“මාව ගෙනියපන් නැත්නම් මම වෙඩි තියනවා”


යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන්

18 වැනි කොටස

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු.


‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

විජලනයෙන් දැඩි ලෙස විඩාවට පත්වූවන් කිහිපදෙනෙක් අසල වූ කිලාලි කළපුවට ද පැන්නහ. තවත් සෙබළකු ක්‍රීඩා කරන ආකාරයෙන් දිවීම, පැනීම හෝ පිනුම් ගැසීම සිදු කළේය. තවත් අයෙක් බිම වාඩිවී විප්‍රකාර දොඩවන්නට විය. මේ අතර බිම වැටී සිටි සෙබළකු තමන් අසලින් ගමන් කළ කර්නල්වරයෙකු වෙතට තම ගිනිඅවිය එල්ල කරමින් මහ හඬින් තර්ජනය කළේය. එවිට කර්නල්වරයා ‘හරි පුතා හරි උඹව කොහොම හරි අපි ගෙනියනවා’ කියමින් ළඟට පැමිණ වහාම ගිනි අවිය උදුරා ගත්තේය. මේ අතර තවත් සෙබළෙකු බිම වැටී සිටියදී අහිංසක හඬින් අනේ මගේ වයිෆ්ට බබා හම්බවෙන්නයි ඉන්නේ. මාව කොහොම හරි ගෙනියන්න යනුවෙන් පැවසීය. පසුබසින සියල්ලෝම මරණයත් සමග සටන් කරමින් සිටි නිසා හා වෙනත් අයෙකුට උපකාර කළ හැකි මට්ටමක නොසිටි නිසාවෙන් මෙවන් වූ අස්වාභාවික තත්ත්වයන්ට මුහුණ පා මරණය තුරුලු කර ගැනීමට සැරසුණු සොයුරු සෙබළුන්ගෙන් ඉවත් වන්නට සෙස්සන්ට සිදුවිය. එහෙත් පෙර පරිදිම ඊළඟ මොහොතේ එසේ ඉදිරියට ගිය අයකු ද එම ඉරණමටම ලක්විය. තවත් තැනක සෘජුවම විජලනයට පත්වී සිහිසුන්ව මරණය වැලඳ ගත් සෙබළෙකු වැටී සිටියේය. ඒ අතරට LTTE ප්‍රහාරයෙන් තුවාල ලබා රුධිරය වහනය වෙමින් හා වේදනාවෙන් මහ හඬින් උදව් ඉල්ලා සිටින සෙබළුන් ද ගිනියම් වූ වැල්ලේ වැතිර මරණය වැලඳ ගත්හ.


මෙම ගමනේදී තම හමුදා නිල ඇඳුම්, හිස් වැසුම්, වෙඩි නොවදින කබාය (Body Armor) හා අවශ්‍ය ද්‍රව්‍ය බහාලනය (පැක් ජැකට්) වැනිදෑ පැලඳ සිටි පිරිස් සාපේක්ෂව හීට් ස්ට්‍රොක් තත්ත්වයට පත්වීමට වැඩි නැඹුරුතාවක් පෙන්වූ අතර ශරීරයේ නිපදවෙන උෂ්ණත්වය පිටවීමට එමගින් අවස්ථාව මගහැරීයාම එම තත්ත්වයට හේතු විය. තවද හමුදා සාමාජිකයන්ගේ නිල ඇඳුම තද අඳුරු පැහැයකින් යුක්ත වීම හේතුවෙන් එම අවස්ථාවේදී කිලාලි කළපු ප්‍රදේශයේ වූ අධික උෂ්ණත්වය සෙබළුන්ගේ එම අඳුරු පැහැති නිල ඇඳුම මගින් වැඩි වශයෙන් අවශෝෂණය කරගැනීම සිදුවිය. ඊට අමතරව පසුබසින සෙබළුන් ආරම්භයේදී අනවශ්‍ය ලෙස බර ප්‍රමාණයක් (තම පෞද්ගලික බඩුබාහිරාදිය) උසුලාගෙන ගමන් කිරීම ද තත්ත්වය තවදුරටත් උග්‍ර කරවීමට හේතු විය.


විශේෂයෙන් Heat Stroke තත්ත්වයෙන් මිය ගිය බොහෝ සෙබළුන් සංසන්දනාත්මකව ස්ථූල ශරීරවලින් යුක්ත වූවන් වූ අතර නිතර ශාරීරික අභ්‍යාසවල නිරත නොවන්නන්ද විය. සාමාන්‍යයෙන් හමුදා සෙබළෙකු කඳවුරෙන් බැහැර රාජකාරියක නිරතවන සෑම විටෙකදීම තම නිල ඇඳුම ආශ්‍රිත බහාලනය තුළ වතුර බෝතලයක් හෝ දෙකක් දමා ගැනීම අනිවාර්යයෙන්ම සිදුකරන්නක් වන අතර සුපුරුදු ලෙසම හමුදා පසුබැසීමට මුහුණ දීමේදී එලෙස පානීය ජලය යම් ප්‍රමාණයක් සෑම සෙබළෙකු සතුවම තිබිණ. ඒ අනුව Heat Strokeතත්ත්වයෙන් මිය ගිය සමහරු ආරම්භයේදී ජලය පානය කරමින් ගමන් ගත්හ. Heat Stroke තත්ත්වයට පත්වූවන් පිළිබඳ තවදුරටත් විමසීමේදී ශරීරයේ ජලය හිඟ බව මූලික කරගත් සංකීර්ණතා රැසක්ම සෘජුවම ඊට හේතුවූ අතර සෙබළාගේ චිත්ත ධෛර්යය සහ ශාරීරික ශක්තිය සහ දරාගැනීමේ ශක්තිය ද තීරණාත්මක කරුණක් වී තිබිණි.
මෙම සියලු කටුක තත්ත්වයන් මධ්‍යයේ ශ්‍රී ලංකා හමුදාවේ පාලන ප්‍රදේශයටත් අනතුරුව පලෛ කිලාලි දක්වා පැමිණීමෙන් පසුවත් සෙබළු කිහිපදෙනෙක්ම මියගියහ. 54 සේනාංකයේ මාණ්ඩලික ප්‍රධානී හැරිස් හේවාරච්චි මහතා මියගියේ කිලාලි ප්‍රදේශයට පැමිණීමෙන් ටික වේලාවකට පසුව සිගරැට්ටුවක් පත්තුකර ඉන් උගුරු දෙකක් ද බීමෙන් පසුවය. එහිදී අධිකතර වූ වෙහෙස හා ශරීර අභ්‍යන්තරයේ හටගත් අධික උෂ්ණත්වයෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දුර්වල තත්ත්වයකට පත්ව තිබීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු විය. මීට අමතරව තවත් සමහරෙක් ගමනාන්තය නිම කොට හමුදා පාලන ප්‍රදේශයට පැමිණීමෙන් පසුව පවා අස්වාභාවික ලෙස දෙඩවීමටත් කඳවුරු තුළදී ඒ මේ අත දිව යාමටත් පටන් ගත්හ. ඉන් එක් අයෙකු අනේ අම්මේ මට තේ එකක් දෙන්න යයි පහත් ස්වරයෙන් මුමුනණු ඇසිණ. ඉහත විස්තර කළ ආකාරයටම ශරීර අභ්‍යන්තරයේ වූ අධික උෂ්ණත්වයෙන් මොළයේ සෛල විඩාවට පත්ව තිබීම හා අධික වූ මානසික හා කායික වෙහෙස මෙම සියලුම අස්වාභාවික චර්යාවන්ට හේතුවී තිබූ අතර අවසානයේ එම තත්ත්වය තවදුරටත් වර්ධනය වීම තුළම කිසිවකුගේ පිළිසරණයක් නොමැතිව ගමනාන්තය තෙක්ම මග දෙපස සෙබළු මැරී වැටුණහ.


තම සොයුරු සෙබළුන් තම දෑස් ඉදිරිපිටම මිය යද්දී තවදුරටත් ශාරීරික ශක්තියෙන් යුත් සෙබළු තමන් සතු සීමිත පානීය ජලයෙන් කොටසක් Heat Strokeතත්ත්වයෙන් පෙළුණු සෙබලුන් හට පෙවූහ. තවත් අවස්ථාවක වැල්ලේ වැටී Heat Stroke තත්ත්වයෙන් හෝ දරුණු ලෙස තුවාල ලබා සිටි සෙබළු මඳ දුරක් ඔසවාගෙන ගොස් හුදකලා වූ බංකරයක් තුළින් ඔවුන් තැබූහ. විජලනයෙන් සහ  LTTE ප්‍රහාර හේතුවෙන් දුර්වල වූ නමුත් පයින් ගමන් කළ සෙබළුන් අන් අය විසින් නිරන්තරයෙන්ම දිරිමත් කළේ ‘තව ටික දුරයි. හරි, අපි යමු.’ යැයි පැවසීමෙනි. තම හමුදා ජීවිතයේ ලද අමිහිරිම මතක සටහනක් වූ මෙම සිද්ධියට මුහුණ දුන් 54 සේනාංකයේ බහුතර සෙබළු සහ කනිෂ්ඨ නිලධාරීන් තම සිතට නැගුණු කලකිරීම හේතුවෙන් තමන්ගේ හමුදා නායකයන්ට මුවෙන් නොබැණ සිතෙන් ශාප කළහ.


දළ වශයෙන් මෙම පසු බැසීමේ මාර්ගය මත 54 වැනි සේනාංකයේ හා අනෙකුත් රෙජිමේන්තුවල විවිධ නිලයන්ට අයත් සෙබළු, නිලධාරීන් හා සිවිල් සේවකයන් දහසකට ආසන්න පිරිසක් මිය ගිය අතර එසේ මිය ගිය සිරුරු වැලි සහිත බිමේ හා අවට ප්‍රදේශයේ වූ දැඩි තාපය හමුවේ පැය කිහිපයක් ඇතුළත දී දුර්වර්ණ වී විකෘති විය. ඒ අනුව එලෙස දුර්වර්ණ ගැන්වී ගිය සිරුරක් ස්පර්ශ කළවිට එහි සම හා මස් ආදිය ඉරි ගැලවිණි.


මෙම සියලු ඛේදජනක තත්ත්වයන් හමුවේ තවදුරටත් අවධානය යොමු කළ යුතු සිදුවීම් කිහිපයක්ම දැකගත හැකි විය. එවන් එක් අවස්ථාවක් ලෙස, මැලේරියාව රෝගයෙන් පෙළීම හේතුවෙන් දින ගණනක් නිරාහාරව සිටි සෙබළෙකුද අලිමංකඩ සිට පලෛ දක්වා ඉහත සියලු බාධක මධ්‍යයේ ගමන් කරමින් සිටියේය. මේ අතර ශ්‍රී ලංකා හමුදාවේ පාලන ප්‍රදේශයේ බංකරයක සිටි විශේෂ බළකායේ (STF)  සෙබළුන් පිරිසක් අත සේලයින් බෝතල් කිහිපයක් වූ හෙයින් එම සේලයින් බෝතලයක් අල්පෙනෙත්තකින් විද, එම ප්‍රදේශය පසුකරන වෙහෙසට පත් සෙබලුන් හට ඉන් ස්වල්පය බැගින් ලබා දුනි. එලෙස සේලයින් ස්වල්පය බැගින් ලබාදෙන ලද්දේ, පසු බසින සෙබළුන් ඔවුන්ගේ මුඛය විවෘත කළ විට බෝතලය අත දරා සිටින්නා දෙවරක් එම සේලයින් බෝතලය මිරිකීම මඟිනි. එලෙස බෝතලය දෙවරක් මිරිකීමේදී අල්පෙනෙත්ති සිදුරෙන් විදෙන සේලයින් ස්වල්පයෙන් මුඛය තෙමා ගත් සෙබළා ඉවත්ව ගිය විට තවත් සෙබළකු ඒ ආකාරයෙන්ම තම මුඛය විවෘත කරයි. එහෙත් ඉහත සඳහන් කළ මැලේරියා රෝගයෙන් පෙළුන සෙබළාද එලෙස සේලයින් බිඳුවකින් මුඛය තෙමා ගැනීම, සඳහා පැමිණි විට සේලයින් ලබා දුන් සෙබළාගේ ප්‍රතිචාරය වූයේ “අපෝ මෙයාට තව යන්න පුළුවන්” යනුවෙනි. ඒ අනුව ඔහුට සේලයින් නොලැබිණි. එසේ දින ගණනක් මැලේරියා රෝගයෙන් පෙළීමෙන් ආහාර පාන පවා නිසියාකාරව නොලැබුණු මෙම සෙබලාට සාර්ථක ලෙස ගමනාන්තය දක්වා පැමිණීමට හැකි වූයේ අන් කිසිවක් නිසා නොව ඔහුගේ යුදමය චිත්ත ධෛර්යය සමග ශාරීරික සහ මානසික ශක්තිය නොනැසී පැවතීම විය යුතුය.


අලිමංකඩින් පසු බැස ගිය හමුදාව මූලිකව මුහුණ පෑ මෙම ව්‍යසනකාරී තත්ත්වය එම අවස්ථාවේදී ශ්‍රී ලංකා හමුදාව සාධාරණීයකරණය කරන ලද්දේ සෙබළු විජලනයට පත්වීම (Dehydration)  යනුවෙනි. එහෙත් එහිදී සෙබළු සිය ගණනක් මුහුණ පෑ එම අවාසනාවන්ත තත්ත්වය හුදු විජලන තත්ත්වයක් වශයෙන්ම සරලකරණය කර සාධාරණීයකරණය කළ හැකිද? මම සිද්ධිය සම්බන්ධ විද්‍යාත්මක පසුබිම ඊට වඩා පුළුල්ය.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



Recommended Articles