‘මරු සිරා’ සමග වාසේ


ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්


13 වැනි කොටස

අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.

 

‘මරු සිරා’ අත්අඩංගුවට ගත් අවස්ථාව.

 

 

මා ගැන ඔහුට දැනගැනීමට ඉඩක් නොතිබුණි. ඔහු හඳුනන බවවත් මම කඳවුරේ කිසිවකුට නොකීවෙමි. සිරිපාල නොහොත් මරුසිරා අල්ලාගෙන අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව මේ දිනවල අපට දැනගැනීමට ලැබුණි. ඔහුද අප්‍රේල් පස්වැනිදායින් පසු ව්‍යාපාරයේ කටයුතුවලට සම්බන්ධ වී සිටි බව දැනගැනීමට ලැබී තිබූ නිසා ව්‍යාපාරයේ දැන් තත්ත්වය දැනගැනීමට ඔහු හමුවුවහොත් හැකි වේ යැයි මට කල්පනා විය. මාගේ තයිරොයිඞ් ශල්‍යකර්මය වෙනුවෙන් මට දී තිබූ කාඞ්පත මේ වන විටත් මා ළඟ තිබුණි. මා හට නැවත බඬේ අමාරුවක් ඇති බව කියා අනුරාධපුර රෝහලට කඳවුරේ රෝගීන් ගෙනයන අවස්ථාවට මම ද එක්වීමි. මගේ කාඞ්පත බලා වෛද්‍යවරු මා රෝහලේ නැවැත්වීමට උපදෙස් දුන්හ. මාව ඇතුළත් කරන ලද්දේ සිරිපාල නොහොත් මරුසිරා සිටි වාට්ටුවට වන අතර ඔහු පපුවට වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු ළඟට ගොස් ව්‍යාපාරයේ වත්මන් තත්ත්ය ගැන මා ඇසුවත් ඔහු කිසිවක් කීවේ නැත. මම සුමානයක් පමණ රෝහලේ සිට ආපසු කඳවුරට පැමිණියෙමි.


මා නැති අතරේ කඳවුර පරීක්‍ෂා කළ හමුදාව අපගේ බෑග් පවා සෝදිසි කර බලා තිබුණි. එවිට මාගේ බෑග් එකේ තිබූ අම්බලන්ගොඩ විලේගොඩ ලිපිනය සහිත ලිපියක් ගාන්ධි සර්ට හමුවී තිබුණි. එදා සිට මගේ නම කියා බන්ධනාගාර නියාමක මහතුන් කඳවුරෙහි මා සොයා තිබුණි. මා පැමිණි විට මේ විස්තර අප සහෝදරවරු මට දැනුම් දුන්හ. ඒ කාලයෙහි මෙසේ නම කියා පැමිණෙන ලෙස කථා කරන්නේ වෙන කඳවුරකට මාරුකර යැවීමට හෝ නැත්නම් නිදහස් කිරීමටය.


මම ගොස් ගේට්ටුවේ සිටි නියාමක මහතාගෙන් මා සෙව්වේ ඇයිදැයි විමසුවෙමි. එවිට ඔහු ‘කොහේද සිටියේ අපි බැණුනුත් ඇහුවා සර්ගෙන්’ යැයි කීවේය. ගේට්ටුවේ සිටි අනික් නියාමක මහතාට දැන්වූ ඔහු මා රැගෙන ගාන්ධි සර් කරා ගෙන ගියේය. එවිට බන්ධනාගාර නිලධාරීන් ආපසු යැවූ ඔහු මා නවතා ගත්තේය. මා පිළිබඳව විස්තර විමසමින් සවස් වන තුරු මා ඔහුගේ කාර්යාලයෙහි නතර කරගෙන සිටියේය. ගෙදරට ලියුම් යවමින් ගෙදර අයට කරදර නොකරන ලෙසත් උවමනා කරන දෙයක් ඇත්නම් තාමට දන්වන ලෙසත් ඔහු මට කියා සිටියේය.


ඔහු මගෙන් විමසූ එක් කරුණක් වූයේ කඳවුරේ අය නළලේ සුදුපාට ගාගෙන ඉන්නේ සංඥාවක් ලෙසද කියාය. මේ කාලයේ කඳවුරේ අප සහෝදරවරු හිසරදය සැදුණ විට දත් බෙහෙත් නළලේ ගා ගන්නට පුරුදුව සිටියහ. එයින් සහනයක් ලැබෙනවා යැයි අදහසක් අපට තිබුණි. මා මේ බව ගාන්ධි සර්ට කී විට මට සුදු හඳුන් කෑල්ලක් ගෙනත් දෙන්නම් කියා ඔහු කීවේය. පසුව ඔහු ඒ අනුව සුදු හඳුන් කෑලි දෙක තුනක්ම එවා තිබුණි.


මේ සිදුවීමෙන් පසුව පවා මා ඔහු හමුවීමට හෝ ඔහුගෙන් උපකාරයක් හෝ ඉල්ලා සිටියේ නැත.


මේ වන විට කඳවුරේ සිටි අය නිදහස් කර යැවීම පටන්ගෙන තිබුණි. මගේ නම අඬගසමින් 1972.08.20 දින බන්ධනාගාර නිලධාරී මහත්වරු මට පැමිණෙන ලෙස දැන්වූහ. ඔවුහු මා නිදහස් කර ඇති බව දන්වා සිටියහ. අවාසනාවට මගේ නම එහි සඳහන් කර තිබුණෙත් පියසිලි ගුණරත්න ලෙසය. ඔවුන් කියා සිටියේ මෙය නිරාකරණය නොකර නිදහස් කිරීමට නොහැකි බවයි. පසුව මම මේජර් සර් හමුවන්න උවමනා බව කීවෙමි. ඒ අනුව ඔවුහු මා හමුදා කාර්යාලයට ගෙන ගියහ. මා විස්තර කී විට බන්ධනාගාර නිලධාරී මහතාට ඔහු නිදහස් කර යවන්නයැයි කීවේය. එවිට තව ප්‍රශ්නයක් මතුවිය. එනම් මා භාරදීමට මගේ භාර්යාවට ලිපියක් යවා ගෙන්වාගත යුතු යැයි කියා සිටීමය. භාර්යාව සිටියේ අම්බලන්ගොඩය. මා සිටියේ අනුරාධපුර සිර ගෙදරය. ඇය ගෙන්වා ගැනීමට කාලයක් ගත වනවාටත් අමතරව ආර්ථික අපහසුතාවන් මැද ජීවත් වන ඇය එමගින් තවත් අපහසුතාවකට පත්වන බව මට කල්පනා විය. මේ නිසා අනුරාධපුරයේ සිටි මගේ රතු අම්මා (නැන්දා) ගෙන්වා ගැනීමට ඉඩ ලබාදෙන ලෙස ද මම ගාන්ධි සර්ගෙන් ඉල්ලා සිටියෙමි. ඊට ඉඩ දෙන ලෙසද බන්ධනාගාර නිලධාරී මහතාට ඔහු දැන්වීය. පසුව මම අනුරාධපුර සිටි නැන්දාට ලිපිය යැව්වෙමි. 


දෙදිනකට පසු 1972 අගෝස්තු 22 වැනිදා රතු අම්මා (නැන්දා) පැමිණියාය. මා නිදහස් කරන විටම ත්‍රිකුණාමලයේ පොලිසියට බාර දීමට ලිපියක්ද හා හට දෙන ලදී. මම කඳවුරේ සිටි සහෝදරයින්ගෙන් සමුගෙන ඇඳුම් බෑගයද රැගෙන කඳවුරෙන් පිටවූයෙමි. ඒ යන අතරවාරයේ අපි ගාන්ධි සර් නැවතී සිට ගෙදරට ගියෙමු.


මේ වන විට අත්අඩංගුවේ සිට නිදහස් වී පැමිණි රජයේ සේවකයින් නැවත සේවයේ පිහිටුවන ලෙසත්, අත්අඩංගුවට ගත් දින සිට ඔවුන්ට හිඟ වැටුප් ගෙවීමටත් රජය තීරණය කර තිබුණි. මේ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරී නවරත්න මහතාට ලිපියක් ලියා එය ඔහු අතටම ලබාදෙන ලෙස මට ගාන්ධි සර් කීවේය. මේ බව නවරත්න මහතාට කථාකර කියන බවත් ඔහු තමාගේ මිතුරෙකු බවත් ගාන්ධි සර් කීවේය.


1972 අගෝස්තු 22 වැනිදා නිදහස් වී මා ප්‍රථමයෙන්ම ගියේ අනුරාධපුර අයියලාගේ ගෙදරටය. අම්මා සිටියේ අයියාගේ ගෙදරය. මට අම්මා බැලීමට ඕනෑ විය. පසුව අයියා සමග නංගිලාගේ ගෙවල් දෙකටද ගියෙමි. ඉන් පසුවදාම ත්‍රිකුණාමලයට ගොස් පොලිසියට ගියෙමි. සෑම සතියකට වරක් සඳුදා දින පොලිසියට වාර්තා කළ යුතු බව පොලිස් නිලධාරියෙක් මට කීවේය. මා පදිංචි අම්බලන්ගොඩ බව කියා එම පොලීසියට වාර්තා කිරීමට සාදා ගත්තෙමි. මා සේවය කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යාලයටද ගියෙමි. ප්‍රධාන ඉංජිනේරු වේරගම මහතා හා කාර්යාලයේ සේවය කළ සහෝදර මහතුන් සමග කථාකර එදිනම සවස අනුරාධපුර ආවෙමි. මේ වන විට මා ත්‍රිකුණාමලයේ කාර්යාලයේ සිට දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලයට මාරු කර තිබුණි.


එදිනම රාත්‍රී දුම්රියේ මම කොළඹ පැමිණ දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලයට ගියෙමි.


මේ වන විට නවරත්න මහතා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ලෙස මාරුවී ගොස් තිබුණි. එබැවින් එහි සේවය කළ අපේ ගමේ අයකු වූ සෝමපාල පටබැඳි මහතා හමුවූවෙමි. අමාත්‍යංශයට ගොස් නවරත්න මහතාට ලිපිය දී එන්නැයි ඔහු උපදෙස් දුන්නේය. අනතුරුව මම අමාත්‍යංශයට ගොස් නවරත්න මහතා හමුවූවෙමි. මා එතුමා හමුවීමට මැළි කළේ ඒ වන විට මා ඇඳ සිටි ඇඳුම් හා පැලඳ සිටි රබර් සෙරෙප්පු දෙකත් නිසයි. එතුමා ලිපිය කියවා බලා ‘ත්‍රිකුණාමලයේ දුම්රිය ස්ථානයේදී නේද අත්අඩංගුවට ගත්තේ. ගාමිණී සිල්වා කරපු දේ දැක්කා නේද, ඔබට වූ දේ මම දන්නවා’ යැයි කියා ඉතා සුහදශීලීව කියා, දුරකථනයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී මහතාට කථාකර, දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා හමුවන්නැයි මට උපදෙස් දුන්නේය. පසුව මම ගොස් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවූවෙමි. එවෙලෙහිම අදාළ ලිපිකාර මහතාට කථාකළ ඔහු එදිනම මා සේවයේ පිහිටුවන ලෙසත්, හිඟ වැටුප් ඉක්මනින් ගෙවීමට කටයුතු කරන ලෙසත් දැන්වූවේය.


එම ලිපිකාර මහතා තමාගේ මල්ලිද අත්අඩංගුවේ පසුවන බව මට කීවේය. ඒ අවස්ථාවෙහිම අදාළ ලිපිය ටයිප් කර මාව දුම්රිය කැබිනට් අංශයේ සේවයේ පිහිටුවන ලෙසත් මා සමගම ගොස් ගණාකාධිකාරී අංශයේ අදාළ ලිපිකරු මහතා හමුවී හිඟ වැටුප් ඉක්මනින් පිළියෙල කර ගෙවීම් කරන්නයැයි දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා කියූ බව මම ඔහුට කීවෙමි. මාගේ හිඟ වැටුප්ද දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලයට අදාළ කොටස එදාම හවස ලබා ගැනීමට හැකිවිය. ඉන්පසු දින දෙකක් නිවාඩු ලබාගෙන සේවය අවසන් කර ගෙදර ගියෙමි. ඒ 1972 අගෝස්තු 24 වැනිදාය. මා ගෙදර යන විට භාර්යාව ගෙදර සිටියේ නැත. ඇය සිටියේ අල්ලපු ගෙදරය. ඇයගේ නංගී කෙනෙකු ගොස් මා ගෙදර ආ බව කීවත් ඇය එක්වර විශ්වාස කර තිබුණේ නැත. පසුව ඇය පැමිණ මා දිහා බලා සිට පැනලද ආවේ කියා සිනහසෙමින් විමසුවාය.


මාගේ බිරිය වන හේමවතී ගුණරත්න මා නිදහස් කර ගැනීම සඳහා එවකට අම්බලන්ගොඩ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි එල්. සී. ද සිල්වා මහතා හමුවීමට ගොස් මා ගැන විස්තර කියා තිබුණි. 


මගේ භාර්යාවගේ පියා වූ හැන්ඩි සිල්වා මහතා මන්ත්‍රීතුමාගේ හිතවතෙකු වූ අතර මැතිවරණවලදී ඔහුට බොහෝ උදව් කළ අයෙකි. විස්තර අසා සිටි මන්ත්‍රීතුමා ‘කියන දේ ඇත්ත නම් සොයා බලා නිදහස් කරවා ගැනීමට කටයුතු කරන බව කියා තිබුණි. “මට හැන්ඩි අයියාට උදව්වක් කරන්න බැරිවුණා. මෙය ගැන සොයා බලන්නම්’ කියාද කියා තිබුණි. ඊට පසුදිනක නැවත මන්ත්‍රීතුමා හමුවීමට ගියවිට ඔහු කියා තිබුණේ මගේ කටඋත්තරයක්වත් සොයා ගැනීමට නැති නිසා ප්‍රශ්නයක් වී ඇති බවයි. මා අත්අඩංගුවට ගත් නමුත් කිසි විටෙක මගෙන් කටඋත්තරයක් ගත්තේ නැත. එම නිසා එම අවස්ථාවෙහිම කොළයක් හා පෑනක් ද මගේ භාර්යාවට දී ඔහු කියූ පරිදි ලිපියක් ලියා දෙන ලෙස කියා ඇත. එදින එම ලිපිය ලියාදීමට මගේ භාර්යාවට නොහැකි වී ඊළඟ දෙවන සතියේත් මන්ත්‍රීතුමා හමුවීමට ගියවිට අධිකරණ අමාත්‍යාංශයේ කැරලිකරුවන් පිළිබඳව ක්‍රියාකරන අංශයේ නිදහස් කරන ලේඛනයේ මගේ නම තිබෙන බව ඔහු කියා තිබුණි. එබැවින් ළඟදීම නිදහස් කරනු ඇතැයිද දන්වා තිබුණි. පැනලා ද ආවේ කියා මාගෙන් විමසූයේ නිදහස් කරන අය නිදහස් කරන්නේ ගෙදරින් අයකු කැඳවා ඔහුට භාර දීමෙන් බව මගේ භාර්යාව දැන සිටි නිසා බව පසුව දැන ගතිමි.


අප ව්‍යාපාරයේ ඉහළ මණ්ඩලය ලෙස විජේවීර, සනත්, සිරිල් දහනායක, කරුණාරත්න හා මා හමුවී සාකච්ඡා කරමින් පසුව මෙම කණ්ඩායමට ලොකු අතුලද සම්බන්ධ කරගත්තෙමු. අක්මීමන පැවැත්වූ සාකච්ඡාවේදී ද දින දෙකකට කලින් අපි පස්දෙනා එහි ගොස් වෙනම දීර්ඝ සාකච්ඡාවක් කළෙමු. එයට ලොකු අතුල සහභාගි වූයේ නැත. ලොකු අතුල ඇතුළත් කර ගැනීමෙන් පසු ඉහළම තලයට 6 දෙනෙක් ඇතුළත් විය.


ව්‍යාපාරයේ ඉහළ හයදෙනා අතර මාගේ නම පාවිච්චි කළේ සරත් ගුණදාස ලෙසයි. අනිකුත් සාකච්ඡාවලදී මගේ නම අතුල ලෙස භාවිතා කළෙමි. නිමලසිරි ජයසිංහ සහෝදරයා ද අතුල ලෙස භාවිතා කිරීම නිසා පසුව මට අනුරාධපුර අතුල ලෙස අමතන ලදී.


ව්‍යාපාරයේ අතුලලා හතර දෙනෙක් සිටියෝය. අනුරාධපුර අතුල, ලොකු අතුල, පොඩි අතුල හා බටපොල අතුලය. මා හැර ඉතිරි තිදෙනා මහ නඩුවේ විත්තිකරුවන් බවට පත්විය. පියසිරි ගුණරත්න හෙවත් ගුණරත්න බණ්ඩා හෙවත් කුලරත්න බණ්ඩා නිසා මා කිසිදු නඩුවකට ගෑවුනේ නැති බවයි මගේ විශ්වාසය. වැඩි වශයෙන්ම නඩු වැටුණේ අප්‍රේල් 5 පහරදීමට සම්බන්ධ වූ නැත්නම් පහරදීමට තීරණය කළ අයටත්, පහරදීමට සංවිධානය සඳහා අවිආයුධ රැස්කළ බවට හෝ උපදෙස් දුන් බවට පෙනී ගිය අයටයි. මා අප්‍රේල් පස්වැනිදා වන විට සිටියේ සිර ගෙදරය. අනෙක් කරුණනම් 1970 මැද සිට ව්‍යාපාරයේ ප්‍රධාන සාකච්ඡාවලට මා සහභාගි නොවීම නිසා මා පිළිබඳව බරපතළ කරුණු වාර්තා නොවීම විය යුතුය.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



Recommended Articles