ගුරුවරයෙකි. 1975 දී අර්ධකාලීනව ජවිපෙට එක්විය. විමුක්ති ගී ප්‍රසංගයටද ප්‍රචාරක වැඩ කළේය. ඩබ්ලිව්.එම්. තිස්ස වර්ණසූරිය රජයේ 4 වැනි සාක්ෂිකරු විය. මාවතගම කොලනියේ පරණ ගුවන්තොටුපොළ පාරේ පදිංචිකරුවෙකි. එම්.ඩී.එස්. ගුණසේකර රජයේ 8 වැනි සාක්ෂිකරු විය. හොරණ ඉහළ මිල්ලෑවේ පදිංචිකරුවෙකි.


රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් 1987 ජූලි 15 කොළඹ මහාධිකරණ විනිසුරු විමල් වික්‍රමසූරිය ඉදිරියේ අධිචෝදනා විත්තිකරුවන් 44 දෙනෙකුට භාරදීම සිදුවිය.


මින් 22 දෙනෙකු ජවිපෙ නව ප්‍රවණතාවයේ ක්‍රියාකාරිකයින් වේ. දෙදෙනෙකු ප්ලොට් සංවිධානයේ නායකයින් වූ අතර ජවිපෙ නව ප්‍රවණතාව සමග සබඳකම් පැවැත් වූ අය වේ. එම නඩුවේ අධිචෝදනා ලැබූ 44 දෙනා අතරින් සමාජවාදී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් වූයේ ඉන්දික ගුණවර්ධන, ජයතිලක ද සිල්වා ඇතුළු 20 දෙනෙක් පමණි. මෙයට අමතරව ජවිපෙ නව ප්‍රවණතාවයේ සාමාජිකයන් 4 දෙනෙකු එම නඩුවේ රජයේ සාක්කිකරුවන් 30 දෙනා අතර ද විය.


මෙම නඩුව සම්බන්ධයෙන් ජවිපෙ නව ප්‍රවණතාවයේ අත්අඩංගුවට ගත් සියලු දෙනාට වසර 2ක් පමණ බන්ධනාගාර ගතවීමට සිදුවිය. අත්අඩංගුවට ගත් 44 දෙනාම ඉන්දු ලංකා ගිවිසුමේ කොන්දේසියක් අනුව 1988 අප්‍රේල් 22 නිදොස් කොට නිදහස් කරන ලදි.


ජවිපෙ නව ප්‍රවණතාවයේ නායකයා වූ චන්ද්‍රසිරි ගේ එක් කුස සොහොයුරා වූ 1954 උපන් ජී.ජී. ලීලාරත්න ද ජවිපෙ නව ප්‍රවණතාවයට හිතවත්ව කටයුතු කළ අතර ඔහුට ද වධ බන්ධනවලට ලක්වීමෙන් පසුව වසර 2ක් පමණ කාලයක් බන්ධනාගාර ගතවීමට සිදුවිය. අවිවාහකයෙකු වූ ඔහු වැලිගම උදුල ගෙස්ට් හවුස් නමින් නිවාඩු නිකේතනයක් පවත්වාගෙන ගිය අතර දකුණු පළාතේ ජවිපෙ නව ප්‍රවණතාවයේ ක්‍රියාකාරකම්වලට යන බොහෝ අයට නවාතැන් ලබාදීම ඔහුට එරෙහිව පොලිසිය නැගූ චෝදනා විය. රහස් පොලිසිය මෝදර පොලිසිය යන ස්ථානයන්හිදී රඳවාගෙන සිටි ලීලාරත්න නිදහස් වී තෙමසක් ඇතුළත ඇති වූ රෝගී තත්වයන් හේතුවෙන් මරණයට පත්විය.


අවසානයේදී රාජ්‍ය විරෝධි නඩුව සම්බන්ධයෙන් ජවිපෙ නව ප්‍රවණතාවයේ නායකයින් සහ ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගැනීමත් සමගම එම කණ්ඩායමද බිඳ වැටිණි. 



Recommended Articles