මහින්දගේ කඳවුරෙන් “එතොත් වරෙන් යතොත් පලයන්” ප්‍රතිපත්තිය


දෙසැම්බර් මස අවසන් වන විට එකවිට ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට අපට සිදුවිය. ඒ අතර ප්‍රචාරක යාන්ත්‍රණ ක්‍රියාවලියේ අවසන් භාගයේදී වඩා වැඩි තීව්‍රතාවකින් ප්‍රචාරක කටයුතු කිරීම සඳහා අවශ්‍ය මුදල් හිඟකමයි.


එ.ජා.ප.ය දෙසින් මෙම වගකීම පැවරී තිබුණේ එරාන් වික්‍රමරත්න මහතා වෙතය. ඔහු මුහුණ දී තිබූ උභතෝකෝටිකය පිළිබඳ කතා කිරීමට එ.ජා.ප.ය තුළද කිසිවකු නොමැති බව මට ඉවෙන් මෙන් වැටහී ගියේය. ඊට පෙර තැපැල් ඡන්දය ආශ්‍රිතව රජයේ සේවකයන්හට ලියූ පත්‍රිකාව තැපැල් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ සමස්ත ඇස්තමේන්තුව මිලියන 8ක් පමණ වූ අතර ඊට අවශ්‍ය මුදල් අප විසින් ලබාදිය යුතු බව කබීර් හෂීම් හා එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරු මා හට පැවසූහ. ඒ අනුව ඉන් මිලියන 5ක පමණක් අපි ඔවුන් වෙත ලබාදුනිමු.


ප්‍රචාරක දැන්වීම් පිළිබඳ ප්‍රශ්නයේදී විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරක දැන්වීම් බොහොමයක් පළ කිරීම එ.ජා.පයේ ජනාධිපතිවරණ මාධ්‍ය කමිටුව භාරගෙන තිබුණ අතර මුද්‍රිත මාධ්‍ය දැන්වීම් පළකිරීම විජේරාම නිවසේ සිට ක්‍රියාත්මක විය. මා මුණගැසුණු සෑම විටදීමත්, නැතහොත් දුරකථනය මගින් කථා කරමින්ද නිතර එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා මුහුණ දී සිටින අසීරුතාව විස්තර කළේය. ඔහුට තිබුණ විවිධ සබඳතා උපයෝගී කරගනිමින් රූපවාහිනී නාළිකා තුළ දැන්වීම් ප්‍රචාරණ සඳහා වේලාව වෙන්කරගෙන තිබුණද ඒ සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ඔහු සතු නොවීමත්, එම මුදල් ලබාදීමට වගකිව යුතු කිසිවකු ඉදිරිපත් නොවීමත් යන ප්‍රශ්න ඉදිරියේ එරාන් විශාල පීඩනයකට ලක්ව සිටියේය. ඒ කෙසේ වෙතත් තිබෙන මුදල් ඒ මේ අත යොදමින් ‘දවස කවර් වන ආකාරයට’ සෑම රූපවාහිනී චැනලයකම පොදු අපේක්‍ෂක වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔහු උත්සුක විය. ඒ  සමඟම ඔහු ඉතා සංවේදී හා ආකර්ණීය දැන්වීම් කිහිපයක්ම  සකසා තිබුණද ඊට වඩා ගුණාත්මකභාවයෙන් අඩු දැන්වීම් පළකිරීමට ඔහු හට නියෝග ලැබී තිබීම හමුවේද ඔහු මහත් පීඩනයට පත්ව සිටි ආකාරයක් මම නිරීක්‍ෂණය කළෙමි. එහෙත් ඉහළ නියෝගවලට එහා යමින් එවැනි සංවේදී දැන්වීම් පළ කිරීමට එරාන් නොපසුබට විය. කාන්තාවන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා සමනලී ෆොන්සේකා හා හිරුණිකා යොදාගනිමින් සකසා තිබූ දැන්වීම් දෙක එවැනි එක් අවස්ථාවකි. පක්‍ෂ නායකත්වය අනුමතකර තිබුණේ රෝසි හා තලතා පෙනී සිටින දැන්වීම්ය.


ජනවාරි පළමුවැනිදායින් පසුව දෙපාර්ශවයේම ප්‍රචාරක කටයුතු තීරණාත්මක අයුරින් තීව්‍ර විය. අපගේ ප්‍රචාරක යාන්ත්‍රණයටත් නිර්මාණාත්මක දැන්වීම්වලටත් ආණ්ඩුව බිය වෙද්දී අනෙක් අතට ආණ්ඩුව යුද්ධය ආශ්‍රිත වන්නි කැලයේ රූපරාමු කොළඹ නගරයේ බෝම්බ පිපිරීම් හා හමුදා සෙබළුන්ගේ මළ ගෙවල්  හා මිනී පෙට්ටි පෙන්වීම නැවත ආරම්භ කළේය. ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය තම දෛනික වැඩසටහන් නතරකර දමා යුද්ධයේ අඳුරු සෙවණැලි ‘කාල් ගෑමට’ පටන් ගැනීම තුළ සිංහල ජන මතය තුළට වේගයෙන් ජාතිවාදය එන්නත් කිරීමට පටන් ගැනීමත් සමඟ පැවති ජනමතයේ වෙනසක් සිදුවන ආකාරයක් දැක්ක හැකිවිය. 


විශේෂයෙන් ජනාධිපතිවරණයක් වැනි රටේ සමස්ත ජනතාවම සහභාගීවන මැතිවරණයක් අභියස ආණ්ඩුව මෙලෙස ජාතිවාදී ප්‍රචාරක ක්‍රියාවලියක් තීව්‍ර කිරීම යම් අයකුට ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ උපක්‍රමික එළඹුමක් ලෙස එය අර්ථකථනය කළ හැකි වුවද 2008 වසරේ සිට ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය සිදු කරන ප්‍රධාන ස්ථානවල තීරණ ගැනීමේ මේසවල සිටි අයකු ලෙස ඉවෙන් මෙන් අපට දැනුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ප්‍රචාරක යාන්ත්‍රණය ‘බැරිම තැන හන්දියට’ පැමිණ ඇති බවයි. ජනවාරි 3 වැනිදායින් පසුව රජයේ රූපවාහිනී නාළිකා දෙක හැකි උපරිම ධාරිතාවෙන් යුද්ධය විකිණීම තුළ රාජපක්‍ෂ ප්‍රචාරක යාන්ත්‍රණය “එතොත් වරෙන් යතොත් පලයන්” ප්‍රතිපත්තියට පැමිණ ඇති බව පැහැදිලිවිය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

මතු සම්බන්ධයි.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



Recommended Articles